ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම කඳුකරයට ඉහළින් ඇති සමහර ප්‍රධාන හිම පතනයන් අධික වර්ෂාවක් බවට පරිවර්තනය කළ හැකි බවත් පසුගිය වසරේ පාකිස්තානය විනාශ කළ ආකාරයේ භයානක ගංවතුර මෙන්ම දිගුකාලීන ජල හිඟය ද මේ සමග නරක අතට හැරෙමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

පරිගණක අනුකරණයන් භාවිතා කරමින් විද්‍යාඥයන් ගණනය කළේ ලොව උණුසුම් වන සෑම සෙල්සියස් අංශකයක් සඳහාම, ඉහළ උන්නතාංශයක අධික වර්ෂාපතනය 15%කින් ඉහළ යනු ඇති බවයි.

හිම වලට වඩා කඳුකරයේ අධික වර්ෂාව බොහෝ ගැටලු ඇති කරන බව විද්‍යාඥයෝ පවසති. වසන්ත හා ගිම්හානයේදී ජලාශ නැවත පෝෂණය කළ හැකි හිම පතනයක් මෙන් වර්ෂාව පහසුවෙන් ගබඩා කළ හැකි නොවේ.

“එය අනාගතයේ සිදුවනු ඇතැයි පුරෝකථනය කරන ලද දුරස්ථ ගැටලුවක් නොවෙයි. ඇත්ත වශයෙන්ම දත්ත අපට පවසන්නේ එය දැනටමත් සිදුවෙමින් පවතින බවයි”  අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයා වන දේශගුණ විද්‍යාඥ මොහොමඩ් ඔම්බඩි පැවසීය.

‘’දේශගුණික විපර්යාසවල නරකම බලපෑම් වැළැක්වීම සඳහා ජාත්‍යන්තරව එකඟ වූ සෙල්සියස් අංශක 1.5 සීමාවේ අද්දරට ලෝකය උණුසුම් වී ඇති හෙයින් ඉහළ යන සෑම සෙල්සියස් අංශකයක්ම අතිෂයින් වැදගත් බව අපගේ අදහසයි. ඊට හේතුව වන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යන සෑම සෙල්සියස් අංශකයකින්ම කඳුකරයට ලැබෙන සාමාන්‍ය වර්ෂාපතනයේ අමතර 15% වැඩිවීමක් සිදුවන නිසයි’’ ඔම්බඩි පැවසීය.

අධ්‍යයනය මගින් උතුරු අර්ධගෝලයේ දශක හයක් පුරා සෑම වසරකම අධිකම වර්ෂාපතනය ගැන පමණක් සොයා බලන ලදී. උන්නතාංශය වැඩි වන විට වර්ෂාවේ තීව්‍රරතාවය ද ඉහළ යන බව ද මෙහිදී සොයා ගන්නා ලදී. වර්ෂාපතනයේ විශාලතම වැඩිවීම මීටර් 3,000 පමණ වන විට නිරීක්ෂණය විය. එයට ඇමරිකානු බටහිර බොහෝ ප්‍රදේශ ඇතුළත් වේ. Appalachian කඳුකරයේ කොටස් ද ඇතුළත් ය. ආසියාවේ හිමාලය, ටියැන් ෂාන් සහ හින්දු කුෂ් කඳු සහ ඇල්ප්ස් කඳුවැටිය ද බලපෑමට ලක්ව ඇත.

ගෝලීය වශයෙන් සෑම හතර දෙනෙකුගෙන් එක් අයෙකු පමණ ජීවත් වන්නේ කඳුකරයට ප්‍රමාණවත් තරම් ආසන්න ප්‍රදේශයක බැවින් අධික වර්ෂාව සහ ගංවතුර ඔවුන්ට වඩාත් තර්ජනාත්මක විය හැකි බව ඔම්බඩි පැවසීය.

එයින් අදහස් කරන්නේ පකිස්තානයේ මිනිසුන් 1,700 කට වැඩි පිරිසක් මිය ගිය සහ රටෙන් තුනෙන් එකක් ජලයෙන් යට වූ ආකාරයේ කඳුකර ගංවතුර තර්ජනයක් බව ඔම්බඩි පැවසීය. නමුත් 2022 පකිස්ථානයේ සිදු වූ විනාශකාරී ගංවතුර පිළිබඳව නිශ්චිතව අධ්‍යයනය කර නොමැති බැවින් කුඩා වෙනස්කම් තිබිය හැකි බව ඔහු සඳහන් කළේය.

මෙම අධ්‍යයනය අර්ථවත් වන අතර “ඇඟවීම් බරපතළ”බව පර්යේෂණයට සහභාගී නොවූ දේශගුණික විද්‍යාඥ පාර්ක් විලියම්ස් පැවසීය. විද්‍යාඥයින් උණුසුම් උෂ්ණත්වයත් සමඟ වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන නමුත් අධික හිම වල ගංවතුර බලපෑම අඩු වන්නේ එය දිය වීමට කාලය ගත වන නිසාත් සිදුවන්නේ කුමක්ද යන්න බැලීමට හිම තට්ටුව නිරීක්ෂණය කිරීම පහසු නිසා බවත් ඔහු පැවසීය.

“නමුත් හිම වැටෙන විට කඳුකර වර්ෂාපතනයේ අනුපාතය අඩු වන විට, ගංවතුර උවදුරු විශේෂයෙන් වේගයෙන් වැඩි විය හැකියි” විලියම්ස් පැවසීය.

ඇමරිකාවේ බටහිර ප්‍රාන්තවලට එය ආකාර දෙකකින් දැඩි ලෙස පහර දෙන බව පර්යේෂණ සම-කර්තෘ චාරුලේකා වර්ධරාජන් පැවසුවාය.

“මේ වගේ අධික වර්ෂාපතනයක් හේතුවෙන් ගංවතුර තවත් නරක අතට හැරෙනවා. එතකොට ඔයා හොයාගන්න ඕන ඒ වතුර කොහෙද යන්නේ කියලා?” ඇය පැවසුවාය.

ගංවතුර හේතුවෙන් ආහාර නිෂ්පාදනයට ද හානි විය හැකි බව ඔම්බඩි පැවසීය. ඔහු කැලිෆෝනියාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට මේ වසරේ ධාරානිපාත වර්ෂාවෙන් ඩොලර් මිලියන 89ක බෝග සහ පශු සම්පත් හානියක් ඇස්තමේන්තු කර ඇත.

නමුත් දිගු කාලීනව තවත් ගැටලුවක් වන්නේ ජල සැපයුමයි. ඇමරිකානු බටහිරට ශීත ඍතුවේ දී අධික හිම පතනයක් ලැබෙන විට, එම හිම වසන්ත හා ගිම්හානයේදී සෙමින් දිය වී, පසුව අවශ්‍ය වූ විට එය ප්‍රයෝජනවත් විය හැකි ජලාශ පිරවීම සිදුකරයි.