“ඉතා අසාමාන්‍ය”, “කනස්සල්ල”, “භයානක”  යන මෙම වචන ත්‍රිත්වය පසුගිය මාස තුන පුරාවට උතුරු අත්ලාන්තික් සාගරයේ මතුපිට උෂ්ණත්වයේ තියුණු ලෙස ඉහළ යාම පිළිබඳව ප්‍රවීණ විද්‍යාඥයින්ගේ ප්‍රතිචාරයන්ය.

මිනිසා විසින් නිර්මාණය කරන ලද ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ තීරණාත්මක ලක්ෂ්‍යය වන සෙල්සියස් අංශක 1.5ක මට්ටමට ඉහළින් එල් නිනෝ සිදුවීමක් ආරම්භ වීමත් සමග ලෝකයේ දේශගුණය වඩාත් විචල්‍ය සහ භයානක අවධියකට අවතීර්ණ වී තිබේද යන ප්‍රශ්නය මතු කරයි.

පසුගිය අප්‍රේල් මාසයේ සිට ගෝලීය උණුසුම් වීම නව ගමන් පථයකට ඇතුල් වී ඇති බව පෙනේ. මේ අතර ගෝලීය මුහුදු අයිස් ප්‍රදේශය පෙර පැවති අඩු මට්ටමට වඩා වර්ග කිලෝමීටර් මිලියනයකට වඩා පහත වැටී ඇත.

“දශක කිහිපයකට පෙර සමහර අය දේශගුණික විපර්යාස සාපේක්ෂව මන්දගාමී සංසිද්ධියක් යැයි සිතුවා නම් අපි දැන් අපගේ දේශගුණික විපර්යාස භයානක වේගයකින් දකිනවා. මේ වසරේ ඉතිරි කාලය පුරාවට එල් නිනෝ ගොඩනැගෙද්දී, මිනිසා විසින් ප්‍රේරණය කරන ලද ගෝලීය උණුසුමෙහි හානිකර බලපෑම්වලට අමතර ප්‍රබෝධයක් එක් කරමින්, පෘථිවිය පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනතාවක් සහ විවිධ පරිසර පද්ධති බොහෝ අසාමාන්‍ය අභියෝගවලට මුහුණ දෙන අතර අවාසනාවන්ත ලෙස විශාල හානියක් සිදුවිය හැකියි” යැයි එක්සත් රාජධානියේ කාලගුණ කාර්යාලයේ මහාචාර්ය පීටර් ස්ටොට් පැවසීය.

සාමාන්‍ය පෙරදිග සුළං දුර්වල වී උණුසුම් ජලය මුළු පැසිෆික් සාගරය පුරා පැතිරෙන විට එල් නිනෝ දේශගුණික රටාව මතු වේ. මෙහි ක්ෂණික බලපෑම සිදුවන්නේ සමහර ප්‍රදේශවල අංශක කිහිපයකින් උණුසුම් වූ ජලයට හුරුවී නැති සමුද්‍ර ජීවීන්ට ය. කනස්සල්ලට තවත් කරුණ නම්, ලෝකයේ විශාලතම තාප අවශෝෂකය වන සාගරයේ ඇති අමතර ශක්තිය සාමාන්‍යයට වඩා දරුණු කුණාටු, වඩාත් විනාශකාරී වර්ෂාව සහ දිගු, උණුසුම් තාප තරංග ගෙන ඒමට ඉඩ ඇත.

උතුරු අත්ලාන්තික් සාගරයේ ආන්තික කාලගුණික සිදුවීම් පසුගිය අප්‍රේල් මාසයේදී ආරම්භය සනිටුහන් කළ විට මෙය තාවකාලික කඩාවැටීමක් යැයි බලාපොරොත්තුව විය. කෙසේ වෙතත් පසුගිය මැයි මාසයේ දී 1850 සිට උෂ්ණත්ව වාර්තා තැබීම ආරම්භ වූ දා සිට කලාපයේ සාමාන්‍ය උෂ්ණත්වයේ ඉහළම අගය වාර්තා විය. මෙම විෂමතාවය සමහර විචාරකයන්ට අනපේක්ෂිත දෙයක් විය.

කාලගුණ විද්‍යාඥයින් පසුව පැහැදිලි කළේ එය මෝටර් රථ, කර්මාන්තශාලා සහ වනාන්තර විනාශය හේතුවෙන් සිදුවන හරිතාගාර වායු විමෝචනය මගින් එල් නිනෝ සහ අනෙකුත් ස්වාභාවික සාධක විස්තාරණය කිරීමේ ප්‍රතිඵලයක් විය හැකි බවයි.

පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මයිකල් මෑන්, සාපේක්ෂව කෙටි කාලයක් තුළ එක් කලාපයකින් එක් දත්ත කට්ටලයක් “තෝරා ගැනීමට” එරෙහිව අනතුරු ඇඟවීය. විශාල පින්තූරය කෙරෙහි අවධානය යොමු කිරීම වඩා වැදගත් බව ඔහු පැවසීය. ෆොසිල ඉන්ධන දහනය වඩාත් බලවත් හා විනාශකාරී සුළි කුණාටු වලට තුඩු දෙන අතර නියඟය, තාප තරංග, ලැව්ගිනි සහ ගංවතුර වැනි ආන්තික කාලගුණික සිදුවීම් සඳහා වායුගෝලයේ ශක්තිය සැපයීමට ඒවා දායක වේ.

“අපි පසුපසට ගොස් විශාල පින්තූරය දෙස බැලිය යුතුයි. එමෙන්ම එය තැතිගන්වන සුළුයි. සත්‍යය, “ප්‍රමාණවත් තරම් නරකයි” යනුවෙන් මහාචාර්ය මෑන් පැවසීය.

Texas Tech විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විද්‍යාඥ සහ Texas Tech විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Katharine Hayhoe පැවසුවේ, උතුරු අත්ලාන්තික් උෂ්ණත්ව විෂමතාවය දිගු කාලීනව දේශගුණ පද්ධතියට මිනිස් තාප උගුල් වලින් නිකුත් කරන අමතර තාපය පැටවීමේ ප්‍රතිඵලයක් බවයි.

“එයින් 90%කට ආසන්න ප්‍රමාණයක් සාගරයට යමින් තිබෙනවා. දේශගුණ විද්‍යාඥයින් වඩාත් කනස්සල්ලට පත්වන්නේ වසර ගණනාවකට වඩා දශක ගණනාවක් පුරා සාගර තාප ප්‍රමාණය ක්‍රමානුකූලව නමුත් නොවැළැක්විය හැකි ලෙස වැඩිවීම ගැනයි” ඇය පැවසුවාය.

අයර්ලන්තය සහ එක්සත් රාජධානිය අවට, වෙරළබඩ ජලය වසරේ කාලය සඳහා සාමාන්‍යයට වඩා අංශක කිහිපයක් උණුසුම් වී ඇත. සාමාන්‍ය කාලයට වඩා කලින් අත්ලාන්තික් සාගරයේ දැන් කුණාටු ඇතිවෙමින් පවතින අතර එය සාගර මතුපිට ස්ථරයේ ගොඩනැගෙන අමතර ශක්තියේ ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය. ජූනි මාසයේදී පළමු වරට අත්ලාන්තික් සාගරයේ බ්‍රෙට් සහ සින්ඩි යන ප්‍රදේශවල එකවර නිවර්තන කුණාටු දෙකක් ඇති විය.

Hadley මධ්‍යස්ථානයේ දේශගුණ බලපෑම් අංශයේ ප්‍රධානී Richard Betts මෙසේ පැවසීය: “මෙවැනි සිදුවීම් බොහෝ විට සිදුවනු ඇතැයි අපට අපේක්ෂා කළ හැකියි. ඇත්ත වශයෙන්ම ඒවා සැලකිලිමත් වීමට ප්‍රධාන හේතුවක් ලෙස සැලකිය හැකියි. මෙම ප්‍රස්ථාර [අත්ලාන්තික් සාගරය මතුපිට උෂ්ණත්වය සහ ඇන්ටාක්ටික් මුහුදු අයිස්] අප දැන් සිටින දේශගුණික තත්වයේ හදිසි බව සිහි කැදවන එලාම් ඔර්ලෝසුවක් වගෙයි’’

Betts පැවසුවේ විමෝචනය අඩු නොකළහොත් ඉදිරි දශක කිහිපය තුළ ගෝලීය උණුසුම් වීම වේගවත් වනු ඇති බවයි. “එය අප බලාපොරොත්තු වූවාට වඩා නරක බව කීමට මම මැලි වන්නේ නැහැ. මන්ද අප විමෝචනය අඩු නොකරන ලෝකයක අප බලාපොරොත්තු වන දේ ප්‍රමාණවත් තරම් නරක යි”

මෙම එල් නිනෝවේ තීව්‍රතාවය සහ කාලසීමාව මත දේවල් කෙතරම් නරකද යන්න තීරණය වේ. බ්‍රසීලයේ ප්‍රමුඛතම දේශගුණ විද්‍යාඥයෙකු වන Carlos Nobre පැවසුවේ මෙම වසරේ El Niño ප්‍රබල එකක් වීමට 60%ක සම්භාවිතාවක් පවතින බවයි. 2015-16 කාලය තුළ එල් නිනෝ සිදුවීමක් වියළි සමය දිගු වීමට හේතු වූ අතර වෘක්ෂලතාදිය ගින්නට ගොදුරු වීමේ අවදානමට ලක් වූ විට, ඇමසන් වැසි වනාන්තරයට මෙය “ඉතා කනස්සල්ලට කරුණක්” වනු ඇත.

ලෝකයේ වෙනත් තැන්වල, නවතම එල් නිනෝ දැනටමත් දුක්ඛිත තත්ත්වයන් ඇති කරයි. මෙක්සිකෝවේ, Chihuahua, Nuevo Laredo සහ Monclova ඇතුළු නගර කිහිපයක් මෑතදී ඔවුන්ගේ උණුසුම්ම දින වාර්තා බිඳ දමා ඇත. ටෙක්සාස් හි බොහෝ නගර ඔවුන්ගේ දරුණුතම තාප තරංගවලින් පීඩා විඳියි. චීනයේ Shandong, Tianjin සහ Huairou ඇතුළු නගර 20කට වැඩි ප්‍රමාණයක් නව උෂ්ණත්ව වාර්තා තබා ඇත. යුරෝපයේ, ඔස්ට්‍රියානු නගරයක් වන Oberndorf, මහාද්වීපයේ මෙතෙක් වාර්තා වූ ඉහළම රාත්‍රී උෂ්ණත්වයන්ගෙන් එකක් වන, 36.1C තරම් උෂ්ණාධික මධ්‍යම රාත්‍රියකට මුහුණ දුන්නේය. මැද පෙරදිග, මිනිසුන් උණුසුම් කිරීමට පුරුදු වී සිටින නමුත් ඔවුන් සාමාන්‍යයෙන් ඉහළ උන්නතාංශවල යම් විවේකයක් අපේක්ෂා කළ හැකිය. නමුත් එය එසේම නොවීය. පසුගිය සතියේ ඉරානයේ සරවන් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 දක්වා (මීටර් 1,000කට වැඩි උන්නතාංශයක පිහිටා ඇත) ඉහළ ගිය අතර සරවන් මෙතෙක් වාර්තා වූ උණුසුම්ම දිනවලින් එකකට මුහුණ දුන්නේය.

බොහෝ දේවල් තවමත් අවිනිශ්චිතය. එල් නිනෝව කෙතරම් දරුණු වේද යන්න විද්‍යාඥයන් මාස දෙකකට පසුව පවා නිවැරදිව නොදනී. එහි සුළං ආචරණය කුණාටු ඇතිවීම වළක්වන අතර මුහුදු මට්ටමේ උෂ්ණත්වයේ පීඩනය සමතුලිත කිරීමට උපකාරී වේ. උතුරු අත්ලාන්තික් උෂ්ණත්වය දැනටමත් මැකී යා හැකි බවට ලකුණු පෙන්නුම් කරයි.

නමුත් හරිතාගාර වායු විමෝචනය අඛණ්ඩව ඉහළ යන තාක් සහ ඇමේසන් වැනි ස්වභාවික දේශගුණික ස්ථායීකාරක කපා හැරීම දිගටම කරගෙන යන තාක් කල් දේවල් නරක අතට හැරෙනු ඇති බවට විද්‍යාඥයින් අතර සැකයක් නැත.

“එය මට දුකක් සහ කනස්සල්ලක් ඇති කරයි. ඇමේසන් වැසි වනාන්තරය අඛණ්ඩව විනාශ කිරීම ඇතුළුව ලොව පුරා සිදුවන පරිසර විනාශයේ මට්ටම ගැන මට කණගාටුයි. දැනටමත් ඉතා උණුසුම් හා වියළි දුර බැහැර ප්‍රදේශවල පමණක් නොව, ලැව්ගිනි, හදිසි ගංවතුර සහ නියඟ වැඩි වැඩියෙන් සිදුවන එක්සත් රාජධානියේ මෙය තවත් බොහෝ කාලයක් පැවතුනහොත් මිනිසුන් එයට මුහුණ දෙන්නේ කෙසේදැයි දැඩි කනස්සල්ලට පත්ව සිටිනවා. එය බලාපොරොත්තු වීමට ආරක්ෂිත සහ තිරසාර අනාගතයක් නොවෙයි. හරිතාගාර වායු විමෝචනය ශීඝ්‍රයෙන් අඩු වීමට පටන් ගන්නා සන්ධිස්ථානයකට ළඟා විය හැකි යැයි මම තවමත් බලාපොරොත්තු තබා සිටිනවා. අපගේ ජීවන තත්ත්වය විනාශ නොකර මෙය කළ හැකි බව මම දන්නවා. එහෙත් යථාර්ථය ඊට හාත්පසින්ම වෙනස් බව ද අපි පිළිගත යුතුව තිබෙනවා’’ ස්ටෝට් පැවසීය

https://www.theguardian.com/environment/2023/jul/03/a-perfect-storm-scientists-ponder-if-climate-has-entered-a-new-erratic-era