කුරුල්ලන්ගේ බඩේ ඇති ප්ලාස්ටික් විෂ රසායනික ද්‍රව්‍ය මුදාහරින බව නවතම අධ්‍යයනයක් පෙන්වා දෙයි

පර්යේෂකයන් කෘත්‍රිම මුහුදු ජලයේ ප්ලාස්ටික් හිතාමතා දිරාපත් කිරීම පිළිබඳ මාස හයක අධ්‍යයනය අවසන් කරමින් සිටී

ප්ලාස්ටික් මගින් කුරුල්ලකුගේ කුස තුළ විෂ මුදා හැරිය හැකි බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ. මුහුදු පක්ෂීන්ට ප්ලාස්ටික් දූෂණයේ බලපෑම කෙරෙහි අවධානය යොමු කරන ස්වභාවික ඉතිහාසය කෞතුකාගාරයේ ආචාර්ය Joby Razzell Hollis පවසන්නේ තමා දැනට කරගෙන යන අධ්‍යයනයේ දී ප්ලාස්ටික් පෙති ජලය මත ඇති කරන බලපෑම දැක “කම්පනයට පත් වූ” බවයි.

තම අධ්‍යයනයේ සොයා ගැනීම් සම්බන්ධයෙන් ඔහු මෙසේ පැවසීය: “ප්ලාස්ටික් වෙනස් වන ආකාරය මෙන්ම ප්ලාස්ටික් ජලයට මුදා හරින ආකාරය බැලීමට අපි සැබවින්ම උනන්දු වුණා. මෙම ප්ලාස්ටික් වලින් සමහරක් කාලයත් සමඟ දෘශ්‍යමාන ලෙස දුර්වර්ණ වී ඇති බව අප දැක ඇතිවා පමණක් නොව එය හිරු රශ්මියට නිරාවරණය වන බැවින් එය කහ පැහැයට හැරී තිබෙනවා. නමුත් ජලයේ පාවෙන සමහර ප්ලාස්ටික් හේතුවෙන් මාස හයකට පසු එම ජලය වලාකුළු සහිත වී ඇති අතර, මතුපිට යම් ආකාරයක දිරාපත්වීමක් සිදුව ඇති බව දැකගත හැකියි. එබැවින් මෙම ප්ලාස්ටික් දිරාපත් වන විට ජලයට යමක් මුදා හරින අතර එය සාගරයේ සිදුවනු ඇතැයි ඔබ අපේක්ෂා කරන දෙයට සමානයි. නමුත් එම ප්ලාස්ටික් මුහුදු කුරුල්ලෙකුගේ බඩට ගිය විට විවිධ වර්ගයේ රසායනික ද්‍රව්‍ය විය හැකි අම්ල වලට නිරාවරණය වෙනවා. එබැවින් මෙම ප්ලාස්ටික් නිෂ්ක්‍රීය නොවන බවත්, ඒවා කාලයත් සමඟ වෙනස් වන බවත්, ඒවා ඔවුන්ගේ පරිසරය සමඟ අන්තර් ක්‍රියා කරමින් යමක් නිකුත් කරන බවත් පැහැදිලියි. අපි ඇත්තටම කුතුහලයෙන් සිටින්නේ එය කුමක්දැයි හරියටම සොයා බලා එය අපි දන්නා රසායනික ද්‍රව්‍ය ලැයිස්තුවට හෝ විෂ විය හැකි දේවල් සමඟ සංසන්දනය කිරීමටයි.”

මුහුදු පක්ෂි විශේෂවලින් 44%ක් පමණ ප්ලාස්ටික් ආහාරයට ගනී. මෙය එම පක්ෂීන්ට වඩාත් හානිකර බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආචාර්ය  හොලිස් පැවසුවේ මුහුදු පක්ෂීන්ගේ කුස තුළ ඇති විශාල ප්ලාස්ටික් කැබලි මළ සමග පිටවනු ඇතැයි විශ්වාස කළ නොහැකි තරම් විශාල කැබලි ඒවා බවයි.

“නමුත් ගැටලුව පැහැදිලි වන්නේ රසායනික දෘෂ්ටිකෝණයකින් මේ දෙස බැලූ විටයි. ආමාශයේ අම්ලය රසායනික ද්‍රව්‍ය, කුඩා රසායනික ද්‍රව්‍ය මුදා හැරීමට ප්‍රමාණවත් විය හැකි නමුත් කුඩා ප්‍රමාණයක් පවා තරමක් විෂ සහිත විය හැකියි. එබැවින් එම ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේදැයි සොයා බැලීමට අපට සැබවින්ම අවශ්‍යයි“

මුහුදු පක්ෂීන් අනුභව කරන විවිධ ප්ලාස්ටික් වර්ග මෙන්ම ප්‍රමාණය, හැඩය සහ වර්ණය මැනීමෙන් මුහුදු කුරුල්ලන් ප්ලාස්ටික් දූෂණය ආහාර ලෙස වරදවා වටහා ගන්නේ මන්දැයි සහ ප්ලාස්ටික් වලින් වැඩිපුරම හානියක් වන්නේ කුමක් දැයි තේරුම් ගත හැකි වනු ඇතැයි ආචාර්ය හොලිස් බලාපොරොත්තු වේ.

පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ Flesh-footed Shearwater පක්ෂීන් පොලිඑතිලීන් වැනි අඩු ඝනත්වයකින් යුත් ප්ලාස්ටික් ආහාරයට ගන්නා බවයි.

පර්යේෂකයන් කෘත්‍රිම මුහුදු ජලයේ ප්ලාස්ටික් හිතාමතාම හායනය කිරීම පිළිබඳ මාස හයක අධ්‍යයනය අවසන් කරමින් සිටින අතර ඔවුන් එමගින් අපේක්ෂා කරන්නේ ප්ලාස්ටික් හායනය වන ආකාරය සහ සාගරයට හානිකර රසායනික ද්‍රව්‍ය මුදා හරින ආකාරය සොයා බැලීමය.

ඔවුන් මෙතෙක් සොයාගෙන ඇති දේ ගැන කතා කරමින් ආචාර්ය හොලිස් පැවසුවේ “මම එය විහිළුවට ප්ලාස්ටික් සුප් ලෙස හැඳින්වූවා. එය තවදුරටත් පිරිසිදු ජලය මෙන් පෙනෙන්නේ නැහැ. ජලය දෘශ්‍යමාන ලෙස වෙනස් වන බව දැකීමෙන් අපි කම්පනයට පත් වුණා.

පරිවර්තනය – මධු වික්‍රමසිංහ

https://www.independent.co.uk/climate-change/news/plastics-chemicals-birds-sea-water-b2550068.html?lid=3fev4m39wymk&utm_medium=email&utm_source=braze&utm_campaign=Climate%20Newsletter%2028-05-24&utm_term=IND_Climate_Newsletter