මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික විපර්යාස හේතුවෙන් 2024 ජුනි මාසයේදී බ්‍රසීලයේ Pantanal තෙත්බිම් හරහා පැතිර ගිය “පෙර නොවූ විරූ” ලැව්ගිනි ඇතිවීමේ සම්භාවිතාව පස් ගුණයකින් වැඩි විය.

ලොව විශාලතම නිවර්තන තෙත්බිම වන දකුණු ඇමරිකාවේ Pantanal ප්‍රදේශය පසුගිය ජුනි මාසයේ සිට සුවිශේෂී ලෙස උණුසුම්, වියළි සහ සුළං සහිත තත්ත්වයන් අත්විඳින අතර, එම කලාපයේ ගිනිදැල් ඉහළ ගියේය. ලෝක කාලගුණ ආරෝපණ සේවාවට (World Weather Attribution – WWA) අනුව එය පසුගිය වසර 45ක කාලය තුළ වාර්තා වූ උණුසුම්ම, වියළිම සහ සුළං සහිත මාසය බව වාර්තා වේ.

මෙම කාලගුණික තත්ත්වයන් මත දේශගුණික විපර්යාසවල “ඇඟිලි සලකුණ” සොයා ගැනීමට ලෝක කාලගුණ ආරෝපණ සේවාවට අයත් පර්යේෂකයින් විසින් නවතම අධ්‍යයනයක් සිදු කර ඇති අතර දේශගුණික විපර්යාස නොමැති ලෝකයක මෙම තත්වයන් ඉතා දුර්ලභ බව ඔවුන් සොයා ගෙන ඇති අතර සෑම වසර 161 කට වරක් පමණක් සිදු වන බව ද හෙළිකර ගෙන ඇත.

ලෝකය උණුසුම් වන විට දකුණු ඇමෙරිකානු කලාපයේ ලැව්ගිනි තවදුරටත් නරක අතට හැරෙන්නේ කෙසේදැයි කතුවරුන් ගවේෂණය කරයි. ලෝකය තවත් සෙල්සියස් අංශක 2ක උණුසුම් මට්ටම් කරා ළඟා වුවහොත්, මෙම තත්ත්වයන් ඇතිවීමේ සම්භාවිතාව දෙගුණයක් විය හැකි අතර එය සෑම වසර 18 කට වරක්ම සිදුවිය හැකි බව ලෝක කලගුණ ආරෝපණ සේවයේ පර්යේෂකයින් විසින් ප්‍රක්ෂේපණය කර ඇත.

ඉහළ යන ලැව්ගිනි

විශාල Pantanal තෙත්බිම බ්‍රසීලය, බොලිවියාව සහ පැරගුවේ හරහා විහිදේ. එය ශාක හා සත්ත්ව විශේෂ 4,700කට වඩා වැඩි ප්‍රමාණයකට නිවහන වන පෘථිවියේ ඉහළම ජෛව විවිධත්වයෙන් යුත් ස්ථානවලින් එකකි. සෑම වසරකම, උණුසුම් හා වියළි කාලගුණික තත්ත්වයන් හමුවේ තෙත් බිම ලැව්ගිනි වලට ගොදුරු වේ. එය සාමාන්‍යයෙන් ජූලි සහ සැප්තැම්බර් අතර කාලය තුළ සිදුවේ.

මේ වසරේ ජුනි මාසය වන විට දැඩි ලැව්ගිනි දැනටමත් ඉහළ යමින් තිබුණි. අභ්‍යවකාශ පර්යේෂණ සඳහා වූ බ්‍රසීලයේ ජාතික ආයතනයේ දත්තවලට අනුව, 2023 වසරේ එම කාලපරිච්ඡේදයට සාපේක්ෂව මෙම වසරේ පළමු භාගයේ දී Pantanal ලැව්ගිනි සංඛ්‍යාව 1,500% කින් වැඩි විය. මේ වසරේ මේ දක්වා පිළිස්සී ඇති තෙත් බිම් ප්‍රමාණය හෙක්ටයාර මිලියන 1.3කට වඩා වැඩිය.

ඡායාරූපය – 2024 ජූලි 5 වන දින බ්‍රසීලයේ Mato Grosso do Sul හි ලැව් ගින්නකට ගොදුරු වූ Pantanal හි කොටසක ගුවන් දසුනක්

පසුගිය ජුනි මාසයේදී ලැව් ගිනි 2500ක් පමණ හඳුනාගෙන ඇති අතර එය 1998 සිට ඉහළම සංඛ්‍යාව වන අතර එය 2020 දී වාර්තා වූ මට්ටම මෙන් හය ගුණයකට වඩා වැඩිය. එය ‘ලැව් ගිනිදැල් වසර’ ලෙස හැඳින්වෙන බව ඇසෝසියේටඩ් ප්‍රෙස් පැවසීය.

කලාපය මේ වන විට වසර 70කට පසු එහි දරුණුතම නියඟය අත්විඳිමින් සිටින අතර, බ්‍රසීල රජය එය පවසා ඇත්තේ “දේශගුණික විපර්යාස සහ ඉතිහාසයේ  ප්‍රබලම එල් නිනෝ සංසිද්ධිය නිසා තත්ත්වය වඩාත් තීව්‍ර වන” බවයි.

දිගු වියළි කාලසීමාවන්, අධික උෂ්ණත්වය සහ භූමි පරිහරණ වෙනස්වීම් ලැව්ගිනි තත්ත්වයන්ට දායක වන බව අධ්‍යයනයට සම්බන්ධ නොවූ බ්‍රසීලයේ සාඕ කාලෝස් ෆෙඩරල් විශ්වවිද්‍යාලයේ පශ්චාත් ආචාර්ය පර්යේෂක ආචාර්ය මාරියා ලුසියා බාර්බෝසා පවසයි.

ඇය මෙසේ පවසයි, “ලැව් ගිනි ඇතිවීම Pantanal පරිසර පද්ධතියේ ස්වාභාවික කොටසක් ලෙස සැලකිය හැකියි. 2020 විනාශකාරී ලැව්ගිනි වලින් ටික කලකට පසු වර්තමානයේ සිදුවන ආන්තික ලැව්ගිනි දේශගුණික විපර්යාස සමඟ පරිසර පද්ධතිය මුහුණ දෙන බරපතළ අර්බුදයක් ලෙස සැලකිය හැකියි’’

උණුසුම්, වියළි සහ සුළං

ලැව්ගිනි තීව්‍රතාවය සහ කාලසීමාව කාලගුණය, වෘක්ෂලතා සහ ගිනි කළමනාකරණ උපාය මාර්ග ඇතුළු පුළුල් පරාසයක සාධක මගින් තීන්දුවේ.

නව අධ්‍යයනයේ කතුවරුන් උපරිම උෂ්ණත්වය, ආර්ද්‍රතාවය, සුළං වේගය සහ වර්ෂාපතනය පිළිබඳ තොරතුරු ඒකාබද්ධ කරන “දෛනික බරපතලතා ශ්‍රේණිගත කිරීම” (Daily Severity Rating DSR) නම් වූ සමීක්ෂණයක් වෙත අවධානය යොමු කරයි. ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි ග්‍රන්තම් ආයතනයේ පර්යේෂණ සහායක සහ අධ්‍යයනය පිළිබඳ කර්තෘ ආචාර්ය ක්ලෙයාර් බාන්ස් මාධ්‍ය හමුවකදී පැවසුවේ මෙම සමීකරණය “ගින්න ආරම්භ වූ පසු එය පාලනය කිරීම කොතරම් දුෂ්කර දැයි පෙන්නුම් කරයි” යනුවෙනි.

අධික උෂ්ණත්වය සහ සුළගේ වේගය මෙන්ම අඩු ආර්ද්‍රතාවය සහ වර්ෂාපතනය ලැව්ගිනි පැතිරීමට ඉතා හිතකර වන අතර එබැවින් ඉහළ “දෛනික බරපතලතා ශ්‍රේණිගත කිරීමක්” (DSR) නිර්මාණය කරයි.

පහත සිතියම 2024 ජූනි මාසයේදී Pantanal හි සාමාන්‍ය DSR පෙන්වයි. එම මාසය තුළ Pantanal හි බොහෝමයක් 1990-2020 සාමාන්‍යයට වඩා ලැව්ගිනි අවදානම අත්විඳින බව එයින් හෙළි වේ.

2024 ජූනි මාසයේදී Pantanal හි DSR. ලා රතු පැහැය අඩු DSR සහ අඩු ගිනි අවදානම් තත්ත්වයන් පෙන්නුම් කරයි. තද රතු පැහැයෙන් පෙන්නුම් කරන්නේ ඉහළ DSR සහ ඉහළ ගිනි අවදානම් තත්ත්වයන්ය. මූලාශ්‍රය: WWA ( 2024 )

2024 ජුනි මාසයේදී Pantanal හි කාලගුණික තත්ත්වයන් “වසරේ කාලය සඳහා ඇත්තෙන්ම අසාමන්‍ය” බව බාන්ස් පැවසීය

2024 ජුනි මාසයේ කාලගුණික තත්ත්වයන් කෙතරම් අසාමාන්‍යද යන්න විමර්ශනය කිරීමට, කතුවරුන් පසුගිය වසර 45ක උෂ්ණත්වය, සුළං, වර්ෂාපතනය සහ ආර්ද්‍රතා දත්ත විශ්ලේෂණය කළහ.

පහත ප්‍රස්ථාරයෙන් 1979-2024 කාලය තුළ Pantanal හි වාර්ෂික සාමාන්‍ය වර්ෂාපතනය සහ වාර්ෂික සාමාන්‍ය දෛනික උපරිම උෂ්ණත්වය නිරූපණය කෙරේ. පසුගිය වසර 45 තුළ Pantanalහි සාමාන්‍ය උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින අතර සම්පූර්ණ වර්ෂාපතනය අඩුවෙමින් පවතින බව එයින් පෙන්නුම් කෙරේ.

1979-2024 කාලය තුළ Pantanal කලාපයේ වාර්ෂික සාමාන්‍ය වර්ෂාපතනය සහ වාර්ෂික සාමාන්‍ය දෛනික උපරිම උෂ්ණත්වය. සෑම තිතක්ම වසරක් දක්වයි. කොළ පැහැයෙන් 1979-99 අතර වසර ද, කහ පැහැයෙන් 2000-18, තැඹිලි පැහැය 2019-23, තද රතු පැහැයෙන් 2024 ද දක්වයි. මූලාශ්‍රය: WWA ( 2024 )

දේශගුණය උණුසුම් වන විට බ්‍රසීලියානු පැන්ටනල් වඩ වඩාත් උණුසුම් හා වියළි තත්වයන් දකියි. වාර්තා ආරම්භයේ සිට 2024 ජුනි මාසයේ උණුසුම් ම, අඩුම වැසි සහ සුළං සහිත ජුනි මාසය බව කතුවරුන් සොයා ගෙන ඇත. සාපේක්ෂ ආර්ද්‍රතාවය වාර්තාගත දෙවන අඩුම අගය බව ද ඔවුන් සොයා ගෙන ඇත.

පසුගිය වසර 40 තුළ Pantanal හරහා වාර්ෂික වර්ෂාපතනය අඩුවෙමින් පවතින බව කතුවරුන් සඳහන් කරයි. ස්වභාවික විචල්‍යතාවය සහ වන විනාශය දකුණු ඇමරිකාව පුරා වර්ෂාපතන රටා කෙරෙහි බලපාන බව දන්නා නමුත් දේශගුණික විපර්යාස “වියළීමේ ප්‍රවණතාවයට ද බලපෑම් කළ හැකි” බව ඔවුහු පෙන්වා දෙති.

ආරෝපණය / Attribution

ආරෝපණය යනු උෂ්ණ තරංග සහ නියඟ වැනි ආන්තික කාලගුණික සිදුවීම් මත දේශගුණික විපර්යාසවල “ඇඟිලි සලකුණ” හඳුනා ගැනීම අරමුණු කරගත් දේශගුණ විද්‍යාවේ වේගයෙන් වර්ධනය වන ක්ෂේත්‍රයකි.

(Attribution යනු යම් දෙයක මූලාරම්භය හෝ හේතුව කුමක්දැයි පැවසීමේ ක්‍රියාවයි)

ආරෝපණ අධ්‍යයනයන් සිදු කිරීම සඳහා විද්‍යාඥයන් විසින් අද පවතින ආකාරයට ලෝකය මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික විපර්යාස නොමැති “ප්‍රතිවිරෝධී” ලෝකයකට සංසන්දනය කිරීමට ආකෘති භාවිතා කරයි. මෙම අධ්‍යයනයේ දී, කතුවරුන් විසින් Pantanal කලාපයේ DSR මත දේශගුණික විපර්යාසවල බලපෑම විමර්ශනය කරන ලදී.

මානව ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස දැනටමත් සෙල්සියස් අංශක 1.2 කින් උණුසුම් වී ඇති වර්තමාන දේශගුණය තුළ, 2024 ජුනි මාසයේදී බ්‍රසීලියානු පැන්ටනාල් හි ලැව්ගිනි ඇති කළ ලැව්ගිනි වැනි ලැව්ගිනි කාලගුණික තත්ත්වයන් “සාපේක්ෂ වශයෙන් දුර්ලභ සිදුවීමක්” වන අතර එය දළ වශයෙන් සෑම වසර 35 කට වරක් සිදු වන බව අපේක්ෂා කරනු ඇත.

කෙසේ වෙතත්, පර්යේෂකයින් පවසන්නේ, ලෝකය දිගටම උණුසුම් වුවහොත්, මෙම සිදුවීම් වැඩි විය හැකි බවයි. පූර්ව කාර්මික මට්ටමට වඩා දේශගුණය 2C දක්වා උණුසුම් වුවහොත්, මෙම ගිනි තත්ත්‍වයේ සම්භාවිතාව අදට සාපේක්ෂව දෙගුණයක් වනු ඇත.

2024 ජූනි මාසයේදී බ්‍රසීලියානු පැන්ටනාල් හි දක්නට ලැබුණු ජූනි ලැව්ගිනි කාලගුණික තත්ත්වයන් විවිධ උණුසුම් මට්ටම් යටතේ කොපමණ වාරයක් අපේක්ෂා කළ හැකිද යන්න පහත ග්‍රැෆික් චිත්‍රයෙන් පෙන්වයි.

වම් පස ඇති චතුරස්‍රයේ දේශගුණික විපර්යාස නොමැති ලෝකයක් පෙන්නුම් කරයි, මෙම DSR මට්ටම් සෑම වසර 161කට වරක් සිදු වේ. මැද චතුරස්‍රය පෙන්නුම් කරන්නේ වර්තමාන දේශගුණය තුළ DSR යනු වසර 35කින් එක් සිදුවීමක් බවයි. දකුණු පස ඇති චතුරස්‍රයෙන් පෙන්නුම් කරන්නේ 2C ලෝකයක, 2024 වැනි ජුනි මස DSR සෑම වසර 18කට වරක් බලාපොරොත්තු විය හැකි බවයි.

2024 ජූනි මාසයේදී බ්‍රසීලියානු පැන්ටනාල් හි දක්නට ලැබුණු ජූනි ලැව්ගිනි කාලගුණික තත්ත්වයන් – විවිධ දේශගුණයන් යටතේ කොපමණ වාරයක් අපේක්ෂා කළ හැකිද ?: (වමේ සිට දකුණට) පූර්ව මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික විපර්යාස, අද සහ 2C උෂ්ණත්වය යටතේ. සෑම තිතක්ම වසරක් පෙන්නුම් කරන අතර රෝස තිත් පෙන්නුම් කරන්නේ ජුනි DSR බ්‍රසීලියානු Pantanal හි 2024 හි දක්නට ලැබෙන මට්ටමට ගැලපෙන හෝ ඉක්මවන වසරයි. මූලාශ්‍රය: WWA ( 2024 )

දේශගුණික විපර්යාස DSR “තීව්‍රතාවයට” බලපෑවේ කෙසේද යන්න ද කතුවරුන් විමර්ශනය කරයි. ෆොසිල ඉන්ධන දහනය කිරීමෙන් මිනිසා විසින් ඇති කරන ලද උණුසුම් වීම 2024 ජූනි මස DSR 40% කින් පමණ වැඩි කළ බව ඔවුන් සොයා ගෙන ඇත. දේශගුණය අඛණ්ඩව උණුසුම් වන විට මෙම ප්‍රවණතාවය වඩාත් නරක අතට හැරෙනු ඇතැයි කතුවරුන් වැඩිදුරටත් පවසයි. කතුවරුන් අනතුරු අඟවන්නේ පූර්ව කාර්මික උෂ්ණත්වයට වඩා උනුසුම් වීම 2C දක්වා ළඟා වුවහොත්, ජුනි මාසයේ ගිනි කාලගුණික තත්ත්වයන් 17% “වඩා බලපෑමක්” බවට පත් වනු ඇති බවයි.

(මෙම සොයාගැනීම් තවමත් සම-සමාලෝචනය කරන ලද සඟරාවක ප්‍රකාශයට පත් කර නොමැත. කෙසේ වෙතත්, විශ්ලේෂණයේ භාවිතා කරන ලද ක්‍රම කලින් ආරෝපණය අධ්‍යයනයන්හි ප්‍රකාශයට පත් කර ඇත)

ලැව්ගිනි බලපෑම්

ලැව්ගිනි Pantanal හි මිනිසුන්ට සහ සොබාදහමට පුළුල් පරාසයක බලපෑම් ඇති කරයි. එක් උදාහරණයක් ලෙස, 2021 අධ්‍යයනයකින් හෙළි වූයේ 2020 දී ලැව්ගිනි හේතුවෙන් පෘෂ්ඨවංශීන් මිලියන 17ක් පමණ “ක්ෂණිකව මරා දැමූ” බවයි.

ලැව්ගිනි නිසා Pantanal හි ජීවත් වන මිනිසුන්ගේ “ජීවනෝපාය විනාශ” කළ හැකි අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වන දුමාරයෙන් “සැලකිය යුතු සෞඛ්‍ය අවදානමක්” ඇති කළ හැකි බව Barbosa පවසයි.

ලැව්ගිනි මගින් CO2 වායුගෝලයට මුදා හරින අතර , දේශගුණික විපර්යාසවලට දායක වන අතර, ඒවා “පරිශීල වශයෙන් වාසස්ථාන අහිමි වීමට, වන සතුන්ට අනතුරක් කිරීමට සහ පාරිසරික සමතුලිතතාවයට බාධා කිරීමට” හේතු වන බව ඇය සඳහන් කරයි.

ඇය මේ සම්බන්ධයෙන් තව දුරටත් මෙසේ පැහැදිලි කරයි, “දැනටමත් තර්ජනයට ලක්ව ඇති හෝ සීමිත පරාසයන් ඇති විශේෂයන් ලැව්ගිනි නිසා ඇතිවන වාසස්ථාන විනාශයට විශේෂයෙන් ගොදුරු වෙනවා. නැවත නැවත ඇතිවන ලැව්ගිනි ගිනි සංවේදී වෘක්ෂලතා ස්ථිර හායනයකට තල්ලු කළ හැකි අතර, කලාපයේ පාරිසරික අඛණ්ඩතාව තවදුරටත් තර්ජනයට ලක් කරනවා”

කෘෂිකාර්මික අරමුණු සඳහා (දිරාපත් වූ තණබිම් පුළුස්සා දැමීම වැනි) වැසි සමයේදී, නොවැම්බර් සිට අප්‍රේල් දක්වා කාලය තුළ සමහර ගිනි තැබීම් සඳහා අවසර දෙනු ලැබේ. වියළි ගිම්හාන මාසවලදී මෙම භාවිතය තහනම් කර ඇති නමුත් 2020 වාර්තාවක සටහන් කරන්නේ “යථාර්ථයේ දී, තහනම සැමවිටම ගරු නොකරන අතර බලාත්මක කිරීම අහම්බයක්” බවයි.

ඡායාරූපය – 2023 නොවැම්බර් 17 වන දින බ්‍රසීලයේ Mato Grosso හි Pantanal තෙත්බිම්වල Encontro das Aguas උද්‍යානයේ ලැව්ගින්නෙන් දැවී ගිය ප්‍රදේශයක ජගුවාරයක්.

පෘතුගාලයේ එවෝරා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෙකු සහ අධ්‍යයනයේ කතුවරයෙකු වන  ෆිලිප් සැන්ටොස් මාධ්‍ය හමුවකදී පැවසුවේ එය පාලනය කරන විට – Pantanal හි “ගින්න ගතිකයේ කොටසක්” බවයි.

අඩු තීව්‍රතාවයකින් යුත් ලැව්ගිනි සතුන්ට ප්‍රදේශයෙන් “පිටවීමට කාලය” ලබා දෙන බව පවසන ඔහු තවදුරටත් මෙසේ පැවසීය. “වත්මන් ලැව්ගිනි සමඟ අපට පෙනෙන දෙය නම්, ගින්න ඉතා තීව්‍ර වන අතර සතුන්ට පලා යාමට කාලය නොමැති තරම් එය වේගයෙන් හා විශාල ලෙස සිදුවෙනවා. ඉතා තීව්‍ර” ලැව්ගිනි “ස්වභාවධර්මයට යථා තත්ත්වයට පත්වීමට ප්‍රමාණවත් කාලයක් ලබා දෙන්නේ නැහැ”, සැන්ටොස් පවසයි.

පසුගිය ජුනි මාසයේදී බ්‍රසීලයේ පරිසර අමාත්‍ය මරීනා සිල්වා පැවසුවේ “පැන්ටනාල් තෙත්බිම මෙතෙක් දැක ඇති නරකම තත්ත්වයකට මුහුණ දී සිටින” බවත්, දේශගුණික ආන්තික සහ සාපරාධී ක්‍රියාකාරකම් හේතුවෙන් ලැව් ගිනි වැඩි වන බවත්ය.

බොහෝ Pantanal ගිනි ඇතිවන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා බව 2022 අධ්‍යයනයකින් හෙළි විය. බ්‍රසීලයේ පොලිසිය කලාපයේ ලැව්ගිනි 18ක් පිටුපස ඇති “වැරදිකරුවන්” පිළිබඳව විමර්ශනය කරමින් සිටින බව සිල්වා පසුගිය මාසයේ  පැවසීය.

ඡායාරූපය – 2024 ජූලි 5 වන දින බ්‍රසීලයේ Mato Grosso do Sul හි ලැව් ගින්නෙන් විපතට පත් Pantanal හි ප්‍රදේශයකට ගිනි නිවීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස ගුවන් යානයකින් ජලය ඉසින අයුරු.

මෑත සතිවලදී, බ්‍රසීලයේ ලැව්ගිනි මැඩලීමේ සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමේ  නීතියක් ක්‍රියාත්මක විය.

බ්‍රසීලියානු රාජ්‍ය නොවන සංවිධානයක් වන සමාජය, ජනගහනය සහ සොබාදහම පිළිබඳ ආයතනයේ ප්‍රකාශයක් පවසන්නේ මෙම නව ප්‍රතිපත්තිය “සැලකිය යුතු සන්ධිස්ථානයක්” වන අතර “රටේ සියලුම ජෛව හා භූමි ප්‍රදේශ හරහා ඒකාබද්ධ ගිනි කළමනාකරණය කිරීමේ පුහුණුවීම් සඳහා මාර්ගෝපදේශ” ස්ථාපිත කරන බවයි.

බාර්බෝසා පවසන්නේ මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම “අභියෝගයක්” වනු ඇති බවයි. ලැව්ගිනි ඇතුළු තර්ජන පරාසයක් සඳහා “අවදානම අඩු කිරීම සහතික කිරීම සඳහා බහුවිධ උපද්‍රව සඳහා පුළුල් ජාතික පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක්” දැකීමට ඇය කැමතිය.

ඇය මෙසේ පවසයි: “ප්‍රදේශයේ ප්‍රජාවන්, ගිනි නිවන භටයින් සහ සේනාංක සමඟ සහයෝගීතාවය වැළැක්වීම සහ ප්‍රතිචාර දැක්වීමේ ප්‍රයත්නයන් සඳහා ඉතා වැදගත් වෙනවා… ගිනි කළමනාකරණය සඳහා කැප වූ ජාතික අරමුදලක් පිහිටුවීමත් සමඟම සියලු පාර්ශ්වකරුවන් ඒකාබද්ධ කරන සම්බන්ධීකරණ ප්‍රවේශයක් අනාගත ගිනි කාලවල බලපෑම් අවම කිරීම සඳහා අත්‍යවශ්‍යයි”

Carbonbrief.org ඇසුරිණි

සකස් කළේ – මධූ වික්‍රමසිංහ