විද්‍යාඥයන් පවසන්නේ ගෝලීය උණුසුමට අනුවර්තනය වීම සඳහා සමහර විශේෂයන් සාර්ථක ලෙස සංසර්ගයේ යෙදීමට අරගල කරන බවයි

තද පැහැති ශරීරයක් ඇති ambush bug සතු මිරිස් පැහැති වර්ණය සහකරුවෙකු ආකර්ෂණය කර ගැනීමට නම් වඩාත් සුදුසුය.  නමුත් අඳුරු පැහැති පිරිමින්ට හිමිදිරි උදෑසන වඩාත් පහසුවෙන් උණුසුම් විය හැකිය. එම නිසා අනෙක් සියල්ලන්ම උණුසුම් වෙමින් සිටියදී ambush bug කාර්යබහුල වේ.

Ecology and Evolution සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද නව සමාලෝචන ලිපිය කෘමීන් තුළ වර්ණ ගැන්වීමට උෂ්ණත්වය බලපාන ආකාරය පිළිබඳ අගනා උදාහරණවලින් එකක් වන අතර වර්ණය ඔවුන්ගේ සංසර්ග හැකියාවට බලපෑම් කරන සාධක අතර ප්‍රමුඛ එකක් බව හඳුනා ගෙන ඇත.

නමුත් මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික බිඳවැටීම පෙර නොවූ විරූ මට්ටමට උෂ්ණත්වය ඉහළ නංවන බැවින් දැන් කෘමීන්ගේ ලිංගික ජීවිතයට කුමක් සිදුවේද යන්න සොයා බැලීමට විද්‍යාඥයින් තවමත් උත්සාහ කරති.

“එක අතකින් අපට ප්‍රීති විය හැකියි: කෘමීන් දේශගුණික විපර්යාසවලට ප්‍රතිචාර දක්වමින් සිටිනවා. අපි ඔවුන් ගැන කරදර විය යුතු නැහැ. ඊට පස්සේ අපිට ඊළඟ දවසට අවදි වෙන්න පුළුවන්. ඔහ්, අපොයි – ඔවුන්ට තවදුරටත් එකිනෙකා සොයා ගත නොහැකියි. මන්ද ඔවුන්ට සහකරුවෙකු සොයා ගැනීමට උපකාරී වන ඉතා වැදගත් හඳුනාගැනීමේ වර්ණ අහිමි වී ගිහින්.” අධ්‍යයනයේ කතුවරුන්ගෙන් කෙනෙකු වන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි මැක්වරි විශ්ව විද්‍යාලයේ චර්යාත්මක පරිසර විද්‍යාඥ Mariella Herberstein පැවසීය.

ඡායාරූපය – දේශගුණික අර්බුදය හේතුවෙන් පිරිමි බත්කූන්ගේ පියාපත් අලංකාරය නැති වී යන බව මින් පෙර කරන ලද පර්යේෂණයකින් සොයා ගන්නා ලදී.

Mariella Herberstein පවසන පරිදි, විද්‍යාඥයන් අතර පවතින න්‍යාය නම්, උෂ්ණත්වය වැඩි වන විට කෘමීන් බොහෝ දුරට පරිණාමය වී, මෙලනින් වර්ණකය අඩුවෙන් නිපදවන අතර එමඟින් ඔවුන්ගේ පැහැය නියාමනය වෙයි. අඳුරු වස්තූන් වැඩි තාපයක් අවශෝෂණය කර ඉක්මනින් රත් වන අතර සැහැල්ලු වස්තූන් ලැබෙන වැඩි විකිරණ පරාවර්තනය කරන අතර වැඩි කාලයක් සිසිල්ව සිටිය හැකිය.

නිදසුනක් වශයෙන්, 2016 අධ්‍යයනයකට අනුව, උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ උතුරු ඇමරිකානු කඳුකරයේ Mead’s sulphur සමනළුන්ගේ පියාපත් වර්ණය කාලයත් සමඟ මැකී ගොස් ඇත. (ඔවුන්ගේ දිලිසෙන, සල්ෆර් කහ පියාපත් සුදුමැලි වේ) 1980 ගණන් සහ 2000 ගණන් අතර, ලප දෙකේ ලේඩි බග් (two-spotted ladybug) කළු ලප සහිත රතු පැහැයට වඩා රතු ලප සහිත කළු වීමට ඇති ඉඩකඩ වඩ වඩාත් අඩු විය. උල්පත් උණුසුම් වීමත් සමඟ සමාන රටා සහිත උප ආක්ටික් කොළ කුරුමිණියාගේ (subarctic leaf beetle) පිටුපස ඇති අඳුරු පැල්ලම් ද අඩු වී ඇත.

නමුත් හර්බර්ස්ටයින්ගේ කණ්ඩායම මෙම රටාව සෑම විටම එතරම් සරල නොවන බව සොයාගෙන ඇත. 1953 සිට 2013 දක්වා කාලය තුළ කෞතුකාගාර සාම්පල සඳහා එකතු කරන ලද සමනලුන් 800කට වඩා වැඩි ප්‍රමාණයක් නිරීක්ෂණය කරන ලද මීඩ්ගේ සල්ෆර් සමනලුන් පිළිබඳ පසු විපරම් අධ්‍යයනයකින් හෙළි වූයේ සමහර ප්‍රදේශවල ඔවුන්ගේ සුදුමැලි කහ පියාපත් කාලයත් සමඟ සාරවත් හා තද පැහැයක් ගන්නා බවයි. පර්යේෂකයන් විසින් කඳු මුදුනට ඉහළට සාම්පල ලබා ගත් විට (2018 සිට කරන ලද අධ්‍යයනයකට අනුව), ඇවිදින කූරු කෘමි විශේෂයක් කාලයත් සමඟ හරිත හා අඳුරු පැහැ වී ඇත.

“යාන්ත්‍රණය එතරම් පැහැදිලි නැහැ – එය ව්‍යාකූලයි,” අධ්‍යයනයේ තවත් කතුවරයෙකු වන මැක්වරි විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිධාරියෙකු වන ටොන්මෝයි හක් / Tonmoy Haque පැවසීය. මෙයට හේතුව පර්යේෂකයන් සීමිත දත්ත කට්ටලයක් සමඟ වැඩ කරන නිසා විය හැකි අතර, එකතු කරන ලද කුඩා දත්ත බොහොමයක් සමාන ස්ථානවල සමාන කෘමීන් සමඟ සමාන අධ්‍යයනයකින් ලැබෙන නිසා බව ඔහු පවසයි. මෙලනින් තාප ආශ්‍රිත ක්‍රියාකාරිත්වයක් පමණක් නොව ප්‍රතිශක්තිකරණ ආරක්ෂාවට සම්බන්ධ වන අතර සූර්යයාගේ පාරජම්බුල කිරණවලින් ආරක්ෂා වීමට උපකාරී වේ.

නමුත් සහකරුවන් ආකර්ෂණය කර ගැනීමට, විලෝපිකයන්ගෙන් හෝ ගොදුරෙන් සැඟවීමට සහ විශේෂයක එක් සාමාජිකයෙකුට පහසුවෙන් අන් අය හඳුනා ගැනීමට ඉඩ සලසා දීම සඳහා වර්ණය සම්බන්ධ වන අතර මේ සියල්ල උෂ්ණත්වය ඉහළ යාමෙන් වෙනස් කළ හැකිය.

“අපි ඔවුන්ගේ ප්‍රජනනයට බලපාන්නේ නම්, අපි ඔවුන්ගේ ජනගහන ශක්‍යතාවට බරපතල ලෙස බලපානවා. එය අපට සොයා ගැනීමට අවශ්‍ය එක් කෑලි වලින් එකක් පමණයි” හර්බර්ස්ටයින් පැවසීය

මෙම ප්‍රහේලිකාව බිඳ දැමීම මගින් දේශගුණික බිඳවැටීම් හමුවේ ඊට අනුවර්තනය වීමට කෘමීන්ට හැකි වන්නේ කෙසේද ? යන්න නිවැරදිව සොයා ගැනීමට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකි බව කොලරාඩෝ ඩෙන්වර් විශ්ව විද්‍යාලයේ ඒකාබද්ධ ජීව විද්‍යාඥ මයිකල් මුවර් පැවසීය.

මුවර් නවතම පර්යේෂණවලට සම්බන්ධ නොවූ නමුත් 2021 දී දේශගුණය උණුසුම් වන විට පිරිමි බත්කූරන්ගේ (male dragonflies) පියාපත් වල වර්ණ රටා නැති වී යන බව සොයා ගත් අතර එමඟින් බත්කූරන්ට ඔවුන්ගේ සහකරුවන් සොයා ගැනීම දුෂ්කර වේද යන්න තහවුරු කිරීමට උත්සහ කරයි.

“ඇත්තටම මට කැපී පෙනෙන එක් දෙයක් නම්, එකම ප්‍රමාණයට ගැලපෙන රීතියක් නොමැති වීමයි. අපිට තව වැඩ ගොඩක් තියෙනවා – අපි තවම මේක විසඳලා නැහැ.” ඔහු පැවසීය.

පරිවර්තනය – මධූ වික්‍රමසිංහ

https://www.theguardian.com/environment/article/2024/jul/13/climate-insect-colours-sex-lives-study