දේශගුණික විපර්යාස ලෝකය උණුසුම් කර ඇති බැවින් පියාසර කැළඹීම් / Flight turbulence වැඩි වී ඇති බව පර්යේෂකයෝ පවසති.

එක්සත් රාජධානියේ රීඩිං විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් ගුවන් නියමුවන්ට වළක්වා ගැනීමට අපහසු පැහැදිලි වාතයේ කැළඹීම් / clear-air turbulence  පිළිබඳව අධ්‍යයනය කළ අතර එහිදී සාමාන්‍යයෙන් කාර්ය බහුල උතුරු අත්ලාන්තික් මාර්ගයක 1979 සහ 2020 අතර දරුණු කැළඹීම් 55%කින් වැඩි වී ඇති බව ඔවුහූ සොයා ගත්හ.

පර්යේෂකයින් පෙන්වා දෙන්නේ කාබන් විමෝචනය හේතුවෙන් ඉහළ යන උණුසුම් වාතය මගින් ඉහළ උන්නතාංශවල සුළං වේගයේ සිදුකරන වෙනස්වීම් පියාසර කැළඹීම් වර්ධනය වීමට හේතු වී ඇතැයි උපකල්පනය කරන බවයි.

“දේශගුණික විපර්යාස අනාගතයේදී වායු කැළඹීම් වැඩි කරන බව පෙන්වන පැහැදිලි සාක්ෂි අපට තිබෙනවා. ඒවා දැනටමත් ආරම්භ වී ඇති බවයි අපගේ අදහස වන්නේ. ඉදිරි දශක කිහිපය තුළ රළු වාතය පියාසර කැළඹීම් බවට පරිවර්තනය වීම වැළැක්වීම සඳහා වැඩිදියුණු කළ කැළඹීම් පුරෝකථනය සහ හඳුනාගැනීමේ පද්ධති සඳහා අපි ආයෝජනය කළ යුතුයි” අධ්‍යයනයේ සම-කර්තෘ වායුගෝල විද්‍යාඥ, මහාචාර්ය පෝල් විලියම්ස් පැවසීය.

ඇමරිකා එක්සත් ජනපදයේ සහ උතුරු අත්ලාන්තික් සාගරයේ ගුවන් ගමන් මාර්ගවල පියාසර කැළඹීම්වල විශාල වැඩිවීමක් දක්නට ලැබුණි. යුරෝපය, මැද පෙරදිග සහ දකුණු අත්ලාන්තික් සාගරයේ ද කැළඹිලිවල සැලකිය යුතු වැඩි වීමක් දක්නට ලැබුණි.

මහාචාර්ය විලියම්ස් පැවසුවේ, පෘථිවි පෘෂ්ඨයේ සිට සැතපුම් පහක් හෝ හතක් පමණ ඉහළින් බටහිර සිට නැගෙනහිරට හමා යන ශක්තිමත් සුළං පද්ධතියක් හේතුවෙන් මෙම කැළඹීම් ඇති වන බවයි. එය බොහෝ දුරට පවතින්නේ සමකය හා ධ්‍රැව අතර උෂ්ණත්වයේ වෙනසක් නිසාය.

චන්ද්‍රිකාවලට කැළඹීම නොපෙනෙන අතර, ජෙට් ප්‍රවාහයේ ව්‍යුහය සහ හැඩය ඒවා විශ්ලේෂණය කිරීමට ඉඩ සලසයි. රේඩාර් වලට කුණාටු වලින් කැළඹීම් ලබා ගත හැකි නමුත් පැහැදිලි වාතයේ කැළඹීම් බොහෝ දුරට නොපෙනෙන අතර හඳුනා ගැනීමට අපහසුය.

කැළඹිලි සහිත ගුවන් ගමන් අපහසුතාවයට පමණක් නොව, ගුවන් යානයේ සිටින අයට තුවාල වීමටද හේතු විය හැකිය. දැඩි කැළඹීම් ඉතා දුර්ලභය. නමුත් මගීන් ආසන පටි පැළඳ නොසිටින විට පැහැදිලි-වායු කැළඹීම් වඩාත් හානිකර විය හැකිය.

“කිසිවෙකු කැළඹීමට බිය නිසා පියාසර කිරීම නැවැත්විය යුතු නැහැ. නමුත් ඔබ එහා මෙහා නොයන්නේ නම් මිස ඔබේ ආසන පටි සෑම විටම සවි කර තබා ගැනීම නුවණට හුරුයි. ගුවන් නියමුවන් කරන්නේ එයයි. එය නරකම කැලඹීමකදී පවා ඔබ ආරක්ෂිතව සිටින බවට සහතිකයක්” මහාචාර්ය විලියම්ස් පැවසීය

මෙහි මූල්‍යමය ප්‍රතිවිපාක ද ඇත. පර්යේෂකයන් පවසන පරිදි කැළඹීම්වල බලපෑම් හේතුවෙන් වාර්ෂිකව එක්සත් ජනපදයේ පමණක් ගුවන් සේවා කර්මාන්තයට ඩොලර් මිලියන 150ක් අහිමි වේ. ගුවන් නියමුවන් එය වළක්වා ගැනීමට ඉන්ධන දහනය කරන බැවින් එයට පාරිසරික පිරිවැයක් ද ඇත.

මෙම අධ්‍යයනය Geophysical Research Letters හි ප්‍රකාශයට පත් කර ඇත.

https://www.bbc.com/news/science-environment-65844901