‘මට මගේ දරුවා ලෝකෙට බරක් කරන්න ඕනෙ නැහැ’

දේශගුණික අර්බුදය පිළිබඳ දැනුවත්භාවය සාමාන්‍යයෙන් වඩාත්ම ඉහළ වන්නේ සංවර්ධිත රටවල වන නමුත්, දැන් ලෝකයේ වෙනත් කලාපවල ද වෙසෙන ඇතැම් යුවළ දරුවෙකු මෙලොවට බිහි නොකිරීම සඳහා තීරණය කිරීමට “දේශගුණික කාංසාව” හේතුවෙයි.

හූලියා බෝජස් තුළ දේශගුණික විපර්යාස පිළිබඳ පැවති කනස්සල්ල තීව්‍ර වූයේ, ඇයත් තවත් බොහෝ දෙනාත් ඔවුන්ගේ සිතුවිලි සමග තනිවී නිරෝධායනයේ පසු වූ [කොවිඩ්-19] වසංගතයේ මුල් මාස කිහිපයේ දී ය.

“මම මගේ නගරෙ, මගේ විශ්වවිද්‍යාලෙ වතුරට යටවෙලා තියෙන විදිය හිතින් මවාගත්තා,” බ්‍රසීලයේ ඊසානදිග වෙරළ තීරයේ පිහිටා ඇති රෙසීෆේ නගරයේ දිවි ගෙවන 23 හැවිරිදි කෘෂිකර්ම හා ඉංජිනේරු සිසුවිය පවසයි.

“මේ දේවල්වලට කොහොම ද මුහුණ දෙන්නේ කියන එක හිතාගන්න බැරි වීමත් එක්ක, මට මගේ ජීවිතය අතෑරලා දාන්න හිතෙන තරමට කාංසාව අර්බුදයක් වෙන්න පටන් ගත්තා.”

දේශගුණික නායකත්වය පිළිබඳ පාඨමාලාවක් හැදෑරීම ඇයට උපකාරයක් නොවූ තරම් ය. එය, සිදුවෙමින් පැවති දේ පිළිබඳව ඇයට වැඩි වගකීම්සහගත හැඟීමක් ඇති කළා පමණි. දරුවෙකු ලැබීම යනු නුසුදුසු ක්‍රියාවක්බවට ඇය ඉක්මනින්ම නිගමනයට පැමිණියා ය.

“මේ වෙද්දිත් අධික බරක් පැටවිලා තියෙන ලෝකෙකට තවත් බරක් වෙන නව ජීවයක් බිහි කරන්න, වෙනත් මනුස්සයෙකුගේ ජීවිතයකට මම වගකියන්න ඕනේ කියලා මට පේන්නේ නැහැ,” හූලියා පවසයි.

2022 වසරේ දී නොටින්හැම් විශ්වවිද්‍යාලයයේ කණ්ඩායමක් රටවල් 11ක වැඩිහිටියන්ගෙන්, දේශගුණික විපර්යාස පිළිබඳ ඇතිවුණු කාංසාව හෝ මානසික පීඩාවක් ඔවුන් දරුවන් බිහි නොකළ යුතුයැ යි සිතීමට හේතු වූවා ද, නැතහොත් දරුවන් ලැබීම ගැන පසුතැවීමට හේතු වූවා ද යන්න විමසා සිටියේ ය. ඔවුන්ට ‘ඇතැම් විටෙක’, ‘බොහෝ විට’ හෝ ‘නිතර’ එවැනි සිතුවිලි ඇතිවෙතැ යි පවසන අනුපාතය ජපානයේ 27%ක සිට ඉන්දියාවේ 74% දක්වා වූ පරාසයක පවතියි. මෙම අධ්‍යයනය ලබන වසරේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

2021 වසරේ දී වයස අවුරුදු 16 සිට 25 දක්වා පුද්ගලයින් 10,000ක් යොදාගෙන කරන ලද සමීක්ෂණයක් මත පදනම්ව ලාන්සට් වෛද්‍ය සඟරාවේ මීට පෙර ප්‍රකාශයට පත් කෙරුණු අධ්‍යයනයකින්, ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, ඉන්දියාව සහ පිලිපීනයේ ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 40%කට වඩා වැඩි පිරිසක් දේශගුණික විපර්යාස ඔවුන් දරුවන් ලැබීම සම්බන්ධයෙන් දෙගිඩියාවකට පත්කර ඇතැ යි පැවසූ බව හෙළිවිය. ප්‍රංශය, පෘතුගාලය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යන රටවල මෙම අගය 30% සහ 40% අතර විය. නයිජීරියාවේ එය 23%ක් විය.

ලන්ඩන් යුනිවර්සිටි කොලේජ්හි පර්යේෂකයන් විසින් මෙම මාසයේ ප්‍රකාශයට පත් කරන ලද, 2012 – 2022 අතර සිදු කෙරුණු අධ්‍යයනයන් 13ක විශ්ලේෂණයකින්, දේශගුණික විපර්යාස පිළිබඳ කණස්සල්ල හා සාමාන්‍යයෙන් දරුවන් අඩු ගණනක් පමණක් ලැබීමට ඇති කැමැත්ත අතර සම්බන්ධයක් තිබුණු බව හෙළිවිය.

Climate anxiety infographic

ඒ සාමාන්‍යයෙන්, සමීක්ෂණයට සහභාගීවූවන් දේශගුණික විපර්යාස ඔවුන්ගේ දරුවන්ගේ ජීවිතයට ඇති කළ හැකි බලපෑම ගැන සැලකිලිමත් වූ නිසා හෝ, හූලියා මෙන්, දරුවන් වැඩි ගණනක් බිහි කිරීමෙන් සිදුවන්නේ පෘථිවියේ සම්පත් මත ඇති කරන පීඩනය ඉහළ දැමීම පමණකැ යි ඔවුන්ට හැඟුණු නිසා ය. කෙසේ වෙතත්, සැම්බියාවේ සහ ඉතියෝපියාවේ සිදු කළ අධ්‍යයනයන් දෙකක දී ප්‍රධාන මතය වූයේ, “අහිතකර පාරිසරික තත්ත්වයන් තුළ දී එකිනෙකා රැක බලා ගැනීමට කුඩා පවුල්වලට වැඩි වාසියක් ඇත,” යන්න බව පර්යේෂකයන් පවසයි.

2019 වසරේ දී ගායිකාවක වන මයිලි සයිරස්, පෘථිවිය පවතින තත්ත්වය නිසා ඇය දරුවන් බිහි නොකරනු ඇති බව පැවසුවා ය. එමෙන් ම, දේශගුණික විපර්යාසවලින් පීඩාවට පත් වූ ලෝකයකට දරුවන් ගෙන ඒම නිවැරදිදැ යි, එක්සත් ජනපද කොන්ග්‍රස් සභිකවරියක වන ඇලෙක්සැන්ඩ්‍රියා ඔකේසියෝ-කෝර්ටෙස් ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ ප්‍රශ්න කළා ය. දැන්, දේශගුණ අර්බුදයේ ඉදිරිපෙළ සිටින රටවල ද එම විවාදය සිදුවනබව පෙනෙයි.

දේශගුණික විපර්යාස පිළිබඳ හූලියා දැක් වූ සැලකිල්ල ඉහළ ගියේ, 2022 මැයි මාසයේ දී ප්‍රදේශයේ 120 දෙනෙකුට අධික පිරිසකට දිවි අහිමි කරමින් ජලගැල්ම සහ නායයෑම් ඇති කළ කුණාටුවක් රෙසීෆේ නගරය වෙත කඩා වැදුණු අවස්ථාවේ දී ය.

“ඒ මහ වැහිවලට දවස් තුනකට කලින් මම දේශගුණික අර්බුදය කියන මාතෘකාව යටතේ ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධානයක ළමයින්ට දේශනයක් කළා. ඒ කිව්වා වගේ ම, ප්‍රදේශයට වැඩි වශයෙන් බලපෑම් එල්ල වුණේ ජලගැල්මෙන්,” ඇය පවසයි. “ඒක ඇත්තට ම මට බලපෑවා. ඒ කියන්නේ, වර්තමානයේ ජීවත් වෙන දරුවොත් ඉන්නේ අනතුරක නම්, අපි කොහොම ද අනාගත දරුවෝ ගැන හිතන්නේ?”

Floods inundated parts of Recife in May 2022
ඡායාරූප ශීර්ෂ වැකිය, – 2022 මැයි මාසයේ දී රෙසිෆේ නගරයේ ඇතිවූ ජලගැල්ම නිසා ඇතැම් ප්‍රදේශවල මාරාන්තික නායයෑම් ඇතිවිය

බ්‍රසීලයට ඈතින් පිහිටා රටවල වෙසෙන තවත් කාන්තාවන් දෙදෙනකු ද දේශගුණික විපර්යාසවලට හේතුවන බරපතළ කාලගුණික සිදුවීම්වලින් දැඩි ලෙස බලපෑමට ලක්ව තිබේ.

සත්ත්ව අයිතිවාසිකම් පිළිබඳ නේපාල ජාතික ක්‍රියාකාරිනියක වන ශ්‍රිස්ති සිං ශ්‍රේස්තා මේ වසරේ ඇගේ පවුල දිවි ගෙවන ගම්මානය වෙත ගිය අතර, එහිදී ඇය නියඟය නිසා කුසගින්නේ සිටින මිනිසුන් දැක තැති ගත්තා ය.

ඔවුන්ගේ වගාවන් සියල්ල වියළී ගොස් තිබුණු අතර අඩි 200ක් ගැඹුරට ළිඳක් කැපුව ද ජලය සොයා ගැනීමට ඔවුන් පොහොසත් වී ඇත. ඒ අතරතුර, අසල්වැසි දිස්ත්‍රික්කයක ගමක් ගංවතුරින් යට වී ගොස් තිබිණි.

Shristi Shrestha
ඡායාරූප ශීර්ෂ වැකිය – නියඟයෙන් පීඩා විඳි ඇගේ පවුලේ ගම්මානයේ සංචාරයකින් පසු ශ්‍රිස්ති ශ්‍රේස්තා නිදි නැති රාත්‍රීන් ගෙවා දැමුවා ය

හතළිස් හැවිරිදි ශ්‍රිස්ති, දේශගුණික විපර්යාස ගැන සැලකිලිමත් වූයේ මීට බොහෝ කලකට පෙර සිට ය. මීට වසර අටකට පෙර ඇය නින්දේ සිටි ඇගේ අලුත උපන් දියණිය දෙස බලා ඇයට උරුම වන ලෝකය ගැන වද වූවා ය.

“කොහොම ද මේ ලෝකේ වැඩ සිද්ධවෙන්නේ, දේශගුණික විපර්යාස කොහොම ද දරුවන්ගේ වගේ ම සතුන්ගේ ජීවිත නරක ම තැනට ඇදලා දාන්නේ කියන එක තේරුම් ගනිද්දී, ඒ අවබෝධය මාව දවස ගාණේ ඇඬෙව්වා. ඒක මහා භයානක දෙයක් වුණා මට,” ඇය පවසයි.

එතැන් පටන් ඇය තවත් දරුවෙකු බිහි නොකරන බවට අදිටන් කර ගත්තා ය.

ගම්මානය වැළඳ ගත් මෙම නව ඛේදවාචකය, තරුණ ගැහැනු දරුවන් පෝෂණය කිරීමට නොහැකි දෙමාපියන් ඔවුන් විවාහකර දෙන තත්ත්වයට පත් කළේ ය. එමෙන් ම, දේශගුණික කාංසාව නිසා ඇයට නිදි නැති රාත්‍රීවලින් පීඩා විඳීමට ද සිදු විය.

‘දේශගුණික කාංසාව’ යනු කුමක් ද?

මනෝචිකිත්සක කැරොලයින් හික්මන්, බාත් විශ්වවිද්‍යාලයය

‘දේශගුණික කාංසාව’ (climate anxiety) නොඑසේ නම් ‘පාරිසරික කාංසාව’ (eco-anxiety) යනු, අපගේ වෙනස් වන ලෝකයේ සිදුවෙමින් පවතින දේ දෙස බලන විට අපට දැනෙන සෞඛ්‍යමත් දොම්නස යි. සීඝ්‍රයෙන් වෙනස් වන අපගේ දේශගුණය නිසා අපි පෞද්ගලික සහ ගෝලීය තර්ජනවලට මුහුණ දෙමින් සිටිමු. එය අපගේ සහ අප දරුවන්ගේ අනාගතය ගැන අප කණස්සල්ලට හා බියට පත් කිරීමට හේතු වේ.

එය කාංසාව පමණක් නොව, දුක, විෂාදය, ශෝකය, බලාපොරොත්තු සුන්වීම, කෝපය, කලකිරීම සහ ව්‍යාකූලත්වය ද වේ. අපට බලාපොරොත්තුවක් හෝ සුබවාදී හැඟීමක් ඇතිවන අවස්ථාවන් ඇතත්, ලොව වේගයෙන් වැරදි දිශාවකට ගමන් කරන අතර දේශගුණික අර්බුදය මන්දගාමී කිරීමට ප්‍රමාණවත් පියවර නොගැනීම නිසා මෙම හැඟීම් පවත්වා ගැනීම දුෂ්කර විය හැකි ය.

නයිජීරියාවේ තිරසර රාජ්‍ය නොවන සංවිධානයක සේවය කරන 24 හැවිරිදි අයෝමිඩේ ඕලූඩේ සම්බන්ධයෙන් ගත්කල, පසුගිය වසරේ වෙරළබඩ ධීවර ප්‍රජාවක් පිළිබඳ වාර්තා චිත්‍රපටයක් රූගත කිරීමෙන් ඇය ලද අත්දැකීම කිසි දා දරුවෙකු නොලබන ඇගේ අධිෂ්ඨානය ශක්තිමත් කළේ ය.

නයිජීරියාවේ ලේගෝස් අගනුවරට කිලෝමීටර 100ක් නැගෙනහිරින් පිහිටි ෆෝලුහි පදිංචිකරුවන්, අතීතයේ මුහුද අසල විනෝද වීමට භාවිතා කළ ජැටියක් මුළුමනින් ම පාහේ ඒ වන විටත් ජලයෙන් යට වී තිබෙන අයුරු ඇයට පෙන්වීය.

“කුණාටු අතරෙ මුහුදු වතුර අසාමාන්‍ය ලෙස ඉහළ යනකොට දැන් ගම දරුණු ගංවතුර තත්ත්වයකට මුහුණ දෙනවා. ඒ නිසා මිනිස්සු මේ වෙද්දී ගෙවල් දාලා යමින් ඉන්නේ,” අයෝමිඩේ පවසයි. “ඉස්සර දේපළ වෙළෙඳාම් හරි හරියට සිද්ධ වෙච්ච තැනක් මේ. නමුත් දැන් ඔබට පේන්න තියෙන්නේ අතහැර දැමූ ගෙවල් සහ ගමේ සමහර ප්‍රදේශ දැනටමත් ජලයෙන් යට වී ඇති විදිය යි.”

කුණාටු ප්‍රබල වී ඇති නිසා ධීවරයෝ එම රැකියාව දැන් අනාරක්ෂිත තත්ත්වයක පවතින්නේයැ යි ඇය හා පැවසූහ.

අයෝමිඩේ පවසන්නේ, ලේගෝස්හි උතුරට වන්නට පිහිටි ඔගුන් ප්‍රාන්තයේ දී ඇය පවත්වාගෙන යන “climate café” එකක දී තරුණ නයිජීරියානුවන් ඔවුන් තුළ ඇති කාංසාවන් ගැන සාකච්ඡා කරනු ඇයට නිතර ඇසෙන බව ඇය පැවසුවා ය. මේ climate café එක ඇය නිර්මාණය කර ඇත්තේ, දේශගුණික විපර්යාස ගැන ඔවුන් දන්නා සහ ඔවුනට දැනෙන දේ බෙදා ගැනීමට මිනිසුන් දිරිමත් කිරීමට ය. ෆෝලුහි දී ඈ ලද අත්දැකීම ඇගේ ම සැලකිල්ල තියුණු කළේ ය.

Ayomide Olude
ඡායාරූප ශීර්ෂ වැකිය – දරුවන් ලැබීමට ඇති සමාජ පීඩනය දැඩිබව අයෝමිඩේ ඕලූඩේ පවසයි

බ්‍රසීලයේ හූලියා මෙන් ඇය ද, මවක වන ලෙසට සමාජයෙන් සහ ඇගේ පවුලේ සාමාජිකයින්ගෙන් එල්ල වන බලපෑම්වලට මුහුණ දෙමින් සිටින නමුත්, ඇගේ අදහස වෙනස් කිරීමට ඒ කිසිවකට ඇයව පෙළඹිය නොහැකි බව ඇය පවසයි.

“කාන්තාවන්ට තීරණ ගැනීමට යන්තම්වත් බලයක් නැති සමාජයක සහ දරුවන් සිටිය යුතු බවට ආගමික විශ්වාසයන් පවතින සමාජයක, මේක ප්‍රසිද්ධියේ කියන්න සැලකිය යුතු ශක්තියක් සහ අධිෂ්ඨානයක් අවශ්‍ය යි,” ඇය පවසයි.

“මගේ දෙමව්පියෝ හිතේ අමාරුවෙන් ඉන්නේ, අපි ඒ ගැන වැඩිය කතා කරන්නේ නැහැ. මට එයාලා ගැන දුක හිතුණත්, මම ඒ ගැන වැඩිය නොහිතා ඉන්න උත්සහ කරනවා.”

ශ්‍රිස්තිට, ඇගේ දෙවන දරුවා බිහි කරන්නේ කවදාදැ යි ඥාතීන් දිගින් දිගට ම යොමු කරන ප්‍රශ්නවලට මුහුණදීමට සිදුව තිබේ.

නමුත්, ඔවුන්ගේ සහකරුවන් ඔවුන්ගේ මෙම තීරණයට සහාය ලබා දෙන බව මෙම කාන්තාවන් තිදෙනා ම පවසයි.

2021 ලාන්සට් අධ්‍යයනයේ ප්‍රධාන කතුවරිය වන, බාත් විශ්වවිද්‍යාලයයේ මනෝචිකිත්සක කැරොලයින් හික්මන්, දේශගුණික කාංසාව, දේශගුණික අර්බුදය වෙත දක්වන සෞඛ්‍ය සම්පන්න ප්‍රතිචාරයක් බවට තර්ක කරන්නී ය.

එය අත්විඳින ඕනෑ ම කෙනෙකුට එම හැඟීම එලෙස ම දැනෙන අන් අය සමග සම්බන්ධතා ඇතිකර ගන්නා ලෙස ත්, අර්බුදය විසඳීම සඳහා ප්‍රායෝගික පියවර ගැනීමට ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙස ත් ඇය උපදෙස් දෙයි.

“මේ දුෂ්කරතා පහවෙලා යන්නේ නැහැ, ඒ නිසා ඒවාට කොහොම ද මුහුණ දෙන්නේ කියලා අපි ඉගෙන ගන්න ඕනේ.”

දේශගුණික කාංසාවට මුහුණදීම සඳහා උපදෙස්

  • සමාන අදහස් ඇති පුද්ගලයින්ගේ ප්‍රජාවක කොටසක් වන්න. එවිට ඔබට හැඟීම් සහ සිතුවිලි බෙදා ගැනීමට මිනිසුන් හමුවනු ඇත.
  • ඔබේ හැඟීම් පාලනයකර ගැනීමට ඉගෙන ගන්න. එවිට ඔබට එම හැඟීම් ඕනෑවට වඩා දැනීම හෝ කිසිසේත් නොදැනීමේ තත්ත්වයෙන් වැළකිය හැකි ය. නිවැරදි සිහියෙන් කටයුතු කිරීම සහ භාවනාව ප්‍රයෝජනවත් විය හැකි නමුත්, චිත්තවේගීය ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමට උපකාර වන ඕනෑම දෙයක් ද ඒ හා සමානව ප්‍රයෝජනවත් වේ.
  • එසේම, පාරිසරික කාංසාව ‘පාරිසරික රැකවරණය’, ‘පාරිසරික ධෛර්යය’, ‘පාරිසරික සබඳතා’ ලෙස “යළි අර්ථ දැක්වීමට” හැකියාවක් ලැබෙනු ඇත. අප එයින් මිදීමට උත්සහ නොකළ යුතු ය. අපට පාරිසරික කාංසාව දැනෙන්නේ අප [පරිසරය] පිළිබඳව සැලකිලිමත් වන බැවිණි. සැලකිලිමත් වීම ගැන අප ආඩම්බර විය යුතු ය!

කැරොලයින් හික්මන්, බාත් විශ්වවිද්‍යාලයය

හූලියා මෙම මාවතට පිවිස ඇත. ඇය ගංවතුර සහ නායයෑම්වලට ගොදුරු විය හැකි ප්‍රදේශ සිතියම්ගත කිරීමට උදව් කර ඇති අතර, දේශගුණය සහ පරිසරය පිළිබඳව ජනතාව දැනුවත් කරන ප්‍රාදේශීය රාජ්‍ය නොවන සංවිධානයක් සඳහා සේවය කරයි.

“ඒ කාංසාවෙන් ටිකක් හරි මුදා හරින්න මට උදව් වුණේ, මගේ ප්‍රජාව ඇතුළෙ වෙනසක් සහ පරිවර්තනයක් ඇති කිරීමේ නියෝජිතයෙකු වුණු එක යි,” ඇය පවසයි.

කෙසේ වෙතත්, ඇගේ කණස්සල්ල තවමත් පහවගොස් නැත.

“මට තාමත් ඒ බලාපොරොත්තු සුන්වීම දැනෙනවා, නමුත් මම මගේ චිකිත්සකවරයත් එක්ක ඒක ගැන කටයුතු කරමින් ඉන්නේ – ඒක මට ඒ ගැන කතා කරන්න උදව්වක් වෙනවා.”

අතිරේක වාර්තාකරණය පෝලා අඩාමෝ ඉඩොටා විසිනි

text copied by – bbc sandesaya