මේ වන විට අපසතු පරීක්ෂණ වලට අනුව බිම්මල් විශේෂ 25,000කට ආසන්න ප්‍රමාණයක් අප රට සතුව පැවතිය යුතු අතර ඒ අතරින්  හඳුනාගෙන ඇත්තේ විශේෂ 1500ක  පමණ ප්‍රමාණයකි.

බිම්මල් හෝ හතු, අප සෑම පරිසර පද්ධතියක් තුළම පාහේ විවිධ පාරිසරික තත්ත්වයන් යටතේ දක්නට ලැබෙන අතර මෙම ජීවී කාණ්ඩය  හැඳින්වෙන්නේ දිලීර රාජධානියට අයත් සාමාජිකයින් ලෙසයි. දිලීර, විවිධාකාරයේ වර්ගීකරණයන්ට යටත් වන අතර  අප  සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන බිම්මල් හෝ හතු අයත් වන්නේ දිලීර රාජධානියේ Basidiomycota  යන කාණ්ඩයට හෝ කොට්ඨාශයටයි.

වර්ග කිලෝමීටර් 65610ක භූමි  ප්‍රමාණයකින් සමන්විත වුවද, අප රට සමකාසන්නව පිහිටීම,  දේශගුණික සාධක හා පාංශු සංයුතිය අප  සතු ජෛව  විවිධත්වය  ඉතා ඉහළම ස්ථානයක පවත්වා ගැනීමට පාදක වී ඇත. මෙය සත්ව, ශාක, ක්ෂුද්‍ර ජීවීන් හා ලයිකන යන විවිධ කණ්ඩායම් වලට අයත් ජීවීන් සඳහා අදාළ වන අතර එම ජීවී කණ්ඩායම් පිළිබඳව අප රටේ මේ වන විට බොහෝ පර්යේෂණ සිදු කර ඇත. නමුත් දිලීර සඳහා සහ දිලීර  රාජධානියේ  සමාජිකයින් වන බිම් මල් පිළිබඳව තවමත් අප සතුව ඇත්තේ ඉතා සීමිත පර්යේෂණ ප්‍රමාණයකි.

මේ වන විට අපසතු පරීක්ෂණ වලට අනුව බිම්මල් විශේෂ 25,000කට ආසන්න ප්‍රමාණයක් අප රට සතුව පැවතිය යුතු අතර ඒ අතරින්  හඳුනාගෙන ඇත්තේ විශේෂ 1500ක  පමණ ප්‍රමාණයකි. මෙසේ  හඳුනාගත් විශේෂ අතරින් සියයට 90% කට ආසන්න ප්‍රමාණයක පරීක්ෂණ සිදුකර ඇත්තේ විදේශීය පරීක්ෂකයන් විසින් වන අතර එම හඳුනාගැනීම් එවකට පැවති  පහසුකම් සහ තාක්ෂණය මත, බාහිර රූපාකාරයපමණක්  පදනම් කොටගෙන  සිදු කර ඇත.

නමුත් බිම්මල්  හඳුනා ගැනීමේදී මෙසේ සිදුකරන ලද බාහිර රූපාකාරයමත පමණක් පදනම් වූ පරීක්ෂණ වල නිරවද්‍යභාවය පිළිබඳව ගැටලු ඇති අතර ඊට හේතුව වන්නේ බාහිර රූපාකාරයෙන් ඉතා සමාන පෙනුමැති බිම්මල්  විවිධ විශේෂයන්ට අයත් වීමත් බාහිර රූපාකාරයෙන් ඉතා වෙනස් විශේෂ හෝ නිදර්ශක  එකම බිම්මල්  විශේෂයකට අයත් වීමයි. එම නිසා පසුකාලීනව බොහෝ විද්‍යාත්මක පර්යේෂණ වලට මෙන්ම බිම්මල්  හඳුනාගැනීම සඳහා භාවිතා කළ DNA / ජානමය ද්‍රව්‍යයන් හදුනා ගැනීමේ තාක්ෂණය තුළින් විශේෂ තහවුරු කිරීම පරීක්ෂණ සදහා එක් විය.

කෙසේ නමුත් නිවැරදි තාක්ෂණය සහ  දැනුම භාවිතය තුළින් ආර්ථිකමය වටිනාකම් සහිත බිම්මල් විශේෂ සිය ගණනක් හඳුන්වා දීමට තරම් විභවයක් අප රට සතුවෙයි. මන්දයත්  එකිනෙකට වෙනස් දේශගුණික කලාපයන්හි ඇති විවිධ විශේෂයන්ට අයත් බිම්මල් අහාර, ඖෂධ ඇතුලු  කර්මාන්ත ගණනාවක ආරම්භයට ඉතාම උචිත ස්වභාවික සම්පතක් ලෙස අප රට තුළ පැවතීමයි.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ මෙම තාක්ෂණය බිම්මල්  විද්‍යාව හා සම්බන්ධ වන්නේ වර්ෂ 2000 – 2002 අතර කාල සීමාවෙන් පසුව වන අතර ලොව සියලුම රටවල පාහේ බිම්මල් හඳුනාගැනීම සඳහා මෙම තාක්ෂණය වර්තමානය වන විට අනිවාර්ය අංගයක් වී ඇත. නමුත් අනෙකුත් බොහෝ යුරෝපීය හා ආසියාතික රටවල මේ සඳහා පහසුකම් පැවතිය ද අප රට සතු අඩු මට්ටමේ පහසුකම් සහ ඒ සඳහා ඇති ඉහළ මූල්‍යමය අවශ්‍යතාවයන්  නිසාවෙන් තවමත් මෙම පර්යේෂණ සදහා බොහෝ බාධක පවතී.

කෙසේ නමුත් නිවැරදි තාක්ෂණය සහ  දැනුම භාවිතය තුළින් ආර්ථිකමය වටිනාකම් සහිත බිම්මල් විශේෂ සිය ගණනක් හඳුන්වා දීමට තරම් විභවයක් අප රට සතුවෙයි. මන්දයත්  එකිනෙකට වෙනස් දේශගුණික කලාපයන්හි ඇති විවිධ විශේෂයන්ට අයත් බිම්මල් අහාර, ඖෂධ ඇතුලු  කර්මාන්ත ගණනාවක ආරම්භයට ඉතාම උචිත ස්වභාවික සම්පතක් ලෙස අප රට තුළ පැවතීමයි. අවශ්‍ය වන්නේ අප සතු මෙම ස්වභාවික සම්පත නිසි ආකාරයෙන් හඳුනා ගැනීම කළමනාකරණය, සංරක්ෂණය සහ පර්යේෂණ තුළින් වාණිජකරණය වෙත යොමු කිරීමයි. තවදුරටත්,  අප සතු, අප රටට පමණක් ආවේණික විවිධ වාණිජමය වටිනාකම් ඇති බිම් මල් විශේෂ නිසි පරීක්ෂණ තුළින් නිවැරදිව හඳුනාගෙන බීජ නිෂ්පාදනය සහ ගොවීන්ට නිසි වගා  ක්‍රමවේදයක් හඳුන්වා දීම මගින් රටට විදේශ විනිමය පවා උපයාගත හැකි මාර්ග වුවද හෙළි කර ගැනීමට හැකියාව පවතී.

නමුත් අවාසනාවන්ත තත්වය නම් , අප රට සතු අති විශාල වටිනාකමක් ඇති බිම්මල් විශේෂ බොහොමයක් මේ වන විට හඳුනා ගැනීමක් නොකරම වඳ  වීමේ තර්ජනයට භාජනය වී ඇත. ඊට හේතු වන්නේ  විද්‍යාත්මක ක්‍රවේදයන්ට අනුකූලව මෙම විශේෂයන් පිළිගත් ක්‍රමවේදයක් සහිතව විස්තරාත්මකව හඳුනාගෙන, පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේදයන්ට යටත්ව ප්‍රකාශයට පත් නොකිරීම නිසා හඳුනා නොගත් විශේෂ ලෙසම පැවතීම හෝ වඳ වී වී යාමයි.

බිම්මල් වගාව ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සිදු කෙරෙන්නේ 1986, 1987 වැනි කාල වකවානුව තුළ  වන අතර එය ගෘහස්ත කර්මාන්තයක් ලෙස හා ස්වයං රැකියාවක් ලෙස එවකට  හඳුන්වා දෙන ලදී. මෙම හඳුන්වාදීමෙන් අනතුරුව දැනට වසර තිස් හයකට ආසන්න කාලයක් සම්පූර්ණ වී ඇතත් තවමත් කර්මාන්තයක් ලෙස සතුටුදායක මට්ටමකට බිම්මල් නිශ්පාදනයේ දියුණුවක් දක්නට නොමැත. විවිධ කාල වකවානුවලදී ඇති වූ ආර්ථික අස්ථාවරත්වය, අමු ද්‍රව්‍යය හිඟය,  විධිමත් පුහුණුවක්, නිවැරදි දැනුම, තාක්ෂණය හා ක්‍රමවේදයන් පිළිබඳව වගාකරුවන් සතු අඩු දැනුම, විෂය හා තාක්ෂණය  පිළිබඳව නිසි දැනුමැති  සම්පත් පුද්ගලයින්ගේ හිඟකම,  දුර්වල රාජ්‍ය  දායකත්වය, සහ නිවැරදි දැනුම බෙදීයාමේ නිසි ක්‍රමවේදයක් නොමැති වීම වැනි කාරණා පාදක කොටගෙන තවමත් අප සතු බිම්මල් කර්මාන්තය නොදියුණු තත්ත්වයක පවතී.

ලොව සුප්‍රකට ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් වෙන ශ්‍රී ලංකාව, ආහාරයට ගත හැකි සහ ඖෂධීය වටිනාකම් දරන විශේෂ දහස් ගණනකට හිමිකම් කිව්වද  ශ්‍රී ලංකාවේ තවමත් වෙළඳපළට ඉදිරිපත් කරන ආහාරයට ගත හැකි විශේෂ හතරක්, පහක් අතර ප්‍රමාණයකට සීමා වීම මෙම ක්ෂේත්‍රයේ  දුර්වලතාවයන් වලට කදිම උදාහරණයකි. බිම්මල්  නිෂ්පාදනයේ ලොව ප්‍රධානතම නිෂ්පාදකයා වන්නේ චීනය වන අතර ඉන් අනතුරුව ජපානය, ඇමරිකා එක්සත් ජනපදය, පෝලන්තය, නෙදර්ලන්තය, ඉන්දියාව, ස්පාඤ්ඤය, කැනඩාව , ඉරානය, තායිලන්තය, කොරියාව වැනි රටවල් මූලික ස්ථානයක් ගනී. මෙසේ නිෂ්පාදනය වන බිම්මල් ආහාර සඳහා ඖෂධ නිෂ්පාදනය සඳහා, සත්ව ආහාර නිෂ්පාදනය, ලෙදර් නිෂ්පාදනය, තීන්ත සහ තවත් බොහෝ අගය එකතු කරන (Value added products) ලද නිෂ්පාදනයන් සඳහා භාවිතා වේ.

ආර්ථිකමය වශයෙන් මෙසේ වටිනාකමක් ඇති බිම්මල්  විශේෂ දහස් ගණනක් විවිධ රටවල් වලින් මේ වන විට වාර්තා කර ඇත. මේ හා සමානම නිෂ්පාදනයන් කිරීමට හැකියාවක් ඇති අප රට තුළ තවමත් අහාරයට ගත හැකි විශේෂ ලෙස  වෙළඳපොළට ඉදිරිපත් කිරීමට හැකිව  ඇත්තේ Pleurotus ඝණයට අයත් ඔයිස්ටර් විශේෂ කීපයක්, මිල්කි mushroom  ලෙස හදුන්වන Calocybe indica යන විශේෂයත්,  ෂිටාකේ (Lentinula edodes) , පිළියන්දල brown (Macrocybe gigantea) සහ බටන්  mushrom (Agaricus bisporus) යන විශේෂ කීපයක් පමණි.

ඖෂධීය වටිනාකමක් සහිත බිම්මල් අප ස්වභාවික පරිසරයේ කොතෙක් වාර්තා වූවද, තවමත් වාණිජකරණය  මගින් වෙළඳපොළට ඉදිරිපත් කර ඇත්තේ  ගැනඩෝමා (Ganoderma)   විශේෂයක් පමණක් වන අතර දැනට වෙළෙඳපොළ සතු බිම්මල් නිෂ්පාදන ඉල්ලුමට සරිලන සැපයුම සම්පූර්ණ කිරීමට තරම්  ප්‍රමාණවත් නොවේ.

ඉහත සඳහන් කරන ලද සාධක හේතුකොට ගෙන බිම්මල් වගාව පිළිබඳව උනන්දුවක් දක්වන සියලු දෙනා වෙනුවෙන් වගාව සාර්ථකව ආරම්භ කිරීමට, අඛණ්ඩව සිදුකරගෙන යාමටත්, භාවිතා කර අවසාන කරන ලද වගා මාධ්‍ය වෙනත් කර්මාන්ත සඳහා යෙදවීමේ තාක්ෂණය, බීජ නිෂ්පාදනය, වාගාව ආශ්‍රිත රෝග හා වගාවට ඇති අනෙකුත් බලපෑම් පිළිබඳව සවිස්තරාත්මක  ලිපි මෙතැන් පටන් නිකුත් වන ඉදිරි ලිපි මගින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.

ආචාර්ය අසෙනි එදිරිවීර                                                                                                                        B-Hood Myco-Tropic Innovations (BMTI)                                                                        පළමු පටුමග, ඉසඩීන් නගරය, මාතර