එක්සත් රාජධානිය පදනම් කරගත් සමාගමක් සුරතල් සතුන් සමඟ පියාසර කිරීමට කැමති සේවාදායකයින් සඳහා පවුම් 8,166 ඩුබායි-ලන්ඩන් පැකේජයක් හඳුන්වා දී ඇත

ඩුබායි සිට ලන්ඩන් දක්වා පසුගිය දා සිය පළමු ගුවන් පියාසැරිය සිදු කළ ධනවතුන්ගේ සුනඛයන් ප්‍රවාහනය කරන පුද්ගලික ජෙට් සේවාවක් පරිසරවේදීන් විසින් හෙළා දැක තිබේ.

එක් ගුවන් ගමනක් වෙනුවෙන් ස්ටරිලින් පවුම් 8,166ක් අයකර ඇති අතර පාරිභෝගිකයින්ට ඔවුන්ගේ සුනඛයන් උකුලේ තබාගෙන, Al Maktoum ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට Farnborough දක්වා Gulfstream IV-SP ජෙට් යානයකින් ගමන් කරන විට ෂැම්පේන් පානය කිරීමට හැකි විය.

බර්මින්හැම්හි K9 ජෙට්ස් සමාගම දැනටමත් නිව් ජර්සි, ලොස් ඇන්ජලීස්, ෆ්‍රැන්ක්ෆර්ට්, පැරිස් සහ ලිස්බන් වෙත මේ ආකාරයේ ගුවන් සේවා ක්‍රියාත්මක කරයි.

නව මාර්ගය නිවේදනය කරමින්, සමාගමේ සම-නිර්මාතෘ ඇඩම් ගෝල්ඩර්, AeroTime Hub වෙත මෙසේ පැවසීය: “K9 Jets විශ්වාස කරන්නේ සුරතල් සතුන්ගේ ඔවුන්ගේ අයිතිකරුවන් සමඟ සුවපහසුව සහ විලාසිතාවෙන් ගමන් කිරීමට සුදුසු බවයි. නිවාඩු කාලය තුළ පමණක් මෙම නව මාර්ගය ආරම්භ කිරීමට අපට වඩා උද්යෝගිමත් විය නොහැකියි. එබැවින් අමුත්තන්ට ඔවුන්ගේ ආදරණීයයන් (සුරතල් සතුන් ඇතුළුව) සතු‌ටින් සැමරීමට හැකියි”

K9 ඉන්ස්ටග්‍රෑම් හි සේවාව දියත් කිරීම සමරනු ලැබුවේ ෂැම්පේන් වීදුරුවක් සමඟ walnut මේසයක් මත වාඩි වී සිටින මගියෙකුගේ පින්තූරයක් සමඟිනි. ඇයගේ රන්වන් රිට්‍රීවර් සුනඛයා සමග ඇය ප්‍රීතිමත් සිනහවකින් සැරසී සිටියාය.

දේශගුණික විරෝධතා කණ්ඩායම වන Extinction Rebellion මෙම ගුවන් සේවාව විවේචනය කළේය.

“සුපිරි ධනවත් මිනිසුන්ට තම සුනඛයා පවා සුපිරියෙකු ලෙස තබා ගැනීමට සිතීම ගැන අප පුදුම විය යුතු නැහැ. එය හැමදාම සිදු වුණා. එහෙත් එම මිනිසුන්ට ඔවුන් වටා කඩා වැටෙන ස්වභාවික ලෝකයට සම්බන්ධ විය නොහැකි බවත්, එමගින් ඔවුන්ගේ සිහිය එළඹිය නොහැකි බවත් සිහිවෙන විට මම ගොළු වුණා. Farnborough ගුවන් තොටුපළ මේ ආකාරයේ සාටෝපකාරී සංචාර සඳහා කුප්‍රකට වන අතර, ඊනියා ‘තිරසාර ගුවන් ඉන්ධන’ පිළිබඳ මනඃකල්පිත කතා සමඟින් වගකීමෙන් මිදීමේ මාර්ගය දිගටම ග්‍රීන්වොෂ් කරමින් සිටිනවා. ඔවුන් ඔවුන්ගේ ව්‍යාපාර අතර එකතු කර ඇති නවතම හාස්‍යජනක සේවාව වන K9 Jets ගැන මම කිසිසේත්ම පුදුම වන්නේ නැහැ’’

“හිටපු ගුවන් නියමුවෙකු ලෙස මට පෙනෙන පරිදි ඉතා ධනවත් පුද්ගලයින්ගෙන් ඉතා කුඩා පිරිසකට සේවා සපයන සුපිරි දූෂිත පුද්ගලික ජෙට් ගුවන් සේවා දිගටම ව්‍යාප්ත කිරීමට වඩා, අපගේ ජීවිත මන්දගාමී කර මහජනතාව සඳහා අව්‍යාජ තිරසාර පිරිසිදු ප්‍රවාහනයක් සැපයිය යුතුයි. මනුෂ්‍ය සහ මනුෂ්‍ය නොවන සතුන් යන දෙකොටසයම එම සේවය සැලසිය යුතුයි”

K9 Jets අවධාරණය කරන්නේ තමන් සතුව කිසිදු ගුවන් යානයක් නොමැති අතර එය “පොදු භාවිතයේ පවතින ජෙට් යානයක්” බවයි. සමාගම පැවසුවේ තම සේවාව සුපිරි ධනවතුන් සඳහා ඉලක්ක කර නොමැති අතර, ඔවුන්ගේ අයිතිකරුවන් සඳහා ගුවන් ටිකට් පතක් සහිත සුනඛයන් සඳහා භාණ්ඩ මිලට සාපේක්ෂව ආසන මිල ගණන් සැසඳිය හැකි බවයි. ධාරිතාවයෙන් පමණක් ගුවන් ගමන් ක්‍රියාත්මක කළ බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.

ගෝල්ඩර් මෙසේ පැවසීය: “අපි පරිසරය කෙරෙහි අපගේ වගකීම බැරෑරුම් ලෙස සලකන අතර අප ක්‍රියාත්මක කරන සෑම ගුවන් ගමනකම කාබන් විමෝචනය පියවා ගැනීමට කැපවීමෙන් අපගේ බලපෑම සීමා කිරීමට ක්‍රියා කරනවා. අපි මෙය කරන්නේ සෑම ගුවන් ගමනකින්ම කාබන් විමෝචනය පියවා ගැනීමට අවශ්‍ය ගණනය කිරීම් සහ ආධාරක ව්‍යාපෘති සපයන කාබන් අනුකූලතාවය සහ කාබන් අඩු කිරීම පිළිබඳ විශ්වාසදායක විශේෂඥයන් සමඟ සමීපව කටයුතු කිරීමෙනුයි’’

Farnborough ව්‍යාපාරික සංචාර සඳහා එක්සත් රාජධානියේ අංක එකේ ගුවන් තොටුපළ ලෙස සැලකෙයි. මෙම ගුවන් තොටුපළ විවේචනය කරන්නන් පවසන්නේ “ව්‍යාපාරික සංචාර” යනු ධනවතුන්ට සේවය කරන පුද්ගලික ගුවන් සේවා සඳහා වූ සුභාෂිතයක් බවයි.