හවායිහි මෞයී දූපත මහත් විනාශයකට නතු කිරීමට තුඩු දුන් වේගයෙන් පැතිර යන ලැව්ගිනි හමුවේ මිනිසුන් විශාල පිරිසක් මියගොස් ඇති අතර තවත් දහස් ගණනකට තම නිවාසවලින් ඉවත් වන ලෙස දන්වා තිබේ.

දරුණුතම බලපෑමට ලක්වූ ප්‍රදේශය වන්නේ, සංචාරකයින් අතර ජනප්‍රිය, වෙරළ අද්දර පිහිටා ඇති නගරයක් වන ලහයිනා නගරය වන අතර එහි මිනිසුන් දිවි ගෙවන ප්‍රදේශ මෙන් ම හෝටල් සම්පූර්ණයෙන් ම පාහේ විනාශ වී ගොස් ඇත.

හවායිහි ලැව්ගිනි

දූපත පුරා ලැව්ගිනි තවමත් පැතිර යන අතර ගිනි නිවන භටයෝ ඒවා මැඩ පැවැත්වීම සඳහා සටනක නිරතව සිටිති. හෙලිකොප්ටර් මගින් ඉහළ සිට ජලය දැමීම ද සිදු කරයි. ලොව ප්‍රසිද්ධ වෙරළ තීරයන් සහිත හවායිහි දෙවන විශාලතම දූපතේ බටහිර පෙදෙස සමග පැවති සන්නිවේදන සබඳතා සම්පූර්ණයෙන් ම පාහේ බිඳ වැටී තිබේ.

ඩෝරා සුළි කුණාටුව අඟහරුවාදා හවායි සිට සැතපුම් 700 (කිලෝමීටර් 1,100) පමණ දකුණින් දෙසින් හමා ගියේ ය.

හවායිහි ලැව්ගිනි

කෙසේ වෙතත්, ඩෝරා සුළි කුණාටුව තවදුරටත් බටහිර දෙසට ගමන් කිරීමත් සමග සුළඟේ වේගයේ තරමක අඩුවීමක් දක්නට ලැබේ.

පැවති දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගුවන් යානයකට මුල් අවස්ථාවේදී නගරයට ඉහළින් පියාසර කිරීමට නොහැකි වූ අතර එම තත්ත්වය සමනය වීමත් සමග සිදු වූ විනාශය හෙළි වීම ඇරඹිණි. ගින්නෙන් පැරණි උසාවි සංකීර්ණය ඇතුළු වරාය ඉදිරිපිට ඇති ගොඩනැගිලි බොහොමයක් විනාශ වී ඇත.

“ඒක හරි ම තැතිගන්වනසුලු යි. මම අවුරුදු 52 මෙහේ පියාසර කරලා තියෙනවා. ඒත් මේ වගේ කිසි ම දෙයක් මම දැකලා නෑ,” හෙලිකොප්ටර් නියමු රිචඩ් ඕල්ස්ටන් ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත පැවසුවේ ය. “අපේ ඇස්වලට කඳුළු ආවා.”

ගින්නෙන් සහ දුමාරයෙන් දිවි ගලවා ගැනීම සඳහා නගරයේ වරායට ඇතුළු වූ පුද්ගලයින් 14 දෙනෙකු මුදා ගෙන ඇති අතර තවත් විශාල පිරිසක් දුම් ආඝ්‍රහණය වීම ඇතුළු ගින්නෙන් සිදුවූ තුවාල හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර ලබති.

අනතුරට ලක් වී හෝ අතුරුදන් වී ඇති පුද්ගලයින් සෙවීම සඳහා පුළුල් සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක ය.

හවායි ලැව්ගිනි විනාශය

ලහයිනා යනු, මෞයීහි බටහිර කෙලවරට වන්නට පිහිටි ඓතිහාසික නගරයකි. එහි මධ්‍ය ප්‍රදේශයේ ඉතිහාසය 1700 ගණන් දක්වා දිවෙන අතර එය ගැන ඓතිහාසික ස්ථාන පිළිබඳ එක්සත් ජනපද ජාතික ලේඛනයේ ද අන්තර්ගතව ඇත.

12,000ක් පමණ ජනතාවක් වාසය කරන ඉහළ සංචාරක ආකර්ෂණය දිනා ඇති මෙහි අවම වශයෙන් ගොඩනැගිලි 270ක් විනාශ වී තිබේ.

The picturesque town of Lahaina

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

හවායිහි උපත ලද හිටපු එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා ලැව්ගින්නෙන් සිදු වූ විනාශනය පිළිබඳව ශෝකය ප්‍රකාශ කළ අය අතර වේ. ඔහු එක්ස් සමාජ ජාලයේ (මීට පෙර ට්විටර් ලෙස හැඳින් වූ) මෙලෙස සඳහන් කළේ ය: “අපි ගොඩක් අයට විශේෂ තැනක් වුණු හවායිවල සමහර පින්තුර දකින එක හරි අමාරු දෙයක්.”

“තම ආදරණීයයන් අහිමි වුණු අය ගැන වගේ ම ජීවිත උඩුයටිකුරු වුණු අය ගැන මිෂෙල් සහ මම කණගාටු වෙනවා.”

හවායි ලැව්ගිනි විනාශය

ලැව්ගිනි හේතුවෙන් දිවයිනේ ස්වභාවික සම්පත් රැසක් ද විනාශ වී ඇත. හවායිහි පැරණිතම ශාකය වන, එක්සත් ජනපදයේ පැරණිතම ශාක අතරින් එකක් වන ලහයිනාහි නුග ගස ගැන බියක් පවතියි.

1873 වසරේදී, හවායි රජු කමේහමේයාගේ පළමු මාලිගාව තිබූ ස්ථානයේ සිටවා තිබුණු අඩි 60ක් (මීටර් 18) උසැති අත්තිකා ගස, බදාදා ප්‍රදේශය ඇති වූ ගින්නෙන් දැවී විනාශ වී ගියේ ය.

එහි මුල් නිරෝගීව පැවතුණහොත් එය නැවත වර්ධනය වනු ඇතැයි නගරයේ වෙබ් අඩවියේ සඳහන් ය. නමුත් මෙම අවස්ථාවේ, ඔවුන් පවසන්නේ ගස “පිළිස්සී ඇති බව පෙනෙයි” යනුවෙනි.

නගරයට සහ දුපතේ සෙසු ප්‍රදේශවලට සිදුවූ හානියේ සම්පූර්ණ පපරිමාණය තවමත් අනාවරණය වී නොමැති අතර හවායි හි ලුතිනන් ආණ්ඩුකාර සිල්වියා ලූක් ඇස්තමේන්තු කර ඇත්තේ එහි සම්පූර්ණ හානිය ඇස්තමේන්තු කිරීමට මාස ගණනක් ගත වනු ඇති බවයි.

by bbc sandesaya