විනාශකාරී කෘෂිකාර්මික ක්‍රම නිසා ඇති වන දුර්වල පරාගණය ජෛව විවිධත්වය නැතිවීමට හේතු වන අතර එය ආහාර නිෂ්පාදනයට තර්ජනයක් බව පර්යේෂකයෝ පවසති

එක්සත් රාජධානියේ පලතුරු වගා කරන්නන් දැනටමත් කෘමීන් අහිමි වීම නිසා අඩු අස්වැන්නක් සහ අඩු ගුණාත්මක නිෂ්පාදන දකිමින් සිටින බව විද්‍යාඥයින් පිරිසක් බ්‍රිතාන්‍ය රජයට දැනුම් දී ඇති අතර, පරාග වාහකයන් තවදුරටත් අහිමි වීම සියලු බෝග වලට “සැලකිය යුතු” බලපෑම් ඇති කළ හැකි බවට අනතුරු අඟවා ඇත.

University of Reading හි මහාචාර්ය සයිමන් පොට්ස් පැවසුවේ මහා බ්‍රිතාන්‍ය තුළ පරාග කාරකයින්ගේ (Pollinators) හිඟයක් සහ ආහාර නිෂ්පාදනයට තර්ජනයක් ඇති බවට දැනටමත් ප්‍රමාණවත් සාක්ෂි ඇති බවයි.

ඔහු මෙසේ පැවසීය: “එම හිඟය අඩු අස්වැන්නක් පමණක් නොව එය අඩු ගුණාත්මක නිෂ්පාදනයක් බවට ද පරිවර්තනය වෙනවා… දුර්වල පරාගණය සමඟ පෝෂ්‍ය පදාර්ථ නිෂ්පාදනයේ හිඟයක් ඇති වන අතර, ඇත්ත වශයෙන්ම එය ගොවීන්ට ආර්ථිකමය අලාභයක් ඇති කරනවා”

මහාචාර්ය පොට්ස්ගේ දායකත්වයෙන් සිදුකළ තවත් අධ්‍යයනයකදී එක්සත් රාජධානියේ Gala නම් ඇපල් විශේෂය සඳහා පරාගවාහකයින්ගේ හිඟයක් පවතින බවත් එමගින් සිදුවන නිෂ්පාදනයේ පාඩුව පවුම් මිලියන 5.7කට සමාන විය හැකි හෙළිකර ගෙන ඇත. පරාගනය වැඩි කිරීමට මැදිහත් වීමෙන් මෙය නිවැරදි කළ හැකි බව ඔහු පැවසීය.

ඇපල් වල ප්‍රධාන පරාග වාහකයන් වන්නේ මී මැස්සන් සහ Hoverflies බවත්, ලොව වැදගත්ම පලතුරු බෝගයක් වන ඇපල් ගෝලීය ආහාර සුරක්ෂිතතාවය සඳහා “අත්‍යවශ්‍ය” බවත් අධ්‍යයනය සටහන් කරයි. බීජ ගණන, ප්‍රමාණය (ඒවායේ අලෙවියට බලපාන) සහ කැල්සියම් මට්ටම් පිළිබඳව නිශ්චිත සඳහනක් සහිතව, “කෘමි පරාගණය සහ ඇපල් වල ගුණාත්මක භාවය අතර සෘජු සම්බන්ධතා සමපාත වන” බව ද  අධ්‍යයනය පවසයි.

  • Hoverflies: හොවර් මැස්සන්, මල් මැස්සන් හෝ සිරෆිඩ් මැස්සන් ලෙස ද හැඳින්වෙන මෙම කෘමීන් ලොව පුරා බොහෝ පරිසර පද්ධතිවල සපුෂ්ප ශාකවල වැදගත් පරාගකාරකයින් වේ. ඔවුන් අයත් කෘමි පවුල Syrphidae වේ. ඔවුන්ගේ පොදු නාමයෙන් ඇඟවෙන්නේ, ඔවුන් බොහෝ විට මල් මත සැරිසරමින් හෝ මල් පැණි ලබා ගන්නා බවයි. බොහෝ විශේෂවල වැඩිහිටියන් ප්‍රධාන වශයෙන් මල් පැණි සහ පරාග මත පෝෂණය වන අතර කීටයන් පුළුල් පරාසයක ආහාර අනුභව කරයි.

එක්සත් රාජධානිය එහි පලතුරු සහ එළවළු බොහොමයක් ආනයනය කරන රටවල පරාග ප්‍රවණතා පිළිබඳ දත්ත අවම බව මහාචාර්ය පොට්ස් පැවසීය. “අපට නිසැකවම මහා බ්‍රිතාන්‍යය තුළ අභියෝගයක් තිබෙනවා. නමුත් එක්සත් රාජධානියට පැමිණෙන පලතුරු සහ එළවළු විශාල ප්‍රමාණයක් නිපදවන එම රටවල පරාග වාහකයන්ගේ සහ අනෙකුත් ප්‍රයෝජනවත් කෘමීන්ගේ තත්ත්වය සහ ප්‍රවණතා පිළිබඳ දත්ත නොමැති තරම්. එය ප්‍රතිපත්තිමය වශයෙන් සහ ප්‍රායෝගික වශයෙන් විශාල අභියෝගයක්.”

ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “අපගේ බොහෝ බෝග (අඹ, රාස්ප්බෙරි, ස්ට්‍රෝබෙරි) උතුරු අප්‍රිකාව, යුරෝපය හෝ දකුණු ඇමරිකාවෙන් ආනයනය කරනවා. මේ තත්ත්වය තුළ අපි එක්සත් රාජධානිය තුළ පමණක් නොව විදේශයන්හි ද ඉතා අවදානමට ලක්ව සිටිනවා’’.

කෘමි පරාගණය සෑම වසරකම එක්සත් රාජධානියේ ආර්ථිකයට පවුම් මිලියන 600 කට වඩා දායක වේ. සියලුම ආහාර බෝග වලින් 75% කට වඩා පරාගණය අවශ්‍ය වන අතර එහි පහත වැටීම ගෝලීය ආහාර සුරක්ෂිතතාවයට බරපතළ බලපෑම් ඇති කරයි. කෘමි හානිවලට බලපාන කාරණා වෙනස් වේ. නමුත් බොහෝ විට වාසස්ථාන අහිමි වීම (කෘෂිකාර්මික ඉඩම් පුළුල් කිරීම මගින් සිදුවන), පළිබෝධනාශකවලට නිරාවරණය වීම සහ දේශගුණික බිඳවැටීම් ඊට ඇතුළත් වේ.

මෙම සතියේ ප්‍රකාශයට පත් කරන ලද තවත් පර්යේෂණයකින් හෙළි වූයේ බ්‍රිතාන්‍ය ගොවි බිම්වල කෘමීන් අඩුවීම නැවැත්වීමට පසුගිය වසර 30 තුළ සිදුකළ සංරක්ෂණ ක්‍රියාමාර්ග අපොහොසත් වී ඇති බවයි. නව ජෛව විවිධ සහ තිරසාර ගොවිතැන් ක්‍රමයක් සඳහා ගොවීන් උනන්දු කරන ලෙස පොට්ස් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි අතර, පරිසර ඉඩම් කළමනාකරණ යෝජනා ක්‍රම මෙන්ම, දේශීය ස්වභාවික ප්‍රතිසාධන ක්‍රමෝපායන් සහ ජෛව විවිධත්ව ශුද්ධ ලාභය (biodiversity net gain ( BNG) මගින් ගොවි ප්‍රතිපත්තිය හරහා එය කළ හැකි බව ඔහු පැවසීය.

මහාචාර්ය Potts සමඟ සාක්ෂි ලබා දුන් සසෙක්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩේව් ගෝල්සන් මෙසේ පැවසීය: “කෘමීන්ට තරමක් අනුවර්තනය විය හැකියි. එසේම ඔවුන් වසර මිලියන 480ක පමණ කාලයක සිට පැවත එන අතර මීට පෙර සිදු වූ සියලුම මහා වඳවීමේ සිදුවීම් වලින් බේරී තිබෙනවා. නමුත්, ඔවුන්ගේ වාසභූමි විනාශ වුවහොත් ඔවුන්ට ජීවත් වීමට තැනක් නැති වේවි. ඔවුන්ට කෑමට කිසිවක් සොයාගත නොහැකි වේවි. ඒ සියල්ල එකට තැබූ විට, ඔවුන් ජීවිතයට මුහුණ දීමට අරගල කිරීම ගැන අපි පුදුම විය යුතු නැහැ’’

අප ගොවිතැන් කරන ආකාරය වැඩිදියුණු කළ යුතු බව ඔහු යළිත් අවධාරණය කළේය. “බි‍්‍රතාන්‍යයේ සියයට හැත්තෑවක් දළ වශයෙන් ගොවිබිම් වන අතර, ජෛව විවිධත්වය පිරිහීමට ප්‍රමුඛතම හේතුව ගොවිතැන බවට පැහැදිලි සාක්ෂි තිබෙනවා. එබැවින් ආහාර නිෂ්පාදනය සඳහා වඩාත් තිරසාර ප්‍රවේශයක් කරා ගමන් කිරීම ඉතා වැදගත් බව පැහැදිලිව දැකගත හැකියි’’.

https://www.theguardian.com/environment/2023/jun/07/insect-decline-a-threat-to-fruit-crops-and-food-security-scientists-warn-mps-aoe