‘ප්‍රධාන කඩාකප්පල් කරන්නා’: එල් නිනෝ ලෝකයේ සහල් සැපයුමට තර්ජනය කරයි

විනාශකාරී වර්ෂාවෙන් පසු ඉන්දියාව සහල් සඳහා අපනයන තහනමක් පැනවීමෙන් පසු මිල ඉහළ ගොස් ඇත. දැන් අග්නිදිග ආසියාව පුරා අනෙකුත් රටවල් ද ඉන්දියාව අනුගමනය කරයි

සාමාන්‍යයෙන් අගෝස්තු මැද භාගය වන විට තායි ජාතික ගෙවිලියක වන තොංපූන් මූන්චන්සොංගේ කෙත්වතු නිසල ජලයෙන් ගිල්වනු ලැබේ. විසිරුණු වී පැල ඇගේ දණහිස දක්වා ළඟා වේ. සාමාන්‍යයෙන් ජලය කෙතරම් බහුලද යත් ඔබ කෙත්වලට දැලක් හෙළුවහොත් ඔබට මාළු සහ කකුළුවන් අල්ලා ගත හැකිය. නමුත් මේ වසරේ බොහෝ දේවල් වෙනස් විය. තායිලන්තයේ උතුරේ උත්තරාඩිට් පළාතේ ඇගේ ගම්මානයට වර්ෂාව ඇද හැලෙමින් පවතින නමුත් එය ප්‍රමාණවත් තරම් අධික හෝ ස්ථාවර වී නැත. තොන්ග්පූන්ගේ පවුලේ නිවසට යාබද ඇළ වියළී ඇත.

ඇගේ පවුලේ අය වී අස්වැන්න ලබා ගැනීමේ බලාපොරොත්තුව අත්හැර දමා ඇත. “සාමාන්‍යයෙන්  මේ කාලයට අධික වර්ෂාවක් ඇති වන නමුත් මේ වසරේ කිසිම වර්ෂාවක් ලැබුණේ නැහැ. අපට වියළි බිම මත වී වපුරන්න සිදු වුණා,” තොංපුන්ගේ දියණිය තනුන්කන් පොතුඩොම්සින් පවසයි.

“දැන් හොඳටම වැස්සත්, අස්වැන්නක් දෙන්න පුළුවන් කාලය දැනටමත් ගෙවිලා ගිහින්” ඇය පවසන්නීය. ” කුඹුරු සියල්ල වියළී ගිහින්”

දකුණු හා ගිනිකොනදිග ආසියාව පුරා, අනපේක්ෂිත කාලගුණය ලෝක ජනගහනයෙන් අඩකට වඩා වැඩි පිරිසකගේ ප්‍රධාන ආහාරය වන සහල් සැපයුමට තර්ජනයක් වී ඇත. අධික වර්ෂාවෙන් වගා හානි වීමෙන් පසු ජූලි මාසයේදී ලොව විශාලතම සහල් අපනයනකරු වන ඉන්දියාව බාස්මතී නොවන සුදු සහල් සඳහා අපනයන තහනමක් පැනවීය. තහනම පැනවීම සිදු වුණේ දකුණු ආසියානු කලාපය පුරා උණුසුම්, වියළි කාලගුණයක් ගෙන එන එල් නිනෝ සංසිද්ධිය පැමිණීම පිළිබඳ කනස්සල්ල සමඟය. ඉන්දියාවේ සහල් අපනයන තහනම ප්‍රධාන අපනයන රටවල් වන තායිලන්තයේ සහ වියට්නාමයේ සහල් මිල ගණන් 20%කින් පමණ ඉහළ යාමට හේතු වී ඇත.

තොංපුන්

බලපෑම් පුළුල් ලෙස දැනී ඇත. මෑත සතිවලදී, එක්සත් අරාබි එමීර් රාජ්‍යය මාස හතරකට සහල් අපනයනය සහ ප්‍රතිඅපනයනය අත්හිටුවා ඇති අතර, මියන්මාරය අපනයනය තාවකාලිකව නැවැත්වීමට සැලසුම් කරන බව ප්‍රකාශ කළේය. මේ අතර ඉන්දුනීසියාව කියා සිටියේ අසල්වැසි රටවලින් තවත් සහල් ආනයනය කිරීමට අවශ්‍ය බවයි. පිලිපීනයේ ආණ්ඩුව දුප්පත්ම පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා සහල් මිල සීමාවක් පනවා ඇති අතර, පිලිපීන ජාතික ආර්ථික හා සංවර්ධන අධිකාරිය “දුෂ්කර කාල” ගැන අනතුරු අඟවා එල් නිනෝව “ප්‍රධාන කඩාකප්පල් කරන්නෙකු” ලෙස හඳුන්වා ඇත.

එල් නිනෝ යනු ස්වභාවිකව සිදුවන දේශගුණික සංසිද්ධියක් වන අතර එහිදී පැසිෆික් සාගරයේ කොටස් උණුසුම් වන අතර සාමාන්‍යයෙන් ලෝකයේ බොහෝ ප්‍රදේශවල උණුසුම් උෂ්ණත්වයක් ඇති කරයි. මෙම එල් නිනෝ වී වගාව මත ඇති කරන බලපෑම අපැහැදිලි ය. සිංගප්පූරුවේ ISEAS-Yusof Ishak ආයතනයේ වාර්තාවකට අනුව, 2015-2016 වසරේ අවසන් ප්‍රධාන එල්නිනෝ සිදුවීම සිදු වූ විට, අග්නිදිග ආසියාවේ සහල් නිෂ්පාදනය පෙර වසර දෙකට සාපේක්ෂව ටොන් මිලියන 15කින් අඩු වී ඇත. කාලගුණ සංසිද්ධිය රෝග වැඩිවීමට ද හේතු විය. මේ සමග නියඟය ද පැමිණි අතර කලාපය පුරා ඝන දුම් අර්බුදයකට තුඩු දුන් විශාල වනාන්තර සහ පීට්ලන්ඩ් ගිනි අවුළුවා ඇත.

සිංගප්පූරුවේ පෘථිවි නිරීක්ෂණාගාරයේ අධ්‍යක්ෂ මහාචාර්ය බෙන්ජමින් හෝටන් පවසන්නේ මෙවර එල්නිනෝව කෙතරම් දරුණු ද යන්න තවමත් පැහැදිලි නැති බවයි. “කනස්සල්ලට කරුණ නම් පැසිෆික් සාගරයේ සාගර උෂ්ණත්වය ඉහළ යාමේ වේගය මීට පෙර කිසි දිනෙක දැක නොතිබීමයි. එයින් ඇඟවෙන්නේ දේශගුණික විපර්යාසවලට ඉහළින් අපට ප්‍රධාන එල් නිනෝවක් ඇතිවිය හැකි බවයි. එය සැබවින්ම අපව හඳුනා නොගත් ප්‍රදේශයකට ගෙන යා හැකියි. මම බලාපොරොත්තු වෙනවා එල් නිනෝව පුංචි පිපිරුමක් කියලා. එය එසේ නොවේ නම්, කෘෂිකර්මාන්තය සඳහා ඇති අපේක්ෂාවන් සුන්විය හැකියි”. මහාචාර්ය බෙන්ජමින් හෝටන් පවසයි.

ප්‍රධාන එල් නිනෝවක් “අප හුස්ම ගන්නා වාතයට සැලකිය යුතු බලපෑමක් ඇති කරනවා. මීදුම කොතරම් නරකද යත් අපට පිටතට යාමට නොහැකි තත්ත්වයක් ඇති වෙනවා. එය අප පානය කරන ජලයට ද දැඩි සේ බලපෑම් කරනවා. අපට දැඩි ජල හිඟයකට මුහුණ දීමට සිදුවෙනවා. එය අප ගන්නා ආහාරවලට බලපානවා. ”හෝටන් පවසන්නේ රජයන් මේ අභියෝගවලට මුහුණ දීමට වැඩපිලිවෙළක් සූදානම් කළ යුතු බවයි.

තායිලන්තයේ ජාතික ජල සම්පත් කාර්යාලයේ මහලේකම් සුරශ්‍රී කිඩ්ටිමොන්ටන් අගෝස්තු මාසයේදී අනාවැකි පළ කළේ මධ්‍යම තැනිතලා, රටේ සහල් තීරයට මෙම කන්නයේ සමස්ත වර්ෂාපතනයේ 40% ක පහත වැටීමකට මුහුණ දිය හැකි බවයි.

වසර අටකට පසු අඩුම මෝසම් වර්ෂාපතනය සඳහා රට සූදානම් බව ඉන්දීය නිලධාරීන් පසුගිය සතියේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළහ. ගෝලීය සහල් වෙළඳාමෙන් 40% කට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්දියාව විසින් දරන අතර, ඉන්දිය සහල් වල මිල අඩුවීම හේතුවෙන් මෑත වසර වල ආසියාවේ සහ අප්‍රිකාවේ ඉන්දියානු සහල් සඳහා වෙළඳපළ වර්ධනය විය.

වෙනත් බොහෝ භාණ්ඩ මෙන් නොව, ගෝලීය වී නිෂ්පාදනයෙන් අලෙවි කරනු ලබන්නේ  11%ක් වැනි කුඩා කොටසක් බව ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරියෙකු වන ජෝසෆ් ග්ලෝබර් පවසයි. ඉන්දියාව වැනි ඉතා ප්‍රධාන සහල් අපනයනකරුවෙක් වෙළෙඳ පොළෙන් ඉවත් කළ විට එම හිඩැස පිරවීමට තරම් සැපයුම්කරුවන් වෙනත් තැන්වල නොසිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

“සැබෑ ප්‍රශ්නය වනුයේ ඉන්දියාවේ මෝසම් වැසි කලින් අවසන් වේද නැද්ද යන්නයි. මම හිතන්නේ එල් නිනෝ ශක්තිමත් වන විට මිනිසුන් උන්නදුවක් දක්වන එකම කරුණ එයයි” ග්ලෝබර් පැවසීය.

සහල් අපනයනය මත වත්මන් පීඩනය පැමිණෙන්නේ යුක්රේන – රුසියානු යුද්ධය හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල දේශීය ආහාර මිල උද්ධමනය දැනටමත් දැඩි ලෙස ඉහළ ගොස් ඇති අවස්ථාවක ය. එල් නිනෝ සහල් නිෂ්පාදනයට පමණක් නොව, ප්‍රධාන කෘෂිකාර්මික නිෂ්පාදන රැසකට තර්ජනයක් එල්ල කරයි. පාම් ඔයිල්, ලෝකයේ බහුලව භාවිතා වන එළවළු තෙල්, ඉන්දියාවේ උක්, සෝයා බෝංචි සහ ඉරිඟු බෝග දක්වා මේ තර්ජනය පවතී.

සහල් අපනයන තහනමක් පැනවීමට හේතුවක් නොමැති බව පවසන තායිලන්ත රජය ජලය අඩුවෙන් පරිභෝජනය කරන බෝග වගා කරන ලෙස ගොවීන්ගෙන් ඉල්ලා තිබේ. ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට මහජනතාව, රාජ්‍ය සහ ව්‍යාපාරික අංශ දිරිමත් කිරීමේ ව්‍යාපාර ද දියත් කරන බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.

එල් නිනෝ භීතියට පත් වූ තරම් දරුණු නොවූවත්, දේශගුණික අර්බුදය විසින් ගෙන එන උණුසුම් උෂ්ණත්වයට ගොවීන්ට අනුවර්තනය වීමේ ප්‍රතික්ෂේප කළ නොහැකි අවශ්‍යතාවයක් පවතින බව පර්යේෂකයෝ පවසති. සහල් විශේෂයෙන් අවදානමට ලක් වේ. ඕනෑවට වඩා ජලය අඩු වීමෙන් හෝ වැඩි වීමෙන් ක්ෂේත්‍රයක් විනාශ විය හැකි අතර, පෙනෙන පරිදි උෂ්ණත්වයේ කුඩා උච්චාවචනයන් පවා සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකිය. පිලිපීනයේ ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ පර්යේෂකයන්, රාත්‍රී කාලයේ උෂ්ණත්වයේ වෙනස්කම් අධ්‍යයනය කර ඇති අතර අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් ඉහළ යන සෑම අවස්ථාවකම ධාන්‍ය අස්වැන්න 10%කින් අඩු වන බව සොයාගෙන ඇත . එසේම කෙටි, තියුණු ශීතල ද වී වගාවට මාරාන්තික විය හැකිය.

තායිලන්තයේ Kasetsart විශ්ව විද්‍යාලයේ සහල් විද්‍යා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය Siwaret Arikit පවසන්නේ දේශගුණික අර්බුදය සහල් සඳහා එහි ප්‍රමාණය හා ගුණාත්මකභාවය යන දෙඅංශයෙන්ම ඇති කරන බලපෑම සැලකිය යුත තරම් ප්‍රබල බවයි.

තායිලන්තයේ Nakhon Pathom හි සහල් විද්‍යා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය Siwaret Arikit.

තායිලන්තයේ Kasetsart විශ්ව විද්‍යාලයේ සහල් විද්‍යා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය Siwaret Arikit පවසන්නේ දේශගුණික අර්බුදය සහල් සඳහා එහි ප්‍රමාණය හා ගුණාත්මකභාවය යන දෙඅංශයෙන්ම ඇති කරන බලපෑම සැලකිය යුත තරම් ප්‍රබල බවයි.

“මීට පෙර එතරම් දරුණු නොවූ නැගී එන රෝග බොහොමයක් අපි හඳුනාගෙන තිබෙනවා. නමුත් දේශගුණික විපර්යාසයෙන් පසු ඔවුන් [බෝග] විනාශ කර තිබෙනවා. සහල් ගොවීන්ට වර්ධනය වන තර්ජනයක් වී ඇති උණ රෝගය පිළිබඳ උදාහරණයක් ද ඔහු සපයයි.

“මෙය ආසාදනය වී ඇත්නම් ක්ෂේත්‍රයේ අස්වැන්න 20කින් හෝ 30% කින් පමණ අඩු විය හැකියි” ආචාර්ය Siwaret Arikit පවසයි.

පර්යේෂකයන් සහ ගොවීන් තම බෝග සඳහා වඩාත් ඔරොත්තු දීමේ ක්‍රම සොයමින් සිටිති. තනුන්කන් පොතුදොම්සින්ගේ ගම්මානයේ ඇතැමුන් බෝග මාරුකර අඩුවෙන් ජලය අවශ්‍ය වන පැල වවා ඇත.

එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ පර්යේෂකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන සහල් මධ්‍යස්ථානය වඩාත් පෝෂ්‍යදායී සහ ගෝලීය උණුසුම මගින් ගෙන එන තර්ජනවලට ඔරොත්තු දිය හැකි වී ප්‍රභේදයක් නිපදවීමට උත්සාහ කරයි. එහි පර්යේෂකයන් සහල් වර්ග 400කින් යුත් “විවිධත්ව පැනලයක්” අධ්‍යයනය කරමින් සිටින අතර වඩාත් ඔරොත්තු දෙන ලක්ෂණ සමඟ සම්බන්ධ වන ජාන හඳුනා ගනී. මෙයින් අදහස් කරන්නේ භූමියයේ ගැඹුරට තෙතමනය අවශෝෂණය කළ හැකි දිගු මුල් ලබා දෙන ජාන හෝ ස්ටෝමාටා ලෙස හැඳින්වෙන අඩු සිදුරු සහිත කොළ, අඩු තෙතමනය නැති වී, නියඟයට වඩා හොඳින් මුහුණ දීමට සහ අඩු මීතේන් මුදා හැරීමට ඉඩ සලසන වී ප්‍රභේදයක්  සොයා ගැනීමයි. 2022 දී මධ්‍යස්ථානය, එක්සත් ජනපදයේ පර්යේෂකයන් සමඟ සහයෝගයෙන් ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් මගින් දුඹුරු පැලෑටි පළිබෝධයට (brown planthopper pest) වඩා හොඳින් ප්‍රතිරෝධය දැක්විය හැකි ජාන හඳුනා ගැනීමට සමත් විය.

අනාවැකිකරුවන්ට දත්ත විශාල ප්‍රමාණයක් සමඟ වැඩ කළ හැකි අතර එමගින් ගොවීන් සහ බීජ අභිජනනය කරන්නන් සඳහා නිවැරදි කාලගුණ අනාවැකි රැස්කර ගත හැකිය. (එය නියඟය, ගංවතුර හෝ රෝග පැතිරීම විය හැකිය).

“ඔබට ඉතා නිවැරදි අනාවැකියක් තිබේ නම්, අභිජනනය කරන්නන්ට එම තත්වයන්ට ගැලපෙන නව සහල් සකස් කළ හැකියි”

ගමේ සමහරු තමන්ගේ කුඹුරුවලට ආයෝජනය කරලා ණය වෙලා ඉන්නේ. නමුත් මට මව කුඹුරෙන් ඉවතට ගැනීමට නොහැකියි. මෙම පරම්පරාවේ විශ්වාසය නම්, කුඹුරු යාය හිස්ව තිබීම (වගා නොකිරීම හෝ පුරන්වීම) අවාසනාවක් බවයි. එය අත්හරිනවාට ඔවුන් කැමති නැහැ.

තනුන්කන්ගේ කුඹුරේ වී පැළ වර්ධන වීම අරගල කරයි.

තනුන්කන් ජීවත් වන ප්‍රදේශය නියඟයකට මුහුණ දී ඇති අතර, ඊසානදිග පළාතේ Nakhon Phanom ප්‍රදේශ මෑතකදී ගංවතුර ආපදා කලාප ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර එහි කුඹුරු ජලයෙන් යට විය.

තනුන්කන්ගේ මවගේ කුඹුර හෙක්ටයාර 1.3ක් වන අතර පවුලට හිමි  මුළු හෙක්ටයාර ගණන 4.8 කි. ඔවුන් සාමාන්‍යයෙන් තම පරිභෝජනය සඳහා සහල් තබාගෙන ඉතිරි වන කොටස විකුණා දමයි. ඔවුන් දැන් රජයේ වන්දියක් බලාපොරොත්තුවෙන් සිටින නමුත් ඔවුන්ට කොපමණ මුදලක් ලැබෙනු ඇත්දැයි විශ්වාස නැත.

කාලගුණය අනපේක්ෂිත යැයි බියෙන් මේ වසරේ  වී වගා කිරීමට උත්සාහ නොකරන ලෙස ඇය තම මවට පැවසූ බව තනුන්කන් පවසයි.

‘‘ගමේ සමහරු තමන්ගේ කුඹුරුවලට ආයෝජනය කරලා ණය වෙලා ඉන්නේ. නමුත් මට මව කුඹුරෙන් ඉවතට ගැනීමට නොහැකියි. මෙම පරම්පරාවේ විශ්වාසය නම්, කුඹුරු යාය හිස්ව තිබීම (වගා නොකිරීම හෝ පුරන්වීම) අවාසනාවක් බවයි. එය අත්හරිනවාට ඔවුන් කැමති නැහැ.” තනුන්කන් පවසයි.

https://www.theguardian.com/global-development/2023/sep/07/major-disruptor-el-nino-threatens-the-worlds-rice-supplies