වසර 30 කට පෙර ක්ෂුද්‍ර ප්ලාස්ටික් මුලින්ම හඳුනාගත් ජීව විද්‍යාඥ රිචඩ් තොම්සන් ක්ෂුද්‍ර ප්ලාස්ටික් අර්බුදයේ විවිධ පැතිකඩ ගැන නව හෙළිදරව්වක් කරයි

1993 සැප්තැම්බර්, අයිල් ඔෆ් මෑන් හි (Isle of Man) වෙරළ තීරය පිරිසිදු කරන අතරතුර, රිචඩ් තොම්සන් (Richard Thompson) සිය පාමුල වැලි මෙන් පෙනෙන බහු-වර්ණ කැබලි දහස් ගණනක් දුටුවේය. ඔහුගේ සගයන් ස්නැක්ස් පැකට්, මාළුදැල් වල ඉවත දැමූ කඹ, ප්ලාස්ටික් බෑග් සහ බෝතල්වලින් ගෝනි පුරවද්දී, තොම්සන් මේ අරුම පුදුම අංශු වෙත සිය අවධානය යොමු කළේය. ඒවා කෙතරම් කුඩාද යත් ස්වේච්ඡා සේවකයන් ඔවුන්ගේ සොයාගැනීම් සටහන් කළ පැතුරුම්පතෙහි කිසිදු කාණ්ඩයකට නොගැලපේ.

“එහෙත් වෙරළේ වැඩිපුරම ඇති අයිතමය  මෙම කුඩාම දේ බව මට පැහැදිලි වුණා” තොම්සන් පවසයි.

ඊළඟ වසර 10 තුළ, ආචාර්ය උපාධියක් සම්පූර්ණ කිරීමෙන් සහ නිව්කාසල්, සදම්ටන් සහ ප්ලයිමූත් විශ්ව විද්‍යාලවල සමුද්‍ර ජීව විද්‍යාව ඉගැන්වීමට ගිය පසු, මහාචාර්ය තොම්සන් සිය විවේක කාලය වෙරළේ ගත කළ අතර බොහෝ විට ටින්ෆොයිල් තැටිවලට වැලි සාම්පල දුසිම් ගණනක් එක්රැස් කිරීමට සිසුන් බඳවා ගත්තේය.

නැවත විද්‍යාගාරයේදී මෙම කුඩා කැබලි තොම්සන් මුලින්ම සැක කළ දේ තහවුරු කරනු ඇත. අංශු සියල්ලම ප්ලාස්ටික් කැබලිය ! ඒවා වැලි කැටවලට වඩා විශාල නොවන අතර එක්සත් රාජධානියේ වෙරළ තීරයේ සෑම තැනකම දක්නට ලැබේ. එය සම්පූර්ණයෙන්ම නව ආරයක සාගර දූෂණයක් විය.

ඡායාරූපය – රිචඩ් තොම්සන් Plymouth සමුද්‍ර රසායනාගාරයෙන් පිටත. ඡායාරූපය: Jonny Weeks/The Guardian

“මම සමුද්‍ර ජීව විද්‍යාව හැදෑරීමට පටන් ගත්තේ සමුද්‍ර ජීව විද්‍යාව කියන්නේ කැස්බෑවන්, ඩොල්ෆින් සහ කොරල්පර පිළිබඳව හැදෑරීමට අවශ්‍ය වූ නිසා” ඔහු පවසයි. නමුත් මේ සියල්ල වෙනුවට එම කුඩා අංශු ඔහුගේ ප්‍රධාන ආකර්ෂණය බවට පත් විය.

සවුත්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඇන්ඩ්‍රියා රසල් සමඟ (සම-කර්තෘ) 2004 දී සිදුකළ කෙටි අධ්‍යයනයක දී  තොම්සන් මුලින්ම මෙම කුඩා අංශු “ක්ෂුද්‍ර ප්ලාස්ටික් / microplastics” ලෙස විස්තර කළේය. ඔහු උපකල්පනය කළේ ප්ලාස්ටික් මුහුදට ඇතුළු වූ විට, එය සෙමෙන් කුඩා නමුත් නොනැසී පවතින කැබලිවලට කැඩී ගොස් ඇති බවයි. ඔහුගේ එක පිටුවක ලිපියෙන් ඔහු එතරම් ප්‍රතිචාරයක් අපේක්ෂා කළේ නැත.

“එය මැයි මාසයේ බැංකු නිවාඩු සති අන්තයක් වූ අතර අපි කඳවුරු බැඳගෙන සිටියා. මම ආපසු පැමිණි අතර එදින උදෑසන මට ලැබුණු සෑම ඊමේල් පණිවුඩයක්ම මාධ්‍යවේදියෙකුගෙන් ලැබුණු ඒවා. මේ අතර මගේ දුරකථනය නොකඩවා නාද වුණා”

මෙම කතාව එක්සත් රාජධානියේ, යුරෝපයේ සහ ආසියාවේ මාධ්‍ය ජාල විසින් ක්ෂණිකව ලබා ගන්නා ලදී. “එය ප්‍රකාශයට පත් කිරීමෙන් ටික කලකට පසු ඒ ගැන කැනේඩියානු පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළා” යනුවෙන් රසල් පවසයි.

ඔහුගේ පර්යේෂණවලින් එම අංශු ප්ලාස්ටික් බව තහවුරු විය.

මෙම සොයා ගැනීම ක්ෂුද්‍ර ප්ලාස්ටික් පර්යේෂණ ක්ෂේත්‍රයක් බිහි කිරීමට උපකාරී වූ අතර එක්සත් ජනපදය, නවසීලන්තය සහ කැනඩාව ඇතුළු රටවල ප්ලාස්ටික් බෑග් මත නව බදු පැනවීමට සහ ක්ෂුද්‍ර ප්ලාස්ටික් පබුළු (plastic microbeads) තහනම් කිරීම සඳහා නීති සම්පාදනයට ද උපකාරී විය. පර්යේෂකයන් දැන් අපගේ රුධිරය, ගර්භාෂ සහ මව්කිරි වලට ඇතුල් වන නැනෝප්ලාස්ටික් (nanoplastics) නම් කුඩා කොටස් ගැන පවා සොයා බලයි. (plastic microbeads යනු ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනයට (NOAA) අනුව අඟල් 0.2 (මිලිමීටර් 5) ට අඩු කුඩා ප්ලාස්ටික් අංශු වේ)

තොම්සන් සම්බන්ධයෙන් ගත් කල, ඔහු බ්‍රිතාන්‍ය දේශපාලනඥයෙකු විසින් “ක්ෂුද්‍ර ප්ලාස්ටික් වල ගොඩ් ෆාදර් / godfather of microplastics ” ලෙස නම් කළේය.

පසුගිය ජූනි මාසයේ පැරිසියේදී පැවැත්වූ, ප්ලාස්ටික් දූෂණය මැඩපැවැත්වීම සඳහා වූ ගෝලීය සමුළුවේදී ප්ලාස්ටික් දූෂණය මැඩපැවැත්වීම සඳහා ගෝලීය ගිවිසුමක් සකස් කිරීම සඳහා  කළ සාකච්ඡාවලට ද තොම්සන් සිය සහාය ලබා දුන්නේය.

එක්සත් ජාතීන්ගේ ප්‍රමුඛ ප්ලාස්ටික් ගිවිසුමක් යනු “ලෝකයකට වරක් ලැබෙන අවස්ථාවක්” බව තොම්සන් පවසයි, නමුත් ඉදිරිපත් කර ඇතැයි කියනු ලබන සමහර විසඳුම් ගැන ඔහුගේ මතය පැහැදිලිය. දිරාපත් වන ප්ලාස්ටික් වලින් අපව ගලවා ගත නොහැකි බව ඔහු තරයේ කියා සිටියි. නරකම දෙය නම්, (ඔහු සිතන්නේ) ලෝකය වැරදි අදහස් පසුපස හඹා ගියහොත් ක්ෂුද්‍ර ප්ලාස්ටික් දූෂණය වඩාත් නරක අතට හැරෙනු ඇති බවයි. “මාව කනස්සල්ලට පත් කරන සැබෑ අවදානමක් තිබෙනවා. අපි එය වැරදි ලෙස අනුමාන කළහොත් අපිට වරදින්න පුළුවන්” තොම්සන් පවසයි.

තම කාර්යයේ මාතෘකාව නොතකා බෝවන උද්‍යෝගයෙන් කතා කරන උස රූපයක්. තොම්සන් බොහෝ විට ඔහුගේ ඔරලෝසුව පරීක්ෂා කර සංවාද ආරම්භ කරයි. ඔහු ප්ලාස්ටික් ගැන කතා කිරීමට පටන් ගත් පසු කාලය ඉක්මනින් පලා යා හැකි බව දනී.

ඔහු තම සොයාගැනීම විස්තර කරන්නේ විකෘති වූ විසඳුමක ප්‍රතිඵලයක් ලෙසය. ඇත්දළ සඳහා තිරසාර විකල්පයක් ලෙස ප්ලාස්ටික් සොයා ගන්නා ලද අතර පසුව ඉංජිනේරු සහ වෛද්‍ය ක්ෂේත්‍ර සඳහා එය අත්‍යවශ්‍ය විය. නමුත් ප්‍රශ්නය ආරම්භ වූයේ 1950 ගණන්වල කර්මාන්තයේ අභිලාෂයන් ‘තනි භාවිත ඇසුරුම්කරණය / single-use packaging’ වෙත යොමු වූ විටය. තනි භාවිත ඇසුරුම්කරණය යනු දැන් සෑම වසරකම නිපදවන ප්ලාස්ටික් ටොන් මිලියන 400 ට වැඩි ප්‍රමාණයෙන් 40%කි. මෙම ප්‍රමාණයෙන් අවම වශයෙන් ටොන් මිලියන 8ක් සාගරයට ගමන් කරයි. මේ අතර, නිෂ්පාදනය වැඩිවෙමින් පවතී .

මෙම කාසියේ අනෙක් පැත්ත නම් ප්ලාස්ටික් වල නොනැසී පවතින ස්වභාවයයි. තොම්සන්ගේ උපකල්පනය නිවැරදි විය. ක්ෂුද්‍ර ප්ලාස්ටික් විශාල ද්‍රව්‍යවල දිගුකාලීන බිඳවැටීමේ ප්‍රතිඵලයක් වන අතර, ඒවා දශක ගණනාවක් පුරා පවතිනු ඇත්තේ ප්ලාස්ටික් වල ආවේනික කල්පැවැත්ම නිසාය. සමුද්‍ර සතුන්ගේ ශරීරයට ඇතුළු වන හානිකර විෂ ද්‍රව්‍ය සහ රෝග කාරක අවශෝෂණය කරමින් ඒවා දීර්ඝ කාලයක් පවතිනු ඇත.

ප්ලාස්ටික් අපද්‍රව්‍ය සාගරයේ පාවෙන බව දැන සිටි නමුත් තොම්සන් විසින් කුඩා පබුළු වලට නමක් දෙන තුරු මෙම නව දූෂණයේ පරිමාණය ලෝකය හඳුනා ගත්තේ නැත.

“මම [තොම්සන්ගේ 2004] පත්‍රය දැක මෙහෙම කිව්වා. ‘මෙය ඇත්තෙන්ම වැදගත් දෙයක්. සමහර විට සාගරයේ බහුලව පැතිරී ඇති ප්ලාස්ටික් නිසා මිනිසුන් අවදි වේවි” ඔහු පවසයි.

තොම්සන් මුහුදු ජීවීන් මෙම අංශු අවශෝෂණය කරන බවට පළමු සාක්ෂිය ඉදිරිපත් කළේය. ඔහු ආක්ටික් ප්‍රදේශය ඇතුළුව ලොව පුරා වෙරළ දුසිම් ගණනකින් ලබාගත් සෑම වැලි සාම්පලයකම ක්ෂුද්‍ර ප්ලාස්ටික්වල ගෝලීය ව්‍යාප්තිය පෙන්නුම් කළේය.

ප්ලාස්ටික් ගිවිසුම මෙම ප්‍රවාහය නැවැත්වීමට ශක්තියක් වනු ඇතැයි ඔහු විශ්වාස කරයි. සමහර ප්ලාස්ටික් වර්ග තහනම් කළ යුතුද, නැතහොත් එදිනෙදා ඇසුරුම්වල ඇති රසායනික ද්‍රව්‍ය 13,000ක් නියාමනය කළ යුතුද යන ප්‍රශ්නය ඇතුළු බොහෝ දේ ගිවිසුමේ විෂය පථය මත රඳා පවතී.

ඡායාරූපය – Ocean Cleanup ව්‍යාපෘතියේ නිර්මාතෘ Boyan Slat, පද්ධතියට හසු වූ ප්ලාස්ටික් සමග

තොම්සන්ගේ අවධානයට ලක්වන දෙය නම්, දැනටමත් භාවිතා කරන බොහෝ ප්‍රබෝධමත් ප්‍රවේශයන් මගින් ප්‍රතිපත්ති සම්පාදකයින් නොමඟ යැවිය හැකි වීමයි. නිදසුනක් වශයෙන්, සාගරයෙන් ප්ලාස්ටික් ඉවත් කිරීමේ අධි තාක්‍ෂණික මුලපිරීම් (පිරිසිදු කිරීම් / Ocean Cleanup) ප්‍රතිපත්ති සම්පාදකයින් නොමඟ යැවිය හැකි බව විශ්වාස කෙරේ.

තොම්සන් අවධාරණය කරන්නේ තමා වෙරළබඩ දූෂණය සඳහා පිරිසිදු කිරීම් කෙරෙහි දැඩි ලෙස විශ්වාස කරන නමුත් ක්ෂුද්‍ර ප්ලාස්ටික් වල විශාල තර්ජනයට පිරිසිදු කිරීම් පද්ධතිමය විසඳුමක් විය හැකි යැයි අපේක්ෂා කිරීම බොළඳ ක්‍රියාවක් බවයි.

“මනෝවිද්‍යාඥයන් එය හඳුන්වන්නේ ‘තාක්ෂණ-ශුභවාදය / techno-optimism ‘ ලෙසයි. අපි පරෙස්සම් නොවුනොත් පැසිෆික් සාගරය මැද කැරකෙන විශාල ගැජට් එකක් අප වෙනුවෙන් ඒ සියල්ල මකා දමන බව මහජනතාවට ඒත්තු ගැන්විය හැකියි. එය කතාවේ අවසානය විය හැකියි. එසේම එය ආකර්ශනීය කතාවක්.  අප කරන කිසිවක් වෙනස් කිරීමට අවශ්‍ය නොවන දෘෂ්ටි කෝණයෙන් එය සර්වසුභවාදී දෙයක්” තොම්සන් පැහැදිලි කරයි.

ඒ හා සමානව, ජෛව හායනයට ලක්විය හැකි සහ ජෛව පාදක ප්ලාස්ටික් වැනි ප්ලාස්ටික් විකල්ප පැතිරීම දැන තොම්සන් මෙසේ කියයි. “මෙය ගැටලුවට පිළිතුරක් වේවිද කියලා මම ඇත්තටම කුතුහලයෙන් සිටින්නේ ?” තොම්සන් පවසයි.

එහෙත්, ඒවා සාම්ප්‍රදායික ප්ලාස්ටික් වල ෆොසිල-ඉන්ධන පියසටහනේ අර්ධ දියුණුවක් වුවද, සමහර නීත්‍යානුකූල භාවිතයන් තිබිය හැකි වුවද, බොහෝ ජෛව හායනයට ලක්විය හැකි ප්ලාස්ටික් ස්වභාවිකව දිය නොවේ. එය තොම්සන් මුලින්ම අවබෝධ කරගත් කරුණක් වූයේ ඔහුගේ පර්යේෂණ දිවියේ මුල් අවධියේදීය. රජයේ වෙළඳ ප්‍රදර්ශනයක දී ලබාගත් ජෛව හායනයට ලක්විය හැකි යැයි සලකුණු කළ බෑගයක් ඔහු නිවසට ගෙන ආවේය.

” එම බෑගය තවමත් මෙහි කොහේ හරි ඇති!” ඔහු ෆෝල්ඩර අසුරා ඇති රාක්ක දෙසට ඉඟි කරමින් පවසයි.

අපි දැන් දනිමු ! (නැවතත් තොම්සන් සහ සගයන් විසින් කරන ලද අත්හදා බැලීම් වලට ස්තුතිවන්ත වන්න) බොහෝ ජෛව හායනය වන ද්‍රව්‍ය පිරිහීමට පාලිත කාර්මික තත්වයන් අවශ්‍ය වන අතර පසෙහි සහ මුහුදේ අතුරුදහන් වීමට වසර ගණනාවක් ගත වේ.

ඡායාරූපය – මුහුදේ වසර තුනකට පසු ‘ජෛව හායනයට ලක්විය හැකි’ ප්ලාස්ටික් බෑගයක්. ඡායාරූපය: Imogen Napper

කුණු ප්‍රශ්නය, අපද්‍රව්‍ය ප්‍රශ්නය, රසායන ද්‍රව්‍ය ප්‍රශ්නය ජෛව මූලාශ්‍ර ප්ලාස්ටික්වලින් විසඳෙන්නේ නැත.

“අපි සෑම වසරකම නිපදවන ප්ලාස්ටික් ටොන් මිලියන 300-400කට ආසන්න ප්‍රමාණයක් තබාගෙන, අප කරන්නේ එම පරතරය පිරවීම සඳහා ජෛව මූලාශ්‍ර ප්ලාස්ටික් / biosource plastics (ජෛව හායනයට ලක්විය හැකි] එක් කිරීම පමණයි. එය කුණු ප්‍රශ්නය විසඳන්නේ නැහැ. අපද්‍රව්‍ය ප්‍රශ්නය විසඳන්නේ නැහැ, රසායනික ද්‍රව්‍ය ප්‍රශ්නය විසඳන්නේ නැහැ. එය හුදෙක් කාබන් ප්‍රභවය ආදේශ කිරීමක් පමණයි.” තොම්සන් පෙන්වා දෙයි.

මේ ආකාරයේ ක්‍රියා කිසිවක් ඔහු සැබෑ අනතුර යැයි සිතන දෙය වෙනස් නොකරයි. ප්ලාස්ටික් නිෂ්පාදනය කිරීම, පරිභෝජනය කිරීම සහ බැහැර කිරීම යනු ගැටලුව නිර්මාණය කළ රේඛීය සම්බන්ධතාවයයි. දශක දෙකකට පසු එම ගැටලුව විස්තර කිරීමෙන් පසුව ඔහු දැන් අවධානය යොමු කර ඇත්තේ හේතුව ගැන ය.

“එය බොහෝ දුරට ගොඩබිමට පැමිණෙමින් තිබෙනවා. ක්ෂුද්‍ර ප්ලාස්ටික් ගැටලුව නිර්මාණය වන්නේ සාගරය තුළ නොවෙයි. එය ගොඩබිමේ පුරුදු වලින් නිර්මාණය වී තිබෙන්නේ”

පැරිස් සාකච්ජාවේදී ඔහු කීවේ එපමණකි. “අපි විසඳුම් දෙසට හැරෙමු, උඩුගං බලා යමු,”

ඔහු රටවල් 58ක නියෝජිත පිරිසකට පැවසුවේ, ගලා යන ප්ලාස්ටික් ගංගාව මන්දගාමී කිරීමට නම්, අප මුලින්ම එහි මූලාශ්‍රය පටු කළ යුතු බවයි.

“අපට තිබෙන අනුපාතයට [නිෂ්පාදනය] කරගෙන යන්න බැහැ. එයට මුහුණ දීමේ ඕනෑම හැකියාවක් දැවැන්ත ගැටලුවක් නිර්මාණය කරනවා”

ඡායාරූපය – 2015 (ඉහළ) සහ 2018 දී රූපලාවන්‍ය නිෂ්පාදනවල ඇති ක්ෂුද්‍ර පබළු මට්ටම් මත නියාමනයේ බලපෑම

“අනවශ්‍ය, වැළැක්විය හැකි හෝ ගැටලුකාරී” ප්ලාස්ටික් මැඩපැවැත්වීම සඳහා ගිවිසුම් සාකච්ඡාකරුවන් අතර නව ඇමතුම් සමඟ ඔහු එකඟ වේ. එයට තනි භාවිත අයිතමවල නිෂ්පාදනය ඇතුළත් විය හැකිය.

“මම කිව්වේ, නිසැකවම අපට අවශ්‍ය වන්නේ නිෂ්පාදනය මිලදී ගැනීමට මිස එහි ඇති ඇසුරුම් නොවෙයි. මම හිතන්නේ එය ආරම්භ කළ යුතු ප්‍රධාන තැනක්. සාගරවලට එකතු වන [ප්ලාස්ටික් වර්ගය] සහ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතිවලින් ගැලවී යාමේ වැදගත්ම දෙය වන්නේ ඇසුරුම් කිරීමයි” තොම්සන් කියයි.

ඇතැම් ප්ලාස්ටික් අපගේ ජීවිතයට නීත්‍යානුකූල වටිනාකමක් ගෙන දෙන අතර අප සමඟ රැඳී සිටීමට ඉඩ ඇති බව තොම්සන් පවසයි.

“අපිට සාමාන්‍ය විදියට ව්‍යාපාර කරගෙන යන්න පුළුවන් කියලා මම කියන්නේ නැහැ. අඩු කිරීම පළමු ක්‍රියාව විය යුතුයි”ඔහු අවධාරණය කරයි. නමුත් භාවිතයේ පවතින ප්ලාස්ටික් සඳහා, එය ප්‍රතිනිර්මාණය කිරීම අභියෝගය බව ඔහු විශ්වාස කරයි.

ප්ලාස්ටික් වලින් 10%ක් පමණක් ගෝලීය වශයෙන් ප්‍රතිචක්‍රීකරණය කර ඇති අතර, ප්ලාස්ටික් වලට එහි විවිධ ගුණාංග, වර්ණ සහ ආකෘති ලබා දෙන දහස් ගණන් රසායනික ද්‍රව්‍ය නිසා ප්‍රතිචක්‍රීකරණය කිරීම සැමවිටම කළ නොහැක්කකි.

“ප්‍රතික්‍රීකරණය සඳහා දේවල් සැලසුම් කිරීමේ නරක කාර්යයක් අපි කරනවා. ඉතින් අපි 10%ක් පමණක් ප්‍රතිචක්‍රීකරණය කරන නිසා එය පැහැදිලිවම අසාර්ථක වී ඇති බව මිනිසුන් පවසනවා. ඒ අනුව දෝෂයේ මූල හේතුව සැලසුම් අවධියේ තිබෙන බව මම සිතනවා. මම නිෂ්පාදන නිර්මාණකරුවන් සමඟ කතා කරන විට, ඔවුන් පවසන්නේ ආකර්ශනීය නිෂ්පාදනයක් සැලසුම් කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටි බවයි. ප්ලාස්ටික් නිෂ්පාදනයේ අවසන් තැන ගැන සිතා නිෂ්පාදන සැලසුම් කිරීමක් ගැන ඔවුන්ට ඉල්ලීම් ඉදිරිපත් වන්නේ නැහැ.” තොම්සන් කියයි.

ඡායාරූපය – රෙදිපිළි සේදීමෙන් පසු ඉවත් වන ක්ෂුද්‍ර තන්තු. ඡායාරූපය: Plymouth විශ්ව විද්‍යාලය

වෙනත් සමහර විද්‍යාඥයන් මෙන්, ඔහු විශ්වාස කරන්නේ ප්ලාස්ටික් නිෂ්පාදන ක්‍රියාවලියේදී රසායනික එක් කිරීම් (ආකලන) අඩු කළ යුතු බවය. සරල නිෂ්පාදන ක්‍රම මගින් සමහර නිෂ්පාදන 10 ගුණයක් දක්වා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ආකාරය පිළිබඳ හොඳ උදාහරණයක් ලෙස ඔහු PET බෝතල් උපුටා දක්වයි.

ප්‍රතිනිර්මාණය කිරීමෙන් එහි ජීවන චක්‍රය තුළ ප්ලාස්ටික් බලපෑම මෘදු කළ හැකිය. ප්ලාස්ටික් ක්ෂුද්‍ර තන්තු මුහුදට හෙළන පොලිමර් බහුල රෙදි පිළිබඳ ගැටලුව ගන්න. මෙම නූල් අල්ලා ගැනීමට රෙදි සෝදන යන්ත්‍රවලට පෙරහන් අවශ්‍ය වේ.

එහෙත් තොම්සන් සහ ඔහුගේ කණ්ඩායම සොයා ගෙන ඇත්තේ පොලිමර් රෙදිවල කෙදිවලින් අඩක් ඉවතට ගැලවී යාම සිදුවන්නේ සේදීමේදී නොව මිනිසුන් ඇඳුම් ඇඳ සිටින විට බවයි. වරකට වඩා ඇඳීම සඳහා රෙදි නැවත සැලසුම් කිරීම පොලිමර් ඉවතට යාම කැපී පෙනෙන ලෙස 80%කින් අඩු කරයි.

ඔහුගේ නවතම කාර්යය වන්නේ සමුද්‍ර ක්ෂුද්‍ර ප්ලාස්ටික් වල මූලික ප්‍රභවයක් වන මෝටර් රථ ටයර් වැනි අනෙකුත් සැලසුම් අභියෝග පරීක්ෂා කිරීමයි.

මෙම සහ අනෙකුත් ප්‍රශ්න පිළිබඳව වර්ධනය වන විද්‍යාත්මක සම්මුතිය ඉක්මනින්ම විසඳුම් දෙසට ජාතීන් මෙහෙයවීමේදී තීරණාත්මක විය හැකිය. එබැවින් වඩාත් යාවත්කාලීන ප්ලාස්ටික් පර්යේෂණ රජයන්ට සන්නිවේදනය කිරීමට එක්සත් ජාතීන්ගේ මට්ටමේ යාන්ත්‍රණයක් නොමැති වීම ගැන ඔහු කලකිරී සිටී.

ගිවිසුම් සාකච්ඡාකරුවන්ට විද්‍යාත්මක උපදෙස් ලබා දෙමින් හිඩැස පුරවන රටවල් 40ක බහුවිධ පර්යේෂකයන් 200කින් සමන්විත ස්වාධීන, ස්වේච්ඡා කණ්ඩායමක් වන ‘ඵලදායී ප්ලාස්ටික් ගිවිසුමක් සඳහා වූ විද්‍යාඥයින්ගේ සන්ධානය / Scientists Coalition for an Effective Plastics Treaty පිහිටුවීමට ඔහු උදව් කළේය.

ඡායාරූපය – ශ්‍රී ලංකාවේ මීගමුව වෙරළේ ප්ලාස්ටික් කැට අතර මියගිය මාළුවෙක් වැතිර සිටී. ඡායාරූපය: චමිල කරුණාරත්න/ඊපීඒ

“විද්‍යාත්මක සාක්ෂි අපව මේ තත්ත්වයට ගෙනැවිත් තිබෙනවා. නිවැරදි ආකාරයෙන් ඉදිරියට යාමට අපට විද්‍යාත්මක සාක්ෂි අවශ්‍යයි” ඔහු පවසයි.

ක්ෂුද්‍ර ප්ලාස්ටික් තහනම් කිරීමේ හෝ නියාමනය කිරීමේ අවශ්‍යතාවයට එකඟ වීමට ජාතීන් එකමුතු වීම ගැන ජූනි මාසයේදී ඔහුට දැනුණේ කෙසේද ? තොම්සන් අපගේ සංවාදයේ දුර්ලභ විරාමයක් ගනී. “ඒක ඇත්තටම මට හිතන්න බැරි තරම් හැඟීම්බරයි. එක්සත් ජාතීන්ගේ ගිවිසුම සහ ක්ෂුද්‍ර ප්ලාස්ටික් පිළිබඳ සාකච්ඡා සමඟ අපි දැන් සිටින තැනට සම්පූර්ණ සාක්ෂි සමූහයක් අපව ගෙන ආවා. නමුත් එය පුද්ගලික දෘෂ්ටිකෝණයකින් තරමක් චංචල වන මොහොතක් වුණා”

https://www.theguardian.com/environment/2023/nov/13/godfather-microplastics-richard-thompson-how-to-stop-them