• 2020 මාර්තු මාසයේදී ගොනු කරන ලද මෙම නඩුව (Hold v Montana) එක්සත් ජනපද ඉතිහාසයේ ප්‍රථම ව්‍යවස්ථාමය දේශගුණික පරීක්ෂණය සනිටුහන් කරනු ඇත.
  • වත්මන් සහ අනාගත පරම්පරාවන් සඳහා ‘පිරිසිදු සහ සෞඛ්‍ය සම්පන්න පරිසරයක්’ සඳහා වන ව්‍යවස්ථාමය සහතිකය රජය උල්ලංඝනය කර ඇති බව පැමිණිලිකරුවන් පවසයි.
  • පැමිණිලිකරුවන් පවසන්නේ ප්‍රාන්තයේ බලශක්ති ප්‍රතිපත්තිය සහ මොන්ටානා පාරිසරික ප්‍රතිපත්ති පනතේ කොටසක් ව්‍යවස්ථා විරෝධී බවයි

සෞඛ්‍ය සම්පන්න පරිසරයක් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇති අයිතිවාසිකම රාජ්‍ය නිලධාරීන් විසින් කඩ කළ බවට චෝදනා කරන තරුණ තරුණියන් 16 දෙනෙකු ගොනු කළ දේශගුණික විපර්යාස නඩුවක් මොන්ටානාහ අගනුවර උසාවියකදී අද (12) ආරම්භ විය.

2020 මාර්තු මාසයේදී ගොනු කරන ලද මෙම නඩුව (Hold v Montana) එක්සත් ජනපද ඉතිහාසයේ ප්‍රථම ව්‍යවස්ථාමය දේශගුණික පරීක්ෂණය සනිටුහන් කරනු ඇත.

“අපි රජයෙන් සහ උසාවියෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ කාර්යය ඉටු කර අපව ආරක්ෂා කරන ලෙසයි. මෙම නඩුව මොන්ටානා සඳහා ආරක්ෂිත, සුන්දර සහ සමෘද්ධිමත් අනාගතයක් සුරැකීමේ නායකයෙකු වීමට රාජ්‍යයට ඇති එක් විශාල අවස්ථාවක් ”19 හැවිරිදි පැමිණිලිකරුවෙකු වන ග්‍රේස් ගිබ්සන්-ස්නයිඩර් පැවසීය.

මෙම නඩු විභාගය මීට සමාන නඩු ඉදිරියට ගෙන යාමට පූර්වාදර්ශයක් විය හැකි අතර එය වෙනත් ප්‍රාන්තවල නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පෙළඹවිය හැකි බවට නීතීඥයින් විශ්වාසය පළ කරයි.

මොන්ටානා ප්‍රාන්තයේ ව්‍යවස්ථාව 1972 සිට “ප්‍රාන්තය සහ එක් එක් පුද්ගලයා වර්තමාන සහ අනාගත පරම්පරාවන් සඳහා මොන්ටානා හි පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් පවත්වා ගෙන යා යුතු අතර වැඩිදියුණු කළ යුතුය” යන්න සහතික කර ඇත. පැමිණිලිකරුවන් තර්ක කරන්නේ ෆොසිල ඉන්ධන සඳහා මුක්කු ගැසීමෙන් මෙම වගකීම ඉටු කිරීමට රජය අසමත් වී ඇති බවයි.

“රජය පොසිල ඉන්ධන සංවර්ධනය ප්‍රවර්ධනය කරන ආකාරය, එම ප්‍රතිපත්ති දේශගුණික විපර්යාස උග්‍ර කරන ආකාරය සහ එයින් මට සහ අනෙකුත් තරුණ පැමිණිලිකරුවන්ට හානියක් වන ආකාරය පිළිබඳ සම්පූර්ණ කතාව ලෝකය හමුවේ තැබීමට මෙම සුවිශේෂී අවස්ථාව උදාවීම ගැන මම සතුටට පත් වෙනවා” Gibson-Snyder පැවසීය.

විශ්‍රාමික මොන්ටානා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වන ජිම් නෙල්සන් පවසන්නේ මොන්ටානා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් පවත්වාගෙන යාමේ වගකීම “කිසිදාක” ඉටු කර නොමැති බවයි. වත්මන් පාලන සමයේදී පමණක්, ප්‍රාන්තයේ ව්‍යවස්ථාදායකය “පරිසරයට අහිතකර ලෙස බලපාන” පනත් දුසිම් දෙකක් පනවා ඇත.

“ව්‍යවස්ථාදායකය මූලික වශයෙන් මෙම ව්‍යවස්ථාමය විධිවිධානවලට පිටුපෑවා. ව්‍යවස්ථාදායකයට සහ රාජ්‍ය නිලධාරීන්ට ව්‍යවස්ථාවට අවශ්‍ය දේ සැබවින්ම කිරීමට බල කළ හැකි” බව නෙල්සන් පැවසීය.

මෙම නඩු විභාගය ජුනි 12 සිට 23 දක්වා පැවැත්වීමට නියමිතය. විනිසුරුවරයෙකු විසින් තීන්දුවක් නිකුත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

“දේශගුණික අර්බුදයේ හදිසි අවශ්‍යතාවය අනුව අධිකරණය ඉතා ඉක්මනින් තීරණයක් ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. නමුත් සලකා බැලීමට මෙන්ම පර්යේෂණ කිරීමටත් අධිකරණයට සම්පූර්ණ සාක්ෂි රාශියක් ඇති බව අපි සම්පූර්ණයෙන්ම තේරුම් ගෙන සිටිනවා. එබැවින් තීන්දුවක් දීමට සති කිහිපයක් හෝ මාස කිහිපයක් විය හැකියි” පැමිණිලි පාර්ශවයේ නීතිඥ පිලිප් ග්‍රෙගරි මහතා පැවසීය.

මොන්ටානා ප්‍රඥප්ති දෙකක් ව්‍යවස්ථා විරෝධී බව නඩුව විශේෂයෙන් චෝදනා කරයි. ඒ අතර එකක් වන්නේ රාජ්‍ය බලශක්ති ප්‍රතිපත්තියයි. එය රට පුරා බලශක්ති නිෂ්පාදනය සහ භාවිතය මෙහෙයවන සහ මොන්ටානා පාරිසරික ප්‍රතිපත්ති පනතේ කොටසක් වන අතර එය දේශගුණික විපර්යාස සඳහා බලශක්ති ආර්ථිකය දායක වන්නේ කෙසේදැයි සලකා බැලීමෙන් වළක්වයි.

මෙම වසර මුලදී, රාජ්‍ය නීති සම්පාදකයින් විසින් රාජ්‍ය බලශක්ති ප්‍රතිපත්තිය අවලංගු කරන ලද අතර, නඩුවේ නීතීඥයින් ප්‍රකාශ කළේ එම තීන්දුව  නඩු විභාගයක් වැළැක්විමට ගත් කූඨ වෑයමක් බවයි. නමුත්  පසුගිය මැයි මාසයේදී, නඩුව විභාග කිරීමට නියමිත පළමු අධිකරණ දිස්ත්‍රික් උසාවියේ විනිසුරු කැතී සීලි, නඩු විභාගය ඉදිරියට ගෙන යාමට ඉඩ සලසමින් නඩුව ඉවත දැමීමට රජය දැරූ උත්සාහය ප්‍රතික්ෂේප කළාය.

“නඩුව විභාගයට ගත හැකි බව පැවසීම සැබවින්ම ජයග්‍රහණයක්” යැයි පැවසූ ග්‍රෙගරි, විනිසුරුවරයාට නඩුව ඇසීමට ඇති අවස්ථාව පිළිබඳව තමාට “ඉතා උද්යෝගිමත්” සහ “ගෞරවයක්” දැනුණු බව පැවසීය.

පසුගිය සතියේ, ප්‍රාන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු විභාගය ප්‍රමාද කිරීමට රජයේ නීතිපතිවරයා විසින් දැරූ අවසාන උත්සාහය ද ප්‍රතික්ෂේප කරන ලදී.

“අපි නඩු විභාගයට යන කාරණයම සවිබල ගැන්වීමක්. මක්නිසාද යත් එයින් අදහස් වන්නේ උසාවිය ආණ්ඩුව වගකිව යුතු බවට පත් කිරීමට කැමැත්තෙන් සිටින බවයි,” Gibson-Snyder පැවසීය.

දේශගුණික විපර්යාසයට තුඩු දුන් පොසිල ඉන්ධන ගැති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මගින් ඔවුන්ගේ ව්‍යවස්ථාපිත ජීවිතය, නිදහස සහ දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් තරුණයින් 21 දෙනෙකු එක්සත් ජනපද රජයට එරෙහිව පවරන ලද ‘Juliana v United State‘ නඩු ඉතා ප්‍රසිද්ධියට පත් විය. පසුගිය සතියේ, එක්සත් ජනපද දිස්ත්‍රික් උසාවියක් තරුණ පැමිණිලිකරුවන්ට පක්ෂව තීන්දුවක් ලබා දුන් අතර, ඔවුන්ගේ හිමිකම් විවෘත අධිකරණයේ නඩු විභාගයකදී තීරණය කළ හැකිය.

ෆෙඩරල් සහ මොන්ටානා නඩු දෙකම ගොනු කරන ලද්දේ ලාභ නොලබන නීති සමාගමක් වන Our Children’s Trust විසිනි. එම සමාගම විසින් ගෙන එන ලද රාජ්‍ය ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් මත පදනම් වූ නඩු කටයුතු දැනට වෙනත් ප්‍රාන්ත හතරක විභාග වෙමින් පවතී. https://www.theguardian.com/us-news/2023/jun/12/montana-young-residents-first-ever-climate-change-trial