2017 දී පෘතුගාලයේ ඇති වූ අධික උෂ්ණ තරංග සහ ලැව්ගිනි 100 කට වැඩි පිරිසක් මිය ගිය බව සිහිපත් කරන ක්ලෝඩියා ඩුආර්ටේ ඇගෝස්ටිනෝ (Claudia Duarte Agostinho) පවසන්නේ “මට දැනුනේ බියයි. ලැව්ගිනි නිසා මට මොන වගේ අනාගතයක් තිබේද යන්න ගැන මා කනස්සල්ලට පත් වුණා” යනුවෙනි.

සියලුම යුරෝපා සංගම් සාමාජික රටවල්, එක්සත් රාජධානිය, නෝර්වේ, රුසියාව, ස්විට්සර්ලන්තය සහ තුර්කිය ඇතුළුව රජයන් 32කට එරෙහිව නඩු පවරා ඇති තරුණ පෘතුගීසි පුද්ගලයින් හය දෙනා අතර 24 හැවිරිදි ක්ලෝඩියා, 20 හැවිරිදි ඇගේ සහෝදරයා, සහ 11 හැවිරිදි ඇගේ සහෝදරිය මරියානා ද වේ.

ඡායාරූප විස්තරය – Claudia (දකුණ) පවසන්නේ ඇය පාරිසරික කනස්සල්ලෙන් පෙළෙන බවත්, Martim (වම) ගේ අසාත්මිකතා ඉහළ ගොස් ඇති බවත් මරියානා (මැද) ඇදුම රෝගයෙන් පෙළෙන බවත්ය.

දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ප්‍රමාණවත් ක්‍රියාමාර්ගයක් නොගෙන ඇති බවත්, ගෝලීය උණුසුම ඉහළ යාම සෙල්සියස් අංශක 1.5 දක්වා සීමා කිරීමේ පැරිස් ගිවිසුමේ ඉලක්කයට සපුරා ගැනීමට තරම් හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමට අපොහොසත් වී ඇති බවත් ඔවුන් චෝදනා කරයි.

මෙම නඩුව ස්ට්‍රාස්බර්ග්හි මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණයේ (European Court of Human Rights – ECHR) ගොනු කරන ලද පළමු නඩුව වේ. එය සාර්ථක වුවහොත් එයට සම්බන්ධ රජයන්ට නීත්‍යානුකූලව බැඳී පවතින ප්‍රතිවිපාක ඇති කළ හැකිය. නඩුවේ පළමු නඩු විභාගය ලබන බදාදා (04) පැවැත්වේ.

වයස අවුරුදු 11 සිට 24 දක්වා වන පැමිණිලිකරුවන් හය දෙනා තර්ක කරන්නේ 2017 සිට සෑම වසරකම පෘතුගාලයේ ඇති වූ ලැව් ගිනි ගෝලීය උණුසුම ඉහළ යාමේ සෘජු ප්‍රතිඵලයක් බවයි.

දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීමට රජයන් දක්වන අකමැත්ත හේතුවෙන් ඔවුන්ගේ මූලික මානව හිමිකම් (ජීවත්වීමේ අයිතිය, පෞද්ගලිකත්වය, පවුල් ජීවිතය සහ වෙනස් කොට සැලකීමෙන් නිදහස් වීම ඇතුළු) උල්ලංඝනය වන බව ඔවුහු කියා සිටිති.

ඔවුන් පවසන්නේ ඔවුන් දැනටමත් සැලකිය යුතු බලපෑම් අත්විඳ ඇති බවයි. විශේෂයෙන් පෘතුගාලයේ අධික උෂ්ණත්වය නිසා ඔවුන්ට ගෘහස්ථව කාලය ගත කිරීමට බල කරන අතර නිදා ගැනීමට, අවධානය යොමු කිරීමට හෝ ව්‍යායාම කිරීමට ඇති හැකියාව සීමා කරයි. සමහරු පාරිසරික කාංසාව, අසාත්මිකතා සහ ඇදුම ඇතුළු ශ්වසන රෝගවලින් ද පීඩා විඳිති.

තරුණ අයදුම්කරුවන් කිසිවෙක් මූල්‍ය වන්දියක් අපේක්ෂා නොකරයි.

ඡායාරූප විස්තරය – 2017 ලැව්ගිනි ඇයට මතක් කර දෙන හෙලිකොප්ටර් යානා හිසට ඉහළින් පියාසර කරන බව ඇසූ මරියානා තවමත් බියට පත් වේ

“මට අවශ්‍ය පරිසර දූෂණයෙන් තොර හරිත ලෝකයක්, මට නිරෝගීව සිටීමට අවශ්‍යයි. මම මේ නඩුවේ ඉන්නේ මගේ අනාගතය ගැන මම ඇත්තටම කනස්සල්ලෙන් සිටින නිසා. අපි ජීවත් වන ස්ථානය කෙබඳු වේදැයි මම බියට පත්ව සිටිනවා” 11 හැවිරිදි මරියානා පවසයි.

2017 දී තමන් මුහුණ දුන් බිහිසුණු ලැව්ගිවි ගැන මතක් කර දෙන හෙලිකොප්ටර් යානා ඇසෙන විට මරියානා තවමත් බියට පත් වන බව ක්ලෝඩියා පවසයි.

“මම හිතන්නේ මරියානා මේ නඩුවට සම්බන්ධ වීම ඇත්තෙන්ම පුදුම සහගතයි. ඇගේ වයසේදී එවැනි හෘද සාක්ෂියක් තිබීම ගැන මම සතුටු වෙනවා. නමුත් එය ඉතා කනස්සල්ලට කරුණක්. ඇය මේ දේවල් ගැන සිතිය යුත්තේ ඇයි? ඇය ඇගේ මිතුරන් සමඟ සෙල්ලම් කළ යුතු අතර ඒ ටික්ටොක් වීඩියෝවලට නටමින් සිටිය යුතුයි” ක්ලෝඩියා පවසයි.

තරුණ පැමිණිලිකරුවන් හය දෙනා වෙනුවෙන් පෙනී සිටින නීතීඥයින් උසාවියේදී තර්ක කිරීමට බලාපොරොත්තු වන්නේ යුරෝපයේ ආණ්ඩුවල වත්මන් ප්‍රතිපත්ති සියවස අවසන් වන විට ගෝලීය උණුසුම තවත් සෙල්සියස් අංශක තුනකින් ඉහළ දැමීමට හේතු වන බවයි.

අයදුම්කරුවන්ට සහාය දක්වන Global Legal Action Network (GLAN) හි අධ්‍යක්ෂ Gearóid Ó Cuinn පවසන්නේ “එය ව්‍යසනකාරී උණුසුමක්. රජයේ හදිසි ක්‍රියාමාර්ගයකින් තොරව, මෙම නඩුවට සම්බන්ධ තරුණ අයදුම්කරුවන් ඔවුන්ගේ සෞඛ්‍යයට සහ ඔවුන්ගේ යහපැවැත්මට හානි කරන දරාගත නොහැකි උෂ්ණාධික අන්තයන්ට මුහුණ දෙනවා. මෙය නැවැත්වීමට තවත් බොහෝ දේ කිරීමට රජයන්ට බලය ඇති බව අපි දන්නවා. නමුත් ඔවුන් ඒ වෙනුවෙන් කිසිවක් කරන්නේ නැහැ’’ ඔහු පවසයි.

2021 ලැන්සෙට් අධ්‍යයනයකින් (Lancet study) හෙළි වූයේ දේශගුණික කාංසාව සහ දේශගුණික විපර්යාස සඳහා රජයේ ප්‍රතිචාර පිළිබඳ අතෘප්තිය ලොව පුරා ළමුන් සහ තරුණයින් අතර බහුලව පැතිරී ඇති අතර එය ඔවුන්ගේ දෛනික ක්‍රියාකාරිත්වයට බලපා ඇති බවයි.

ලොව පුරා රටවල් 10ක වයස අවුරුදු 16-25 අතර ළමුන් 10,000ක් සහ තරුණ තරුණියන් 10,000ක් යොදාගෙන කරන ලද සමීක්ෂණයක් මත පදනම්ව, අධ්‍යයනය යෝජනා කළේ දේශගුණික අර්බුදයට ප්‍රතිචාර දැක්වීමට රජයන් අසමත් වීම වැඩි වන පීඩා සමඟ සම්බන්ධ වී ඇති බවයි.

නඩුවට වෙන වෙනම සහ ඒකාබද්ධ ප්‍රතිචාර වලදී, ආණ්ඩු තර්ක කරන්නේ දේශගුණික විපර්යාස හෝ පෘතුගීසි ලැව්ගිනි වල සෘජු ප්‍රතිවිපාකයක් ලෙස තමන් දුක් විඳ ඇති බව හිමිකම් පාන්නන් ප්‍රමාණවත් ලෙස තහවුරු කර නොමැති බවයි. දේශගුණික විපර්යාස මිනිස් ජීවිතයට හෝ සෞඛ්‍යයට ක්ෂණික අවදානමක් ඇති බව පෙන්වීමට කිසිදු සාක්ෂියක් නොමැති බව පවසන ඔවුන් දේශගුණ ප්‍රතිපත්තිය යුරෝපීය මානව හිමිකම් අධිකරණ බල සීමාවෙන් ඔබ්බට යයි ද තර්ක කරති.

“ඔවුන්ගේ අනාගතය ගැන සැලකිලිමත් වන සාමාන්‍ය පුද්ගලයින් වන පෘතුගාලයේ මෙම තරුණයින් හය දෙනාට ආණ්ඩු නියෝජනය කරමින් අධිකරණයට පැමිණෙන නීතිඥ කණ්ඩායම් 32කට මුහුණ දීමට සිදුවෙනවා. එබැවින් මෙය සැබෑ ලෙසම ඩේවිඩ් එදිරිව ගොලියත් (David vs Goliath) නඩුවක් වන අතර එය අපගේ අනාගතය සම්බන්ධයෙන් අපව වඩා හොඳ මාවතකට ගෙන ඒම සඳහා ව්‍යුහාත්මක වෙනසක් අපේක්ෂා කරනවා” යැයි Gearóid Ó Cuinn පවසයි

(ඩේවිඩ් සහ ගොලියත් බයිබල් කථාව ඔරොත්තු දීමේ හැකියාව සහ දුෂ්කරතා ජය ගැනීම ගැන කතා කරයි. ළමයින් සමඟ බෙදා ගැනීමට එය විශිෂ්ට කතාවකි)

ඡායාරූප විස්තරය – ECHR හි අයර්ලන්ත සභාපති Siofra O’Leary (මැද) සහ Slovenia විනිසුරු Marko Bosnjak (දකුණ) 2023 මාර්තු 29 දින නැගෙනහිර ප්‍රංශයේ Strasbourg හිදී ප්‍රංශය සහ ස්විට්සර්ලන්තය සම්බන්ධ දේශගුණික විපර්යාස නඩු දෙකකදී මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණයේ නඩු විභාගය සඳහා පැමිණේ.

තුන්වන පාර්ශ්වයක් ලෙස මෙම නඩුවට මැදිහත් වූ යුරෝපා කවුන්සිලයේ මානව හිමිකම් කොමසාරිස් Dunja Mijatovic පවසන්නේ දේශගුණික ගැටලු සහ මානව හිමිකම් සම්බන්ධයෙන් රාජ්‍යයන් ආමන්ත්‍රණය කරන්නේ කෙසේද යන්න තීරණය කිරීමට මෙම නඩුවට හැකියාව ඇති බවයි.

“එය ඇත්ත වශයෙන්ම සාමාජික රටවලට, ජාත්‍යන්තර සංවිධානවලට, අප සැලකිලිමත් වන බව පෙන්වීමට විශේෂ අවස්ථාවක් ඇති අප සැමට අනතුරු ඇඟවීමක්. එය කඩදාසි මත වචන පමණක් නොවෙයි. එය පෙට්ටියක් සලකුණු කර අප වෙනුවෙන් යැයි කීම පමණක් නොවෙයි. මෙම හෝ එම යෝජනාව අපගේ ප්‍රතිපත්ති වෙනස් කිරීමක්,” ඇය පැවසුවාය.

හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සහ ෆොසිල ඉන්ධන ඉවත් කිරීම මගින් ඔවුන්ගේ දේශගුණික ක්‍රියාකාරකම් වැඩි කිරීමට ECHR තීන්දුව රජයන් 32 එකවර නීත්‍යානුකූලව බැඳ තබනු ඇත.

දේශගුණික විපර්යාසවලට අදාළ නඩු සම්බන්ධයෙන් ECHR වෙතින් මගපෙන්වීම අපේක්ෂා කරන දේශීය අධිකරණවලට ද එය බලපානු ඇත. මාස නවයේ සිට 18 දක්වා කාලය තුළ තීන්දුවක් අපේක්ෂා කෙරේ.

ක්ලෝඩියා පවසන්නේ අනාගතයේදී තමාට දරුවන් සිටිය යුතුද යන්න ගැන තමා නිතර සිතන බවත්, ඔවුන් ජීවත් වන ලෝකයේ තත්වය ගැන ප්‍රශ්න කරන බවත්ය. “නමුත් මෙම නඩුව ජයග්‍රහණය කිරීමෙන් අවසානයේ බලාපොරොත්තුවක් ඇති විය හැකියි. එයින් අදහස් කරන්නේ මිනිසුන් සැබවින්ම අපට ඇහුම්කන් දෙන බවත්, ඔවුන් අප මෙන් කනස්සල්ලට පත්ව සිටින බවත්, ඒ ගැන යමක් කිරීමට රජයන්ට සැබවින්ම පියවර ගත යුතු බවයි. එය සෑම දෙයකටම, අපගේ කනස්සල්ලට, අපගේ අනාගතය සඳහා පුදුම සහගත දෙයක් වේවි. ඊට පස්සේ ගොඩක් දේවල් කරන්න පුළුවන්.”

https://www.bbc.com/news/world-europe-66923590