නව මෝටර් රථවලින් අඩක් දැන් SUV රථ වන අතර, ඒවා තීව්‍ර වන දේශගුණික අර්බුදයට ප්‍රධාන හේතුවක් වන බව විශේෂඥයෝ පවසති.

SUV රථ අලෙවිය 2023 දී නව වාර්තාවක් තැබූ අතර එය ගෝලීය වශයෙන් අලෙවි වන සියලුම නව මෝටර් රථවලින් අඩක් වන බව දත්ත අනාවරණය කරයි. ප්‍රවීණයන් අනතුරු ඇඟවූයේ විශාල, බර වාහනවල විකුණුම් වැඩිවීම ගෝලීය උණුසුම ඇති කරන කාබන් විමෝචනය ඉහළ නංවන බවයි.

ජාත්‍යන්තර බලශක්ති නියෝජිතායතනය (International Energy Agency – IEA) විසින් කරන ලද විශ්ලේෂණයට අනුව, 2023 දී SUV වලින් ඉහළ යන විමෝචනය CO2 හි ගෝලීය වැඩිවීමෙන් 20%කට හිමිකම්  කීවේය. රටක් නම් ජපානයේ සහ ජර්මනියේ ජාතික විමෝචනයට වඩා SUVs රථ මගින් CO2 විමෝචනය කරන අතර එය ලොව පස්වන විශාලතම විමෝචකය බවට පත්වෙයි.

ආන්තික කාලගුණික සිදුවීම් වර්ධනය වෙමින් පවතින අතර, හදිසි විමෝචන කප්පාදු කිරීම අවශ්‍ය වේ. නමුත් Covid වසංගතයෙන් පිටත මෑත වසරවලදී ගෝලීය ප්‍රවාහන අංශයෙන් විමෝචනය වේගයෙන් ඉහළ ගොස් ඇත. SUV රථ අලෙවිය 2023 දී 15% කින් ඉහළ ගොස් ඇති අතර එය සාම්ප්‍රදායික මෝටර් රථ සඳහා වන 3%ක වැඩීම සමග සැසදීමේදී ඉතා ඉහළ වර්ධනයකි.

IEA පවසන්නේ SUV රථ වල අලෙවිය වැඩිවීම පිටුපස ඇති ප්‍රධාන සාධකය “SUVs තත්ව සංකේතයක් ලෙස ආකර්ෂණය වීම” බවයි. එහෙත් IEA ද පැවසුවේ SUV රථ ගැටීම් වලදී පදිකයින්ට විශාල තුවාල සිදු කරන බවත් සාමාන්‍ය මෝටර් රථවලට වඩා නගරවල වැඩි ඉඩක් ගන්නා බවත්ය.

2023 දී අලෙවි වූ නව SUV රථ වලින් 20%ක් පමණ පිරිසිදු විදුලි වාහන හෝ දෙමුහුන් ඒවා විය. නමුත් IEA පැවසුවේ විශාල වාහන සඳහා විශාල බැටරි අවශ්‍ය වන අතර ක්‍රියාත්මක වීමට වැඩි විදුලියක් අවශ්‍ය බවයි. එසේම බැටරි නිෂ්පාදනය සඳහා අවශ්‍ය දුර්ලභ ඛනිජ නිස්සාරණය සම්බන්ධයෙන් ද බරපතළ විවේචන පවතී.

පෙට්‍රල් හෝ ඩීසල් වලින් ධාවනය වන මෝටර් රථ වඩාත් කාර්යක්ෂම වී ඇත. නමුත් විශ්ලේෂණය සිදු කළ IEA හි Laura Cozzi සහ Apostolos Petropoulos පැවසුවේ, SUV වැනි බර සහ අඩු කාර්යක්ෂම වාහන සඳහා ඇති ප්‍රවණතාවය මෑත දශකවලදී පෙට්‍රල් සහ ඩීසල් මෝටර් රථ විසින් ලබා ගත් වැඩිදියුණු කිරීම් බොහෝ දුරට අවලංගු කර ඇති බවයි.

චින්තන පර්ශදයක් වන Transport and Environment (T&E) හි ජේම්ස් නික්ස් මෙසේ පැවසීය: “ඉහළ මායිම් හඹා යන මෝටර් රථ නිෂ්පාදකයින් දන්නේ එක් දිශාවක් පමණයි. ඒ  විශාලත්වය සහ බර ගැනයි. සෑම වසරකම නව මෝටර් රථ පුළුල් වෙමින් පවතින අතර ඒවා බස් රථ සහ ට්‍රක් රථ තරම් පුළුල් වීමට නියමිතව තිබෙනවා. විශාල SUV රථ අධෛර්යමත් කරන EU පළල සීමාවන් සහ ජාතික බදු සහ වාහන නැවැත්වීමේ ගාස්තු සමඟ නීති සම්පාදකයින් පියවර නොගන්නේ නම් යුරෝපය උතුරු ඇමරිකාවේ මාර්ගයට යනු ඇති බවට සැකයක් නැහැ“

2023 දී ලොව පුරා SUV රථ මිලියන 360කට වඩා වැඩි ප්‍රමාණයක් ඇති අතර, CO2 විමෝචනය ටොන් බිලියනයක් නිපදවමින්, 2022 ට වඩා 10%කින් පමණ වැඩි විය. එහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය තෙල් පරිභෝජනය දිනකට බැරල් 600,000කින් ඉහළ ගොස් ඇති අතර එය සමස්ත වර්ධනයෙන් හතරෙන් එකකට වඩා වැඩිය. SUVs සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයේ මෝටර් රථයකට වඩා 200-300kg බරින් වැඩි අතර CO2 20%ක් පමණ වැඩියෙන් නිකුත් කරයි.

ධනවත් රටවල, 2023 දී නව SUV රථ මිලියන 20 කට ආසන්න ප්‍රමාණයක් අලෙවි වූ අතර, එය පළමු වරට 50% ක වෙළඳපල කොටස ඉක්මවා ගියේය. ගෝලීය වශයෙන්, නව මෝටර් රථවලින් 48% ක් SUV වන අතර, පැරණි මෝටර් රථ ඇතුළුව, අද පාරේ ඇති කාර් හතරෙන් එකක් SUV බව IEA පවසයි.

විද්‍යුත් මෝටර් රථ අලෙවිය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර මින් 55% ක්ම 2023 දී SUV රථ බව IEA දත්ත පෙන්වා දෙයි. “ෆොසිල ඉන්ධන සහිත මෝටර් රථ වලින් විදුළි වාහන වෙත මාරුවීම ජාත්‍යන්තර බලශක්ති සහ දේශගුණික ඉලක්ක කරා ළඟා වීමේ ප්‍රධාන උපාය මාර්ගයකි” යනුවෙන් Cozzi සහ Petropoulos පැවසීය. නමුත් ඔවුන් පැවසුවේ මෝටර් රථ නිෂ්පාදනය සඳහා අඩු ද්‍රව්‍ය භාවිතා කිරීම “තිරසාර අනාගතයක් සඳහා අත්‍යවශ්‍ය” බවයි.

ප්‍රංශය, නෝර්වේ සහ අයර්ලන්තය ඇතුළු සමහර රටවල් විශාල වාහන සඳහා පැරිස් වාහන නැවැත්වීමේ ගාස්තු තුන් ගුණයකින් වැඩි කරමින් SUV සඳහා ඇති ඉල්ලුම පාලනය කිරීමට කටයුතු කරමින් සිටී. පසුගිය මාර්තු මාසයේදී T&E ප්‍රකාශ කළේ SUV දූෂිත කිරීම සඳහා එක්සත් රාජධානිය “බදු තෝතැන්නක්” බවයි , මන්ද පළමු වසර තුළ ඔවුන් සඳහා වන වාහන නිෂ්පාදන බද්ද වෙනත් රටවලට වඩා සුළු කොටසක් වන බැවිනි. ලන්ඩන් නගරාධිපති සාදික් ඛාන් පෙබරවාරි මාසයේදී පැරිස් සැලැස්මේ සඵලතාවය නිරීක්ෂණය කරන බව පැවසීය.

පරිවර්තනය – මධු වික්‍රමසිංහ

https://www.theguardian.com/business/article/2024/may/28/global-sales-of-polluting-suvs-hit-record-high-in-2023-data-shows?utm_source=cbnewsletter&utm_medium=email&utm_term=2024-05-29&utm_campaign=Daily+Briefing+29+05+2024