හිමාලයේ පූජනීය ගව විශේෂයක් වන මිතුන් /Mithun ගවයින් වන විනාශය සහ දේශගුණික විපර්යාස හේතුවෙන් තර්ජනයට ලක්ව ඇත. වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මෙම ගව විශේෂය ආරක්ෂා කිරීම සඳහා ආදිවාසී ප්‍රජාවක් “ජීවමාන වැට / living fences” ඉදිකරමින් සිටී.

ඉන්දියාවේ හිමාලයේ නැඟෙනහිර කඳු පාමුල ගව පාලිකාවක වන යැං එරිං මෝයොන්ග් බෑග් / Yang Ering Moyong කමිසයක් සහ කලිසමක් ඇඳගෙන උදේ පාන්දරින්ම පිටතට යයි. මිරෙම් ගම්මානය අවට කඳුකරයේ ඝන පඳුරු මැදින් යද්දී, ඇය වනාන්තරයේ සිට ආපසු පැමිණෙන ඇගේ මිතුන් ගවයින් කැඳවමින් උස් හඬක් නිකුත් කළාය.

අරුණාචල් ප්‍රදේශ්හි ආදිවාසී ගෝත්‍රික සාමාජිකාවක වන ඇය, 39 හැවිරිදි දෙදරු මවකි. ඇය ගමේ සිටින එකම ගව එඬේරා වේ. ඇය මිතුන් ගවයින් ඇති දැඩි කිරීමට පටන් ගත්තේ ඇගේ සැමියා මීට වසර අටකට පෙර මිය ගිය විටය. එය දුෂ්කර ව්‍යාපාරයක් බව ඇය පවසයි.

“2013 දී මගේ නැන්දම්මාට මිතුන් ගවයින් 50ක් පමණ හිමි වුණා. ඉන් අඩක් පමණ වල් බල්ලන්ගේ ගොදුරු බවට පත් වුණා. ගවයින් වෙනත් ගොවිපළවලට ඇතුළු වී වගාවන් විනාශ කළ නිසා මට ඒවායින් කිහිපයක් විකිණීමට සිදු වුණා” ඇය පවසයි. ඇය සිය පවුලේ වියදම් පියවා ගැනීම සඳහා මිරෙම් සහ අනෙකුත් ගම්මානවල කාන්තාවන්ට ව්‍යවසායකත්ව කුසලතා උගන්වන (රජය විසින් පත් කරන ලද) අධ්‍යාපනඥයෙකු ලෙස ද කටයුතු කරයි.

තම ගව රංචුව කළමනාකරණය කිරීමට විශාල මුදලක් වැය වන බව ඇය පවසයි.

“2019 වර්ෂයේදී, මගේ ගවයින් අයාලේ ගොස් කළ වගා හානිය සඳහා මට රුපියල් 40,000ක් ගෙවීමට සිදු වුණා” ඇය පවසන අතර, තම මාසික ආදායමෙන් තම පවුල නඩත්තු කිරීමට වෙහෙසෙන බව ද ඇය පැවසුවා ය.

ගවයානි අයාලේ යාම වැළැක්වීම සඳහා, මොයොං සහ ආදිවාසී ආදි ප්‍රජාවේ අනෙකුත් සාමාජිකයින් හිමාල කඳු පාමුල සමෝච්ඡය දිගේ කටු කම්බි සහ උඩවැඩියා ගස්වල කඳන් වලින් “ජීවමාන වැට/ living fences ” ඉදිකර ඇත. ආදි ප්‍රජාව මිතුන් ගවයින් පූජනීය සත්ත්වයෙකු ලෙස සලකන අතර පෘථිවියේ සෑම දෙයකම පැවැත්ම මිථුන් ගවයින්ගේ උපත සමඟ බැඳී ඇති බව විශ්වාස කරන බව ඉන්දියාවේ අශෝක විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෙකු සහ Changing Affinities ග්‍රන්ථයේ කතුවරයා වන Abhishruti Sarma පවසයි. ඔහු මිතුන් ගවයින් සමඟ ආදිවාසී ප්‍රජාවන්ගේ සබඳතාව ගවේෂණය කරයි.

“අරුනාචල් ප්‍රදේශ්හි ආදිවාසී ආදි ප්‍රජාව විශ්වාස කරන ආකාරයට පෘථිවියේ සෑම දෙයකම පැවැත්ම මිතුන්ගේ උපත සමඟ බැඳී තිබෙනවා. මිතුන් දාඩි බෝටේ / Dadi Bote උපත ලැබූ විට, සතුන්ගේ දෙවියන් ඔවුන්ගේ භාරකරු බවට පත් වුණා” Mithun herders සහ Mirem mithun ගොවි සාමූහිකයේ හිටපු සභාපතිවරයා වන බරුන් ටකී පවසයි.

“දඩි බොටේ අපි වෙනුවෙන් මිතුන් ලෝකයට ගෙනාවා. ඔවුන්ව ඇති දැඩි කිරීම සහ රැකබලා ගැනීම අපගේ යුතුකමයි” ටකී පවසයි.

සෑම සැප්තැම්බර් මාසයකම අරුනාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ පැවැත්වෙන සොලුං උත්සවයේදී / Solung festival, ප්‍රජාව ඩාඩි බෝටේට යාඥා කරන්නේ මිතුන් වැඩි කිරීමටත්, පර්වත දාරවලින් වැටීමෙන් සහ කුර සහ මුඛ රෝග වැනි රෝගවලින් ඔවුන් ආරක්ෂා කරන ලෙසත් ඉල්ලමින් ය.

ඡායාරූපය – Millo Ankha Yang Ering Moyong යනු ඇගේ හිමාලය ගම්මානයේ සිටින එකම කාන්තා මිතුන් එඬේරා වේ (ඡායාරූපය -Millo Ankha)

ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (International Union For Conservation of Nature – IUCN) විසින් “අවදානමට ලක්විය හැකි / vulnerable” ලෙස වර්ගීකරණය කර ඇති මිතුන්, සෙල්සියස් අංශක 20-30 අතර උෂ්ණත්වය පරාසයක් සහිත මීටර් 6,000ක උන්නතාංශයකට වඩා පහළින්, ඇළ දොළ, පොකුණු සහ විල් වලින් එගොඩ වූ වනාන්තර සහ කඳුකර භූමිවල වාසය කරයි.

මෝයොන්ග් / Moyong සහ ඊසානදිග ඉන්දියාවේ අනෙකුත් ආදිවාසී එඬේරුන් නිදහස් පරිසර පද්ධතියක ජීවත් වන මිතුන් පසුපස හඹා යති. ඔවුන් මෙම ගවයින්ට ලුණු හැර කිසිදු අතිරේක ආහාරයක් නොමැතිව වනයේ නිදහසේ සැරිසැරීමට ඉඩ සලසයි.

උෂ්ණත්වය ඉහළ යාම සහ වනාන්තර කැපීම සහ වන විනාශය වැනි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්  මෑත වසරවල සිට මිතුන්ගේ වාසභූමියට තර්ජනයක් එල්ල වී තිබේ.

2011 දී සිදුකළ අධ්‍යයනයකට අනුව, 2021-2050 අතර නාගලන්ත ප්‍රදේශයේ උෂ්ණත්වය අවම වශයෙන් 1.9C කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. අධ්‍යයනයට අනුව ඉන්දියාවේ ඊසානදිග කලාපයේ වාර්ෂික අධික වර්ෂාපතන සිදුවීම් සංඛ්‍යාව 2050 වන විට 26% කින් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත. මෙම දේශගුණික බලපෑම්, පවතින ආහාර හිඟකම සහ කුර සහ මුඛ රෝග වැඩිවීම හේතුවෙන් මිතුන් සංඛ්‍යාව පහත වැටීමට හේතු වනු ඇතැයි අපේක්ෂා කරන බව සර්මා පවසයි.

උෂ්ණත්වය ඉහළ යාම සහ අක්‍රමවත් වර්ෂාපතනය වෘක්ෂලතා ව්‍යාප්තිය සහ සංයුතිය වෙනස් කිරීමෙන් මිතුන් වාසභූමියට බලපාන බව ඉන්දියාවේ නාගලන්ඩ් හි මිතුන් පිළිබඳ ඉන්දියානු කෘෂිකාර්මික පර්යේෂණ ජාතික පර්යේෂණ මධ්‍යස්ථානයේ (ICAR-NRC) අධ්‍යක්ෂ Girish Patil පවසයි. “නියඟ හා ගංවතුර වැනි ආන්තික කාලගුණික සිදුවීම්, වාසස්ථාන හායනය සහ ඛණ්ඩනය තවදුරටත් උග්‍ර කළ හැකි අතර, මිතුන් ගහනයට අමතර ආතතියක් ඇති කරයි” ඔහු පවසයි.

වන විනාශය හේතුවෙන් මිතුන් ගවයින්ගේ ආහාරයට සුදුසු තණබිම් අඩු වන බව පටිල් පවසයි. මනුෂ්‍ය-මිතුන් ගැටුමේ වැඩිවීම සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක අධ්‍යයනයක් සිදු කර නොමැති අතර, වන ආවරණය අඩුවීම හේතුවෙන් “මිතුන් ගවයින් වගා බිම්වලට පිවිසීමේ සම්භාවිතාව වැඩි කරන අතර එය ගැටුම්වලට තුඩු දෙයි”, ඔහු පවසයි.

Global Forest Watch හි විශ්ලේෂණයට අනුව , 2001-2023 දී ඉන්දියාවට වර්ග කිලෝමීටර් 23,300ක ගස් ආවරණයක් අහිමි විය. Global Forest Watchට අනුව, නාගලන්තයට වර්ග කිලෝමීටර් 259ක් සහ අරුණාචල් ප්‍රදේශයට වර්ග කිලෝමීටර් 262ක් වනාන්තර අහිමි විය.

ICAR-NRC හි ජ්‍යෙෂ්ඨ තාක්ෂණික නිලධාරි කෝබේ ඛාටේ පවසන්නේ “ඉදිරි වසර 40-50 දක්වා මෙය දිගටම පැවතුනහොත් වනාන්තරයක් නොමැති වනු ඇත. වනාන්තරයක් නොමැති විට මිතුන් ගවයින්ට ජීවත් විය නොහැකියි’’

ඡායාරූපය – ඉන්දියාවේ අරුණාචල් ප්‍රදේශ්හි ආදි ආදිවාසී ප්‍රජාව මිතුන් පූජනීය සත්ත්වයෙකු ලෙස සලකයි

මිතුන් ගවයින් සහ ඔවුන්ගේ වාසස්ථාන ආරක්ෂා කිරීම සඳහා, ICAR-NRC හි විද්‍යාඥයින් 2022 දී කල් පවතින “ජීවමාන වැට” තැනීමට ආදි ප්‍රජාව සමඟ කටයුතු කළහ. හිමාලයේ නැගෙනහිර කඳු පාමුල සහ රෙමී ගඟ හරහා දිවෙන “ජීවමාන වැට” ඉදිවේ. මෙම ජීවමාන වැට කටු කම්බි සහ ඕකිඩ් ගස්වල කඳන් වලින් ඉදිකරන ලද අතර මිතුන් එහි වැඩෙන තෘණ ආහාරයට ගනී.

ICAR-NRC ගොවීන්ට ඔවුන්ගේ ගවයින් සහ පැටවුන් සඳහා උණ පතුරුවලින් රාත්‍රී නවාතැනක් තැනීමට ද උදව් කළේය. මිතුන්ට දිවා කාලයේදී පමණක් වැටක් සහිත තණබිම් ප්‍රදේශයේ ආහාර ගැනීමට අවසර දී ඇති අතර සවස් වන විට නැවත නවාතැනට ගෙන එනු ලැබේ. ගවයන් කලින් වනාන්තරයේ නිදහසේ සැරිසැරූ අතර ඔවුන්ගේම කැමැත්තෙන් ආපසු පැමිණියහ. මේ සඳහා සමහර විට වසර ගණනාවක් ගත විය.

මෝයොන්ග් ඇගේ ගවයින්ට උදේ පාන්දර තණකොළ කෑමට ඉඩ දෙන අතර රාත්‍රියේදී ඔවුන්ව ගව ගාලට දමයි. “වැටවල් සවිකිරීමෙන් පසු, ශීත ඍතුවේ දී මගේ ගවයින් වෙනත් කුඹුරුවලට අයාලේ යාම ගැන මම කරදර විය යුතු නැහැ,” ඇය පවසන්නීය.

“ජීවමාන වැට අතර ගස් සිටුවීම කාලගුණයට සහ අනවසරයෙන් ඇතුළුවන්නන්ට එරෙහිව වැටවල් ශක්තිමත් කරනවා” ටකී පවසයි. ගොවීන් සෑම මාස හයකට වරක් වල් පැලෑටි ඉවත් කර, හානි සඳහා වැටවල් පරීක්ෂා කරති.

ටකී පවසන්නේ අධික වර්ෂාපතනය හේතුවෙන් මීට පෙර රෙමි ගඟේ අනතුරුදායක ධාරා වැටවල් යට වී ඇති බවයි. “වැස්ස කාලෙට වැටවල් වලට ගඟේ වේගය දරාගන්න බෑ. මේක දුර්ලභ දෙයක් නමුත් ඒක සිදු වෙනවා,” ඔහු පවසයි.

මිතුන් ඊසානදිග ඉන්දියාවේ වැදගත් පරිසර පද්ධති ඉංජිනේරුවන් ලෙස ක්‍රියා කරයි.

“ඔවුන්ගේ ආහාර සෙවීමේ ක්‍රියාකාරකම් විවිධ ශාක හා ගස්වල බීජ විසුරුවා හැරීමට උපකාරී වන බැවින් මිථුන් ගවයින් පරිසර පද්ධතියේ සෞඛ්‍යයට අත්‍යවශ්‍යයි. ඔවුන් වෘක්ෂලතා ආහාරයට ගන්නා බැවින් පෝෂ්‍ය පදාර්ථ කාර්යක්ෂම ප්‍රතිචක්‍රීකරණය කරන්නන් වන අතර පසුව පෝෂක පොහොසත් පොහොර තැන්පත් කරනවා. ඒවා ශාක වර්ධනය සඳහා පස පොහොසත් කරනවා” ICAR-NRC හි පටිල්.

ICAR විසින් 2010-11 දී නාගලන්තයේ ගොවීන් 200ක් සමඟ සිදුකරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ මිතුන් ඇති කරන ප්‍රදේශයට වැට බැඳීම අනෙකුත් පශු සම්පත් වර්ධනයට උපකාරී වූ බවත් මිතුන්ගේ බීජ විසුරුවා හැරීම සහ පොහොර පැතිරීම ශාක වර්ධනය මෙන්ම තෘණ බිම් සහ ආහාර නිෂ්පාදනය වැඩි දියුණු කළ බවත්ය.

ස්වභාවිකව වනාන්තර සහිත ප්‍රදේශවල සිදුකරන ගව පාලනය තෘණබිම් පාලනයට  සහ ‘සිල්වපස්චර් / silvopasture, ‘ ලෙස හැඳින්වෙන තණබිම් සමඟ ගස් හා පඳුරු එකිනෙකට සම්බන්ධ කිරීම කාබන් ඩයොක්සයිඩ් (CO2) වෙන් කිරීමට ද උපකාරී වේ. 2023 අධ්‍යයනයකින් නිගමනය වූයේ නැඟෙනහිර එක්සත් ජනපදයේ වර්ග කිලෝමීටර් 250,905ක් දක්වා සිල්වපස්චර් ප්‍රසාරණය කිරීමෙන් වසරකට මෙට්‍රික් ටොන් මිලියන 4.9 ත් 25.6 ත් අතර ප්‍රමාණයක CO2 විමෝචනය ග්‍රහණය කර ගත හැකි බවයි.

(Silvopasture යනු ගස්, ආහාර හා ගෘහාශ්‍රිත සතුන්ගේ තෘණ කිරීම අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් ආකාරයෙන් ඒකාබද්ධ කිරීමයි. එය කළමනාකරණය කළ තෘණ වගාවේ මූලධර්ම භාවිතා කරන අතර, එය කෘෂි වන වගාවේ විවිධ ආකාර කිහිපයකින් එකකි)

“අනෙකුත් පශු සම්පත් වලට සමානව, ඔවුන්ගේ ඝන වෘක්ෂලතා සහ පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් පස සහිත මිතුන්-බලපෑම් සහිත පරිසර පද්ධති, කාබන් ගබඩා කිරීමට දායක වන අතර, හරිතාගාර වායු විමෝචනය අවම කරයි,” පටිල් පවසයි.

“මිතුන් වනයේ නිදහසේ ගමන් කරනවා. ඔවුන්ට උසට ළඟා විය නොහැකි බැවින් ඔවුන් සාපේක්ෂව කුඩා ශාක මත පෝෂණය වෙනවා. ආහාර ගැනීමෙන් පසු, ඔවුන් ගමන් කරන විට බීජ ඉවත් කරමින් වනාන්තර පුනර්ජනනය කරනවා” 47 හැවිරිදි මිතුන් ගොවියෙකු වන කෙවිරිබම් සෙලියාං පවසයි.

වන විනාශය පාලනය කිරීමට වැටවල් ද උපකාරී වන බව Zeliang පවසයි. “වැටවල් දැම්මට පස්සේ කාටවත් ගස් කපන්න දෙන්නේ නෑ. ප්‍රජා වනාන්තරය ඇතුලේ ගහක් කැපුවොත් රුපියල් 500ක දඩයක් ගෙවන්න වෙනවා, නැත්නම් ගමේ තියෙන සුබසාධන පහසුකම් නැති වෙනවා. ඒ ගැන ප්‍රජා සභාව අධීක්‍ෂණය කරනවා ”ඔහු පවසයි.

ඡායාරූපය – Millo Ankha Yang Ering Moyong පවසන්නේ ජීවමාන වැට ඇය මිතුන් එඬේරෙකු ලෙස මීට පෙර මුහුණ දුන් මූල්‍ය බර ලිහිල් කර ඇති බවයි.

නාගලන්තයේ ටෙනිං ගම්මානයේ මිරෙම් සිට කිලෝමීටර් 400කට (සැතපුම් 249) ඔබ්බෙන්, ස්වදේශික සෙලියාං ගෝත්‍රිකයන් ඔවුන්ගේ මිතුන් රංචු ඇතිකරයි. ඉන්දියාව-මියන්මාර දේශසීමාවෙන් නුදුරින් පිහිටි කඳුකර වනාන්තර සහිත නාග කඳු, ඉහළ උන්නතාංශයක් (800-1,500m/2,600-4,900ft) සහ සිසිල් උෂ්ණත්වයන් සහිත  මිතුන් ඇති දැඩි කිරීම සඳහා පරිපූර්ණ දේශගුණයක් සපයයි.

මීට වසර විස්සකට පෙර එඬේරුන් 30-40ක් විසින් ඇති කරන ලද මිතුන් ගවයින් 300ක් පමණ සිටි නමුත් 2016 දී, අයිතිකරුවන් අට දෙනකු සමඟ මිතුන් ගවයින් 50ක් පමණක් සිටියේය. මිතුන් ගවයින්ගේ සංඛ්‍යාව මේ ආකාරයෙන් පහළ ගියේ ගවයින් වල් බල්ලන් විසින් මරා දැමීම සහ ගොවිබිම් වෙත රිංගූ විට  වෙඩි තබා ඝාතනය කිරීම නිසා බව නාගලන්තයේ ගොවීන් පවසයි. මේ නිසා බොහෝ දෙනෙක් මිතුන් ගවයින් ඇති දැඩි කිරීම නවතා රැකියා සඳහා වෙනත් නගරවලට සංක්‍රමණය වූහ.

2013 දී Zeliang ගේ පවුලට මිතුන්  ගවයින්16ක් හිමි විය. නමුත් ඔවුන් ගොවීන්ගේ සහ වල් බල්ලන්ගේ ප්‍රහාරවලට ගොදුරු වෙනවා දැකීමෙන් පසු ඔහු ගවයින් ඇති දැඩි කිරීම නතර කළේය.

“බොහෝ ගවයින් කෘෂිකාර්මික ඉඩම්වලට අයාලේ ගොස් වගාවන් විනාශ කරන විට ගොවීන් විසින් වෙඩි තබා ඝාතනය කළා. ඉතිරි ගවයින් කුර සහ මුඛ රෝග පැතිරීම සහ වන විලෝපිකයන් විසින් අතුගා දැම්මා” ඔහු පවසයි.

මිතුන් තණබිම් ප්‍රදේශය වට කර තිබූ පැරණි ගස් කඳන් වෙනුවට “ජීවමාන වැට” යොදා ඇත. “මීතුන් ප්‍රජා වනාන්තරයේ මිට පෙර නිදහස් කර ඇති අතර, වල් කළු චෙරි ගසේ විශාල කඳන් වලින් සාදන ලද වැටවල් යටින් ඔවුන් පහසුවෙන් ගමන් කරනවා. මෙම වැට වියළී කඩා වැටෙනවා” Zeliang පවසයි.

විශාල පාඩුවලට මුහුණ දුන් ඔහු වසර හයක් ඉංග්‍රීසි ප්‍රාථමික පාසල් ගුරුවරයෙකු බවට පත්විය. ICAR-NRC විසින් ගම වටා ඇති කඳුකරය දිගේ කිලෝ මීටර 20ක් පමණ දිග කටුකම්බි ජෛව වැට හඳුන්වා දීමෙන් පසුව 2019 දී ඔහු නැවත මිතුන් ඇති දැඩි කිරීමට ගියේය.

“මෙමගින් කඳුකරයේ දැව කඳන් ඉහළට ඇදගෙන යාමේ සහ දිරාපත් වූ වැටවල් වසරකට දෙවතාවකට වඩා අලුත්වැඩියා කිරීමට අවශ්‍ය ශ්‍රමය අඩු වුණා. කටු කම්බි වැටවල් හොඳින් නඩත්තු කළහොත් වසර දෙකේ සිට 10 දක්වා පැවතිය හැකි බැවින් නඩත්තු කිරීම පහසුයි.” Zeliang පවසයි.

මිතුන්ට මේ වැට උඩින් පනින්න බැරි බව ද ඔහු වැඩිදුරටත් පවසයි. ඔහු පවසන්නේ මිතුන් ඇති දැඩි කිරීම නිසා තම දරුවන් පාසලට යැවීමට මෙන්ම සමහර විට විශ්ව විද්‍යාලයට යැවීමට පවා ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීමට හැකි වූ බවයි.

ඡායාරූපය – Millo Ankha ආදිවාසී ගොවීන් තම මිතුන් අයාලේ යාමෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ‘ජීවමාන වැට’ ඉදිකර ඇත

ICAR-NRC හි Kate සහ අනෙකුත් විද්‍යාඥයින් විසින් මෙම මැදිහත්වීම අධීක්‍ෂණය කරන වාර්තාවකට අනුව, මෙම “ජීවමාන වැට” හඳුන්වා දුන් දා සිට, මිතුන් ගහනය 2016 දී 50 සිට 2020 දී 70 දක්වා වැඩි වී ඇත. මෙම කාලය තුළ ගොවීන් රුපියල් 9,75,000ක සම්පූර්ණ ලාභයක් ලබා ඇත.

විද්‍යාඥයන් විශ්වාස කරන්නේ නව වැටවල් සහ තෘණ පද්ධතිය මිතුන්ගේ සමස්ත මරණ අනුපාතය අඩු කිරීමට උපකාරී වී ඇති බවයි. “වැටවල් වලින් කැපී පෙනෙන ජයග්‍රහණවලින් එකක් නම් මිතුන් ගහනය වැඩිවීමයි” පටිල් පවසයි.

2019දී සිදුකළ 20 වන පශු සම්පත් සංගණනයට අනුව, ඉන්දියාවේ මුළු මිතුන් ගහනය 390,000කි . “මිතුන් ගව ගහනය අනෙකුත් පශු සම්පත් අභිබවා 30%ක පෙර නොවූ විරූ වර්ධන වේගයක් පෙන්නුම් කර තිබෙනවා. නිසි වැටවල් සහිත අර්ධ තීව්‍ර ඒකක මිතුන් වගා කරන ප්‍රදේශවලින් ඈත් කරනවා. ගොවීන් සමඟ ගැටුම් සහ ඔවුන්ගේ මරණ අඩු කරනවා” පටිල් පවසයි.

හතළිස් හැවිරිදි Kiphutlak Newmai හට මීට පෙර මිතුන් දෙදෙනෙකු හිමි වූ නමුත් ඇගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා මුදල් ගෙවීමට එක් ගවයෙක් විකිණීමට සිදු විය. “අනිත් එකා ගොවීන් අතින් මිය ගොස් හෝ වනයේ අතරමං වෙලා” ඇය පවසයි.

නමුත් මෙම අර්ධ වල් එළදෙනුන් ඇති දැඩි කිරීමේ ආර්ථික ප්‍රතිලාභ අවබෝධ කර ගැනීමෙන් පසු ඇය 2023 දී මිතුන් ගවයෙකු යළි මිලදී ගත්තාය.

Mirem හි, Moyong වසර පහක කොන්ත්‍රාත්තුවක් මත ඇගේ ගව ගවයින් හය දෙනා ඇති දැඩි කිරීම සඳහා භාරකරුවෙකු කුලියට ගෙන ඇත.

“මගේ සමාජය මාව එම භූමිකාවට සමාන ලෙස සලකන්නේ නැති නිසා මිතුන් ඇති දැඩි කිරීම සඳහා ක්‍රියාකාරීව සහභාගී වීම මට අපහසුයි,” ඇය පවසන්නීය.

අවිවාහක හෝ වැන්දඹු කාන්තාවන් තම මිතුන් ගවයින් සොයා වනාන්තරයට යාම අනාරක්ෂිත බැවින් බොහෝ විට පිරිමි භාරකරුවෙකුට මුදල් ගෙවන බව සර්මා පවසයි.

මෙම බාධක තිබියදීත්, මිතුන් ඇති දැඩි කිරීමෙන් කාන්තාවන් දැනටමත් මූල්‍යමය වශයෙන් ප්‍රතිලාභ ලබන බව සර්මා පවසයි.

Newmai එකඟ වේ: “මිතුන් හිමිකර ගැනීම මූල්‍ය නිදහස සඳහා පියවරක්. අවශ්‍යතාවය පැනනගින විට, සමහර ගොවියෙකු මගේ මිතුන් සඳහා ඉහළ මිලක් ගෙවනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා”

ඡායාරූපය – Millo Ankha විද්‍යාඥයින් පවසන්නේ ජීවමාන වැට ඊසානදිග ඉන්දියාවේ මිතුන් ජනගහනය ඉහළ නැංවීමට උපකාරී වී ඇති බවයි.

නව වැටවල් ද අභියෝග ඉදිරිපත් කර ඇත. නාගලන්ඩ් සහ අරුනාචල් ප්‍රදේශ් ප්‍රාන්තවලින් පිටත මෙම ආරක්ෂිත ඒකක පිහිටුවීම සඳහා ගොවීන්ට රුපියල් 50,000ක් දක්වා වැය විය හැකි අතර රජයෙන් තවත් අරමුදල් අවශ්‍ය වන බව ICAR-NRC හි විද්‍යාඥයින් පවසයි. ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශ දක්වා ඒවා ව්‍යාප්ත කිරීම තණබිම් සහ සම්පත් තිබීම වැනි සාධක මත රඳා පවතී.

“මිතුන් යනු මූලික වශයෙන් මස් පිණිස ඇතිකරන සතෙකු වන අතර ඔවුන් ඝාතනය කිරීමට පෙර වසර තුන හතරක් ඇති දැඩි කළ යුතුයි. මිතුන් ඇති කිරීමට තණබිම් අත්‍යවශ්‍ය වන අතර නිදහස් ක්‍රමයට සාපේක්ෂව මිතුන් ඇති කිරීම ගොවීන්ට ආර්ථික වශයෙන් ලාභදායී නොවිය හැකියි. සාමාන්‍යයෙන් ගෝත්‍රික ගොවීන්ට එවැනි ඒකක පිහිටුවීම සඳහා මූල්‍ය ශක්තියක් නැහැ” පටිල් පවසයි.

Mirem හි, ගම්වාසීන් පවසන්නේ ජීවමාන වැටවල් මිනිස්-මිතුන් ගැටුම් අවම කිරීමට සමත් වී ඇති නමුත්, IUCN රතු ලැයිස්තුවේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ලෙස වර්ග කර ඇති අනෙකුත් විලෝපිකයන්, විශේෂයෙන් ආසියාතික වල් බල්ලන්ගේ ප්‍රහාරයන් වළක්වා නොමැති බවයි .

“වල් බල්ලන් විසින් පැටවුන් මරා දමන බැවින් ගම්මානයේ මිතුන් සංඛ්‍යාව නියතව තිබෙනවා” යැයි මොයොංගේ ඥාති සොහොයුරෙකු වන 52 හැවිරිදි Oyem Ering පවසයි.

වැටවල් වනාන්තරයට ආසන්නව පිහිටා ඇති බැවින්, මිතුන් වල් බල්ලන්ගේ ප්‍රහාරවලට නිරාවරණය වේ. පටිල්ට අනුව, ICAR-NRC හි විද්‍යාඥයින් විසඳුමක් මත වැඩ කරමින් සිටිති. මිතුන් පැටවුන් මාස හයක් ගතවන තෙක් කිරි විකල්ප සහිත වෙනම කොටුවල තබා නිදහසේ වනයේ සැරිසැරීමට යැවීම එම සැලසුමයි.

මෙම ප්‍රහාර සම්බන්ධයෙන් විද්‍යාඥයින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා පවත්වයි. වනාන්තරවල නිදහස් තෘණ පද්ධතියක් තුළ මිතුන් ගහනයෙන් 5%ක් පමණ වන සුනඛයින් අතින් ඝාතනය වීම නොවැළැක්විය හැකි යැයි සලකන බව පටිල් පවසයි.

මිතුන් ගවයින් ඇති දැඩි කිරීම ද ගව පාලනයට වඩා මීතේන් අඩු බව පර්යේෂණ පෙන්වා දෙයි. ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියට අනුව කෘෂිකර්මාන්තය මීතේන් විමෝචනයේ විශාලතම මානව ප්‍රභවය වන අතර එය 40% කට ආසන්න වේ. මීතේන් වසර 12ක් තුළ වායුගෝලයේ බිඳ වැටේ. එය කාබන් ඩයොක්සයිඩ් (CO2) විසින් ගන්නා ලද සියවස් ගණනට වඩා ඉතා වේගවත් වේ. නමුත් හරිතාගාර වායුව ද 80 ගුණයකින් වැඩි ය. වසර 20 ක කාල පරාසයක් පුරා CO2 වඩා බලවත්ය .

ICAR-NRC හි විද්‍යාඥයින් විසින් ප්‍රකාශයට පත් නොකළ අධ්‍යයනයකින් පෙනී යන්නේ මිතුන්ගේ රූමනය සාපේක්ෂව අඩු මීතේන් මට්ටමක් නිපදවිය හැකි බවයි.

මෝයොන්ග් පවසන්නේ ජීවමාන වැට ඇය කලින් මුහුණ දුන් මූල්‍ය බර ලිහිල් කර ඇති බවයි. “වැටවල් දාලා තියෙන නිසා මගේ ගවයින් වගාබිම්වලට පනින්නේ නැහැ. ඒක මට වාසියක්. වැටක් සහිත වනාන්තරවල ගස් කැබීමට පිටස්තර පුද්ගලයින්ට අවසර නැහැ. ඒක දැඩි ලෙස සීමාකර තිබෙනවා. වනාන්තරය වන සතුන්ට පමණක් හිමිකර තිබෙනවා.” ඇය වැඩි දුරටත් පවසයි.

https://www.bbc.com  වාර්තාවක් ඇසුරිණි.

සකස් කළේ – මධූ වික්‍රමසිංහ