සෑම මිනිස් වෘෂණ කෝෂයකින්ම ක්ෂුද්‍ර ප්ලාස්ටික් හමුවෙයි

විද්‍යාඥයින් පවසන්නේ මෙම සොයා ගැනීම ලොව පුරා සිටින පිරිමින්ගේ ශුක්‍රාණු ප්‍රමාණය දශක ගණනාවක් තිස්සේ අඩුවීම හා සම්බන්ධ විය හැකි බවයි

මිනිස් වෘෂණ කෝෂවල ක්ෂුද්‍ර ප්ලාස්ටික් සොයා ගෙන ඇති අතර, පර්යේෂකයන් පවසන්නේ මෙම සොයා ගැනීම පිරිමින්ගේ ශුක්‍රාණු ප්‍රමාණය අඩුවීමට සම්බන්ධ විය හැකි බවයි.

Toxicological Sciences සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද මෙම අධ්‍යයනයට පටක සාම්පල විසුරුවා හැරීම සහ ඉතිරි වූ ප්ලාස්ටික් විශ්ලේෂණය කිරීම සම්බන්ධ විය. සුනඛයන්ගේ වෘෂණ කෝෂ වන්ධ්‍යාකරණ මෙහෙයුම් සිදු කරන ලද පශු වෛද්‍ය පරිචයන්ගෙන් ලබා ගන්නා ලදී.

මිනිස් වෘෂණවල ප්ලාස්ටික් සාන්ද්‍රණය සුනඛ වෘෂණවල ඇති ප්‍රමාණයට වඩා තුන් ගුණයකින් වැඩිය. (පටක ග්‍රෑම් එකකට මයික්‍රොග්‍රෑම් 330ක් මයික්‍රොග්‍රෑම් 123 ට සාපේක්ෂව) ප්ලාස්ටික් බෑග් සහ බෝතල්වල භාවිතා කරන ලද පොලිඑතිලීන්, බහුලවම සොයාගත් ක්ෂුද්ර ප්ලාස්ටික් අතර විය.

විද්‍යාඥයින් විසින් මිනිස් වෘෂණ 23ක් මෙන්ම සුරතල් සුනඛයන්ගෙන් වෘෂණ 47ක් ද පරීක්‍ෂා කර ඇත. ඔවුන් සෑම සාම්පලයකම ක්ෂුද්‍ර ප්ලාස්ටික් දූෂණය සොයා ගත්හ. මිනිස් වෘෂණ කෝෂ සංරක්ෂණය කර තිබූ නිසා ඔවුන්ගේ ශුක්‍රාණු ගණන මැනිය නොහැකි විය. කෙසේ වෙතත්, සුනඛයන්ගේ වෘෂණ කෝෂවල ශුක්‍රාණු ගණන තක්සේරු කළ හැකි අතර PVC සමඟ වැඩි දූෂණයක් ඇති සාම්පලවල එම ප්‍රමාණය කැපී පෙනෙන ලෙස අඩු විය. අධ්‍යයනය සහසම්බන්ධයක් පෙන්නුම් කරන නමුත් ක්ෂුද්‍ර ප්ලාස්ටික් ශුක්‍රාණු ගණන අඩු වීමට හේතු වන බව සනාථ කිරීමට වැඩිදුර පර්යේෂණ අවශ්‍ය වේ.

බොහෝ අධ්‍යයනයන් මගින් පළිබෝධනාශක වැනි රසායනික දූෂණය හේතුවෙන් පිරිමින්ගේ ශුක්‍රාණු ගණන දශක ගණනාවක් තිස්සේ පහත වැටෙමින් තිබෙන බව සොයා ගෙන තිබේ. මිනිස් රුධිරය, වැදෑමහ සහ මව්කිරි වල ක්ෂුද්‍ර ප්ලාස්ටික් මෑතකදී සොයා ගෙන ඇති අතර එය මිනිසුන්ගේ ශරීරය පුළුල් ලෙස දූෂණය වී ඇති බව පෙන්නුම් කරයි. සෞඛ්‍යයට ඇති බලපෑම තවමත් නොදන්නා නමුත් ක්ෂුද්‍ර ප්ලාස්ටික් රසායනාගාර පරීක්ෂණවලදී මිනිස් සෛල වලට හානි කරන බව පෙන්වා දී ඇත.

ප්ලාස්ටික් අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පරිසරයට මුදා හරින අතර ක්ෂුද්‍ර ප්ලාස්ටික් මගින් එවරස්ට් කඳු මුදුනේ සිට ගැඹුරුම සාගර දක්වා මුළු ග්‍රහ ලෝකයම දූෂණය කර ඇත. මිනිසුන් කුඩා අංශු ආහාර හා ජලය හරහා මෙන්ම හුස්ම ගැනීමෙන් ද ක්ෂුද්‍ර ප්ලාස්ටික් පරිභෝජනය කරන බව දන්නා කරුණකි.

රුධිර වාහිනී අන්වීක්ෂීය ප්ලාස්ටික් වලින් දූෂිත වූ පුද්ගලයින්ගේ ආඝාතය, හෘදයාබාධ සහ කලින් මරණයට පත්වීමේ අවදානම සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමෙන් පසු ජීවිතයට තර්ජනයක් විය හැකි බලපෑම් පිළිබඳව පසුගිය මාර්තු මාසයේදී වෛද්‍යවරු අනතුරු ඇඟවීය.

“ආරම්භයේදී, ක්ෂුද්‍ර ප්ලාස්ටික් ප්‍රජනක පද්ධතියට විනිවිද යා හැකිදැයි මම සැක කළා” යැයි එක්සත් ජනපදයේ නිව් මෙක්සිකෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Xiaozhong Yu පැවසීය. “මට මුලින්ම බල්ලන් සඳහා ප්‍රතිඵල ලැබුණු විට මම පුදුම වුණා. මිනිසුන් සඳහා ප්‍රතිඵල ලැබුණු විට මම තවත් පුදුම වුණා.” ඔහු වැඩි දුරටත් පැවසුවේය.

විශ්ලේෂණය කරන ලද වෘෂණ කෝෂ 2016 දී පශ්චාත් මරණ පරීක්ෂණවලින් ලබාගෙන ඇති අතර, ඔවුන් මිය යන විට වයස අවුරුදු 16 සිට 88 දක්වා වූ පිරිමින් විය. පරිසරයේ වෙන කවරදාටත් වඩා ප්ලාස්ටික් ඇති බැවින් “තරුණ පරම්පරාවට ඇති බලපෑම වඩාත් සැලකිලිමත් විය යුතු” යැයි යූ පැවසීය.

“PVC මගින් ශුක්‍රාණු නිපදවීමට බාධා කරන රසායනික ද්‍රව්‍ය රාශියක් නිකුත් කළ හැකි අතර එහි අන්තරාසර්ග බාධා ඇති කරන රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා” යූ පැවසීය.

මිනිස් වෘෂණ වෛද්‍ය පරීක්ෂකගේ නිව් මෙක්සිකෝ කාර්යාලය විසින් සාමාන්‍යයෙන් එකතු කර ඇති අතර, සාම්පල සාමාන්‍යයෙන් ඉවතලන වසර හතක ගබඩා අවශ්‍යතාවයකින් පසුව ලබා ගත හැකි විය.

2023 දී චීනයේ සිදු කරන ලද කුඩා අධ්‍යයනයකින් මිනිස් වෘෂණ හයක සහ ශුක්‍රාණු සාම්පල 30ක ක්ෂුද්‍ර ප්ලාස්ටික් ද සොයා ගන්නා ලදී. මීයන් පිළිබඳ මෑත කාලීන අධ්‍යයනයන් වාර්තා කර ඇත්තේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් ශුක්‍රාණු ගණන අඩු කර අසාමාන්‍යතා සහ හෝමෝන බාධා ඇති කළ බවයි.

පරිවර්තනය – මධූ වික්‍රමසිංහ

https://www.theguardian.com/environment/article/2024/may/20/microplastics-human-testicles-study-sperm-counts