ගවේෂණය නොකළ සන්ධ්‍යා කලාපයේ සුන්බුන් ප්‍රමාණය දේශගුණික අර්බුදයෙන් දැනටමත් බැටකන කොරල් පරවලට ‘නැගී එන තර්ජනයක්’ බව විද්‍යාඥයෝ පවසති

ලෝකයේ කිසිදු ස්ථානයක් ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් තොර නොවන අතර කොරල්පර ද ඊට වෙනස් නොවේ. නමුත් විද්‍යාඥයින් විසින් දැන් සොයා ගෙන ඇත්තේ කොරල්පරය ගැඹුරු වන තරමට එහි ඇති ප්ලාස්ටික් සුන්බුන් ප්‍රමාණය ද වැඩි බවයි.

Nature සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයන වාර්තාවක් ප්‍රකාශ කරන්නේ සෑම කොරල්පරයක්ම ප්ලාස්ටික් වලින් පමණක් නොව “භූත ආම්පන්න / Ghost gear” (කඹ, දැල් ආදි ධීවර උපකරණ) වලින් ද දූෂණය වෙමින් පවතින බවයි. ආහාර දවටන සහ ප්ලාස්ටික් බෝතල් ද ඒ අතර සුලභ විය.

දේශගුණික අර්බුදය සහ අධික ලෙස මසුන් ඇල්ලීම හේතුවෙන් දැනටමත් විනාශ මුඛයට ගමන් කරමින් සිටින කොරල්පරවලට ප්ලාස්ටික් “නැගී එන තර්ජනයක්” බව පර්යේෂකයෝ පවසති.

ලෝක කොරල්පර මත ප්ලාස්ටික් දූෂණය (Plastic Pollution on the World’s Coral Reefs) යන අධ්‍යයනය වෙනුවෙන් ඉන්දියානු, පැසිෆික් සහ අත්ලාන්තික් සාගරයේ මීටර් 150ක් ගැඹුරින් පිහිටි කොරල් පර 85ක් පරීක්ෂාවට ලක් කර ඇත.

විද්‍යාඥයන් විසින් මීටර් 30-150 අතර ප්‍රදේශයේ “මෙසොෆොටික් /Mesophotic” නොහොත් සන්ධ්‍යා කලාපවල පිහිටි කොරල්පර සමීක්ෂණය කිරීමට විශේෂ කිමිදුම් උපකරණ භාවිතා කළ අතර ගැඹුරු ස්ථානවල නොගැඹුරු ස්ථානවලට වඩා ප්ලාස්ටික් ඇති බව සොයා ගන්නා ලදී.

කැලිෆෝනියා විද්‍යා ඇකඩමියේ Hope for Reefs හි සම අධ්‍යක්ෂ ලුයිස් රොචා තම සොයා ගැනීම් සම්බන්ධයෙන් මෙසේ පැවසුවේය, “සාමාන්‍යයෙන් ගැඹුරු කොරල්පර ප්ලාස්ටික් දූෂණයට හේතු වන ප්‍රභවයන්ගෙන් බොහෝ දුරස් වන බැවින් ගැඹුරු කොරල්පර වල ප්ලාස්ටික් සුන්බුන් වැඩි වීම පුදුමයට කරුණක්. මෙම ගැඹුරු කොරල්පර නිරීක්ෂණය කළ මුල්ම කණ්ඩායම අපේ පර්යේෂණ කණ්ඩායමයි. නමුත් අපි කරන සෑම කිමිදීමකම මිනිසුන් විසින් නිපදවන ලද කුණු කසළ අපි දකිනවා”

ජනාකීර්ණ නගර සහ වෙළඳපොළවල් වලට ආසන්න කොරල්පරවල මෙන්ම ධීවරයින් බහුලව ගැවසෙන සමුද්‍ර ආරක්ෂිත ප්‍රදේශ වල ප්ලාස්ටික් දූෂණය වැඩි බව නිරීක්ෂණය වී ඇත.

පර්යේෂකයන් සඳහන් කළේ ප්ලාස්ටික් මගින් කොරල් රෝග පැතිර යා හැකි බවත්, ධීවර මාර්ග සහ දැල් මගින් කොරල්පරවල ව්‍යුහයට හානි කළ හැකි බවත්ය. එමඟින් මත්ස්‍ය බහුලත්වයට හා විවිධත්වයට හානි වන බව ද ඔවුහු පෙන්වා දුන්හ.

“ප්ලාස්ටික් දූෂණය සමඟ කටයුතු කිරීමේදී අප මුහුණ දෙන සංකීර්ණ සාමූහික අභියෝග කිහිපයක් අපගේ සොයා ගැනීම් වලින් හෙළි වෙනවා. ලෝකය පුරා සමුද්‍ර සම්පත් ක්‍රමක්‍රමයෙන් විනාශ වෙමින් යන අවස්‌ථාවල එම සම්පත් මත යැපෙන මිනිසුන් සාගරයේ ගැඹුරු ස්ථාන වෙත හැරෙමින් සිටිනවා. ඒ තත්ත්වයට ප්‍රතිචාරීව මත්ස්‍යයන් බහුලව පවතින සමුද්‍ර ආරක්‍ෂිත ප්‍රදේශවලට සමීප වෙනවා” අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයා වන හඩ්සන් පින්හෙයිරෝ පැවසීය.

අප්‍රිකාවේ ගිනිකොනදිග වෙරළට ඔබ්බෙන් වූ දූපත් සමූහයක් වන කොමරෝස් දූපත දැඩිම හානියට ලක් වූ ස්ථානය වූ අතර සෑම වර්ග කිලෝමීටරයකටම ප්ලාස්ටික් කොටස් 84,500කට ආසන්න ප්‍රමාණයක් එහිදී නිරීක්ෂණය විය.

වර්ග කිලෝමීටරයකට ප්ලාස්ටික් කැබලි 580ක් පමණ ඇති මාෂල් දූපත් අවම වශයෙන් දූෂිත ස්ථානය විය.

වැඩි ගැඹුරකදී වැඩිපුර ප්ලාස්ටික් සොයා ගැනීමට එක් විභව හේතුවක් විය හැක්කේ තරංග ක්‍රියාකාරිත්වය වැඩි වීම සහ මතුපිට කැළඹීම වන අතර එමඟින් සුන්බුන් සාගරයේ ගැඹුරට ඇදගෙන යා හැකිය. අනෙකුත් විභවයන් අතරට නොගැඹුරු කොරල්පර අසලට කිමිදෙන විනෝදාත්මක කිමිදුම්කරුවන් සහ සුන්බුන් මත වැඩෙන ඉහළ වර්ධන වේගයක් ඇති නොගැඹුරු කොරල්පර ද ඇතුළත් වේ.

පර්යේෂකයින් ඔවුන්ගේ සොයාගැනීම් මගින් පහත සඳහන් කරුණු අවධාරණය කළේය.

  • මෙසොෆොටික් කොරල්පර ඇතුළත් කිරීම සඳහා සමුද්‍ර ආරක්ෂිත ප්‍රදේශවල ගැඹුර පුළුල් කිරීම
  • ප්ලාස්ටික් දූෂණයට එරෙහිව සටන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම් යාවත්කාලීන කිරීම. (ප්ලාස්ටික් දූෂණය පිළිබඳ මෑත කාලීන අන්තර් රාජ්‍ය සාකච්ඡා කමිටුවේදී සාකච්ඡා කළ ඒවා වැනි)
  • අඩු වියදම්, අඩු බලපෑම් සහිත ජෛව හායනයට ලක්විය හැකි විකල්ප ධීවර ආම්පන්න සංවර්ධනය කිරීම.

https://www.theguardian.com/environment/2023/jul/12/plastic-pollution-on-coral-reefs-gets-worse-the-deeper-you-go-study-finds