ගෝලීය උණුසුම පාලනය කිරීමේ අවස්ථා වැඩි කිරීම සඳහා ආහාර තේරීම් වෙනස් කරන ලෙස පර්යේෂකයෝ ඉල්ලති

ගෝලීය ආහාර පද්ධතියෙන් හරිතාගාර වායු (Greenhouse gas – GHG) විමෝචනය අඩු නොකළහොත් දේශගුණික විපර්යාසවල බලපෑමට එරෙහිව පෘථිවිය ආරක්ෂා කිරීමේ ක්‍රියාමාර්ගය දුර්වල වනු ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

චීනය සහ ඉන්දියාව වැනි ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල හරක් මස් සහ කිරි පරිභෝජනය ඉහළ යාම හේතුවෙන් ආහාර සැපයුම් දාමයන් තුළ හරිතාගාර වායු විමෝචන වැඩි වීම වේගවත් වන අතර සත්ව මාංශ සහ කිරි පදනම් වූ ආහාරවල ඉහළ ප්‍රතිශතයක් සහිත සංවර්ධිත රටවල ඉහළ විමෝචනය අඩු වෙමින් තිබෙන බව ද පර්යේෂකයින් පෙන්වා දෙනවා.

2050 වන විට බිලියන 9.1ක් වන ලෝක ජනගහනයට ආහාර සැපයීම සඳහා දැනට පවතින ආහාර ඉල්ලුමෙන් 70%ක අමතර ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇතැයි එක්සත් ජාතීන් ප්‍රක්ෂේපණය කර තිබෙනවා.

Groningen සහ Birmingham විශ්වවිද්‍යාල ප්‍රමුඛ ජාත්‍යන්තර විද්‍යාඥයින් කණ්ඩායමක් වන Nature Food තම සොයාගැනීම් (ජුනි 15) ප්‍රකාශයට පත් කරමින් පවසන්නේ ගෝලීය ජනගහන වර්ධනය සහ විමෝචන අධික ආහාර සඳහා ඇති ඉල්ලුම වැඩි වීම හරිතාගාර වායු විමෝචනය තවදුරටත් ඉහළ නැංවීමට ඉඩ ඇති බවයි.

“රතු මස් අධික ලෙස ආහාරයට ගැනීම අඩු කිරීම සහ ශාක පදනම් වූ ප්‍රෝටීන් කොටස් වැඩි දියුණු කිරීම ඇතුළුව ආහාර වේලෙහි ගෝලීය වෙනසක් තුළින් හරිතාගාර වායු විමෝචනය අඩු කරනවා පමණක් නොව, තරබාරුකම සහ හෘද රෝග වැනි සෞඛ්‍ය අවදානම් වළක්වා ගත හැකියි” යනුවෙන් අධ්‍යයනයේ සම කතුවරයා වන මහාචාර්ය ක්ලවුස් හුබසෙක් ප්‍රකාශ කළේය.

අධ්‍යයනයේ කතුවරයෙකු වන බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ ආචාර්ය යුලි ෂාන් අදහස් දක්වමින් මෙසේ පවසා සිටියේය “කෘෂි ආහාර පද්ධතිය ගෝලීය ඉඩම් භාවිතය සහ කෘෂිකාර්මික කටයුතු මෙහෙයවන අතර එය ගෝලීය මානව හරිතාගාර වායු විමෝචනයෙන් තුනෙන් එකකට පමණ දායක වෙනවා. ජනගහන වර්ධනය, ආහාර නිෂ්පාදනය ප්‍රසාරණය සහ සත්ව පාදක ආහාරවල වැඩිවීම හරිතාගාර වායු විමෝචනය තවදුරටත් වැඩි කිරීමට සහ ගෝලීය කාබන් අයවැය මත පීඩනය වැඩි කිරීමට ඉඩ තිබෙනවා”

අධ්‍යයනයේ පළමු කතුවරයා වන ආචාර්ය යන්ෂියන් ලී මෙසේ පැවසුවේය, “ගෝලීය උණුසුම ඉහළ යාම සීමා කිරීමට නම් නිෂ්පාදනයේ සිට පරිභෝජනය දක්වා ආහාර සැපයුම් දාමයේ සෑම අදියරකදීම සිදුවන හරිතාගාර වායු විමෝචනය අවම කිරීම ඉතා වැදගත් වෙනවා. කෙසේ වෙතත්, පුළුල් හා කල් පවතින ආහාර මාරුවීම් ඉක්මනින් සාක්ෂාත් කර ගැනීම ඉතා අපහසු බැවින් දිරිගැන්වීම් වැදගත් වෙනවා. පාරිභෝගිකයින්ට රතු මස් අඩු කිරීම හෝ ඉහළ පාරිසරික ලාභාංශ සහිත නිෂ්පාදන මිලදී ගැනීම ආහාර විමෝචනය අඩු කිරීමට උපකාරී වෙනවා’’

පර්යේෂකයන් 2000 සහ 2019 අතර පාරිභෝගික විමෝචන (emissions to consumers) සම්බන්ධ දත්ත විශ්ලේෂණය කරන ලද අතර එහිදී පාරිභෝගික විමෝචනයට වැඩිම දායකත්වයක් දෙන රටවල් 05ක් හඳුනා ගෙන ඇත. ඒ අනුව 2019 දී චීනය (2.0 Gt CO 2 -eq), ඉන්දියාව (1.3 Gt), ඉන්දුනීසියාව (1.1 Gt), බ්‍රසීලය (1.0 Gt), සහ එක්සත් ජනපදය (1.0 Gt) ගෝලීය ආහාර සැපයුම් දාම විමෝචනයෙන් (global food supply chain emission) 40%කට වඩා වගකිව යුතු විය.

ආහාර හා සම්බන්ධ වාර්ෂික ගෝලීය හරිතාගාය වායු විමෝචනය වසර 20ක කාලය තුළ 14%කින් වැඩි විය. සත්ව පාදක නිෂ්පාදන පරිභෝජනයෙහි සැලකිය යුතු වැඩි වීමක් ගෝලීය විමෝචන ඉහළ යාමෙන් 95%කට පමණ දායක වූ අතර එය සමස්ත ආහාර විමෝචනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් වේ. ගෝලීය සත්ව පාදක විමෝචනය වැඩිවීමෙන් 32%ක් සහ 46%ක් හරක් මස් සහ කිරි නිෂ්පාදන දායක විය.

ධාන්‍ය සහ තෙල් බෝග පරිභෝජනය පිළිවෙළින් ගෝලීය ශාක පදනම් කරගත් විමෝචනයෙන් (global plant-based emissions) 43%ක් සහ 23%ක් සඳහා වගකිව යුතු අතර සහල් ගෝලීය ධාන්‍ය විමෝචනයෙන් (global grain-related emissions) අඩකට වඩා දායක වේ. ඉන්දුනීසියාව (20%), චීනය (18%), සහ ඉන්දියාව (10%) ඉහළම විමෝචකයින් තිදෙනා වේ. සෝයා බෝංචි සහ පාම් ඔයිල් පිළිවෙළින් 30% සහ 46% සමඟ තෙල් බෝග වලින් ගෝලීය විමෝචනයේ විශාලතම කොටස තුළ සිටී.

මෙම අධ්‍යයනයෙන් විමෝචන රටා සහ මෙම ප්‍රවණතා පිටුපස ඇති හේතු සම්බන්ධයෙන් සැලකිය යුතු වෙනස්කම් හෙළි කරයි. ඒවා පහත පරිදි වර්ග කළ හැකිය:

ඉහළ ඒක පුද්ගල ආහාර විමෝචන (food emission) මට්ටම් සහ ප්‍රමුඛ පශු සම්පත් විමෝචනය (livestock emissions) (ප්‍රධාන වශයෙන් රතු මස් වලින්) ඇති රටවල් වන්නේ, උතුරු ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ලතින් ඇමරිකාව සහ කැරිබියන් රටවල්ය.

ආනයනය මත දැඩි ලෙස රඳා පවතින සංවර්ධිත රටවල් ආහාර ආශ්‍රිත විමෝචනය සැලකිය යුතු ප්‍රමාණයක් පිටස්තරකරණය කරයි (ජපානය සහ යුරෝපය)

ශීඝ්‍ර ජනගහන වර්ධනය හෝ වැඩිදියුණු කළ ජීවන තත්වයන් (චීනය, දකුණු ආසියාව, ආසන්න නැගෙනහිර සහ උතුරු අප්‍රිකාව) මගින් මෙහෙයවනු ලබන සංවර්ධනය වෙමින් පවතින රටවල්  සැලකිය යුතු විමෝචන වැඩි වීමක් කරයි.

ප්‍රධාන වශයෙන් පුළුල් ඉඩම් පරිහරණ වෙනස් කිරීමේ ක්‍රියාකාරකම් සහිත (බ්‍රසීලය, ඉන්දුනීසියාව, සහ දකුණු සහ මධ්‍යම අප්‍රිකානු ප්‍රදේශ) රටවල්.

වෙළෙඳ ප්‍රතිපත්ති විමෝචන තීව්‍ර නිෂ්පාදනයක් (emission-intensive production) සහිත රටවල්වලින් ආහාර ආනයනය වැඩි කිරීම හරහා විමෝචනය වේගවත් කරන බව පර්යේෂකයෝ සටහන් කරති. උදාහරණයක් ලෙස, යුරෝපා සංගමයේ හරිත ගනුදෙනුව (EU’s Green Deal) යුරෝපයේ අඩු තීව්‍ර කෘෂිකර්මාන්තය (less intensive agriculture) දිරිමත් කරන අතර බ්‍රසීලය, එක්සත් ජනපදය, ඉන්දුනීසියාව සහ මැලේසියාව වැනි රටවලින් කෘෂිකාර්මික නිෂ්පාදන ආනයනය වැඩි කරයි.

https://phys.org/news/2023-06-food-choices-chances-tackling-global.html