තවත් පොසිල ඉන්ධන මත යැපෙන රටක් කෝප් සමුළුවේ සභාපතිත්වය ගැනීම නිසා දේශගුණ ක්‍රියාකාරීන් කනස්සල්ලට පත් විය හැකිය

අසර්බයිජානය 2024 වසරේ දේශගුණ සමුළුවේ සත්කාරක රට ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර තවත් පොසිල ඉන්ධන මත යැපෙන රටක් කෝප් සමුළුවේ සභාපතිත්වය ගැනීම සම්බන්ධයෙන් දේශගුණ ක්‍රියාකාරීන් කනස්සල්ලට පත්ව සිටී.

එක්සත් ජාතීන්ගේ නීතිරීති යටතේ භ්‍රමණය වන කෝප් සභාපති ධූරය / සත්කාරකත්වය 2024 දී නැගෙනහිර යුරෝපයට හිමිවීමට නියමිතව තිබූ අතර සභාපති ධූරය හිමි රට අදාළ කලාපීය රාජ්‍ය වලින් ඒකමතිකව සම්මත විය යුතුය. රුසියාව යුරෝපා සංගමයේ රටවල් අවහිර කර තිබූ අතර අසර්බයිජානය සහ ආර්මේනියාව එකිනෙකාගේ ලංසු අවහිර කරමින් සිටියේය.

මෙතරම් විශාල සම්මන්ත්‍රණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් සහ පහසුකම් ලබාදිය හැකි රටක් සත්කාරකත්වය සඳහා එකඟ විය හැකිද යන්න පිළිබඳව සමුළුව කනස්සල්ලට පත් විය. නමුත් අවසානයේදී ආර්මේනියාව සිය ලංසුව ඉල්ලා අස්කර ගත් අතර අසර්බයිජානයට සහාය දැක්වීමට එකඟ විය. ඒ අනුව 2024 කෝප් සමුළුවේ සත්කාරත්වය අසර්බයිජානයට හිමිවිය.

පොසිල ඉන්ධන අවශ්‍යතා මගින් කෝප් සමාජිකයින් අර්ධ වශයෙන් අල්ලාගෙන ඇති බවට දැනටමත් පවතින මතය අනුව දේශගුණ ක්‍රියාකාරීන් මෙම තෝරා ගැනීම සම්බන්ධයෙන් කණස්සල්ලට පත්ව සිටී. නැගෙනහිර යුරෝපයේ සහ බටහිර ආසියාවේ මායිමේ පිහිටි මිලියන 10ක ජනතාවක් සිටින අසර්බයිජානය ආර්ථික වශයෙන් පොසිල ඉන්ධන මත රඳා පවතී: තෙල් හා ගෑස් නිෂ්පාදනය අසර්බයිජානයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් නියෝජනය කරන අතර පසුගිය වසරේ එහි අපනයන ආදායමෙන් 92.5%කට වඩා වැඩි ප්‍රතිශතයකට තෙල් හා ගෑස් අපනයනය හිමිකම් කීවේය.

මේ අතර සිවිල් සමාජ සංවිධාන ද පවසා ඇත්තේ අසර්බයිජානයට මානව හිමිකම් සම්බන්ධයෙන් දුර්වල වාර්තාවක් ඇති බවයි. එක්සත් ජනපදය පදනම් කරගත් රාජ්‍ය නොවන සංවිධානයක් වන Freedom Index හි අසර්බයිජානය තුළ සිවිල් හා දේශපාලන නිදහස ‘අවම‘ කාණ්ඩයේ ශ්‍රේණිගත කර ඇත.

සිවිල් සමාජ ක්‍රියාකාරිනියක වන Svitilana Romanko මෙසේ පැවසුවාය: “මෑත වසරවලදී අසර්බයිජාන ජනපතිවරයාගේ පාලන තන්ත්‍රය වඩ වඩාත් මර්දනකාරී වී ඇති අතර දේශපාලන විරුද්ධත්වය මුළුමනින්ම තුරන් කර තිබෙනවා. මෙවැනි රටක් කෝප් වැනි ඉහළම ජාත්‍යන්තර සමුළුවක සත්කාරකත්වය ගැනීම එහි අරමුණුවලට සපුරා පටහැනි තත්ත්වයක් නිර්මාණය කරනවා.”

එහෙත් 2024 කෝප් සත්කාරකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම බොහෝ දෙනකුගේ සැනසීමට හේතු වී ඇත. “Cop29 සත්කාරකත්වය දරන්නේ කවුරුන්ද යන්න පිළිබඳ අවිනිශ්චිතතාවය අවසන් වීම හොඳයි. එයින් අදහස් වන්නේ 2024 සහ 2025 ප්‍රධාන වසර සඳහා සියලුම රටවල් විසින් නව දේශගුණික ඉලක්ක ඉදිරිපත් කළ යුතු බවයි ”දේශගුණික හා බලශක්ති විසඳුම් මධ්‍යස්ථානයේ උප සභාපති Kaveh Guilanpour පැවසීය.

මේ අතර නෙදර්ලන්තය ප්‍රමුඛ රටවල් 12ක් ෆොසිල ඉන්ධන සහනාධාරවලට එරෙහිව දැඩි පියවර ප්‍රකාශයට පත් කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව දේශගුණික අර්බුදයේ මූලික හේතුව නිර්මාණය කරන පොසිල ඉන්ධන 2022 දී මිනිත්තුවකට ඩොලර් මිලියන 13ක වාර්තාගත සහනාධාරයක් ලබා ඇත.

ඩුබායි හි පැවති මාධ්‍ය හමුවකදී, EU හි දේශගුණ කොමසාරිස් Wopke Hoekstra පැවසුවේ ෙෆොසිල ඉන්ධන සහනාධාරවල විෂමතාවය අවසන් කිරීමට කාලය පැමිණ ඇති බවයි.

කැනේඩියානු දේශගුණ ඇමති ස්ටීවන් ගිල්බෝල්ට්, ඉක්මනින් සහනාධාර ඉවත් කරන ලෙස රටවල්වලින් ඉල්ලා සිටියේය. “ලෝකය පුරා අකාර්යක්ෂම ෆොසිල ඉන්ධන සහනාධාර ඉවත් කිරීම දේශගුණික අභිලාෂයන් සමඟ වියදම් සමපාත වන බව සහතික කරනවා” ඔහු පැවසීය.

දේශගුණ සමුළුව අවසන් වන ඉරිදා (10) එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5කින් ඉහළ යා හැකි ලෝකයක කෘෂිකර්මාන්තයේ අනාගතය පිළිබඳ මාර්ග සිතියම ඉදිරිපත් කරනු ඇති බව වාර්තා වේ. නමුත් FAO මාර්ග සිතියම කෙටි විස්තර සහ දිගු අපේක්ෂාවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම දියත් කිරීම Cop29 සහ Cop30 හි වැඩි විස්තර තැබීමේ පොරොන්දුව සමඟින්, වැඩ කිරීමේ ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් සැකසීමට ඉඩ ඇති නමුත් අනාගතය සඳහා විශාල ගැටළු ඉතිරි කරයි.

ගෝලීය උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යාම හමුවේ කෘෂිකර්මාන්තයේ අනාගතය විස්තර කිරීම විශාල කාර්යයක් වන නමුත්, FAO එය හදිසි අවශ්‍යතාවයක් ලෙස සැලකීමට එතරම් කැමැත්තක් නොදැක්වීම ගැන බොහෝ අය දැනටමත් කලකිරීමට පත්ව සිටිති. එක්සත් ජනපදය පදනම් කරගත් ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරියක වන ස්ටෙෆනි ෆෙල්ඩ්ස්ටයින් මෙසේ පැවසුවාය: “එක්සත් ජනපදය විසින් නියම කර ඇති ඉලක්ක සපුරාලීම සඳහා මස් සහ කිරි පරිභෝජනය සහ නිෂ්පාදනය අඩු කිරීමේ හදිසි අවශ්‍යතාවය ප්‍රකාශ කිරීමට FAO හි මාර්ග සිතියම අපොහොසත් වීම ගැන මම අතිශයින් කලකිරීමට පත්ව සිටිනවා. අපගේ දේශගුණයට, ගොඩබිමට, ජලයට, වාතයට සහ ජෛව විවිධත්වයට මෙතරම් විශාල විනාශයකට වගකිව යුතු අංශයක නිමක් නැති වර්ධනයක් අපට සරලව පිළිගත නොහැකයි. ධනවත් රටවල අධික ලෙස මස් සහ කිරි පරිභෝජනය ගැන අපි බැරෑරුම් ලෙස අවධානය යොමු නොකරන්නේ නම්, මෙම මාර්ග සිතියම මාරාන්තික අවසානයක් වනු ඇති’

https://www.theguardian.com/environment/2023/dec/09/azerbaijan-host-cop29-fraught-negotiations