ආහාර නිෂ්පාදනය නිසා ඇති වන සෞඛ්‍ය හා පාරිසරික හානිය හේතුවෙන් වසරකට ඩොලර් ට්‍රිලියන 10ක් හෙවත් ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%ක් වැය වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) ට අනුව දියවැඩියාව සහ හෘද රෝග වැනි තත්වයන්, දුර්වල ආහාර වේලෙහි ප්‍රතිවිපාක ඩොලර් ට්‍රිලියන 7.3ක් වන අතර එය වාර්ෂිකව ගෝලීය ආහාර කර්මාන්තයේ සැඟවුණු පිරිවැය මත “වැය වන මුදල / price tag” දමා ඇත. මෙම වාර්තාව පසුගිය සඳුදා (06) ප්‍රකාශයට පත් කරන ලදී.

“පසුගිය කාලය තුළ ලෝක සීමාවන් පීඩනයට ලක්ව ඇති බවත්, බොහෝ අවස්ථාවලදී ඒවා ඉක්මවා ගොස් ඇති බව මිනිසුන් අවබෝධ කරගෙන තිබෙනවා. ආහාර අපගේ ජීවිතයට කේන්ද්‍රීය වන අතර, එය පරිසරයට සහ සෞඛ්‍යයට ද සැලකිය යුතු බලපෑමක් ඇති කරනවා. ඔවුන්ට අගයක් පැවරීම මෙම විවිධ බලපෑම් ගණනය කිරීමට එක් මාර්ගයක්” FAO කෘෂි ආහාර ආර්ථික අංශයේ අධ්‍යක්ෂ David Laborde පැවසීය.

නමුත් ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “අපි මෙම විවාදයට පිවිසිය යුත්තේ ඉහළ ආදායම් ලබන කාචයකින් පමණක් නොවෙයි. ගෝලීය උතුරේ, මහජන කතිකාවට දිගු කලක් තිස්සේ පරිසර පද්ධති සහ සෞඛ්‍යයට අහිතකර ආහාර ගැන සාකච්ඡා ඇතුළත් වී තිබෙනවා. නමුත් දරිද්‍රතාවයේ සහ මන්දපෝෂණයේ පිරිවැය නොසලකා හරිනවා”

වර්තමාන ආහාර පද්ධති අඩු ආදායම්ලාභී රටවල දරිද්‍රතාවය වැඩි කරන බව වාර්තාව පවසයි. දුප්පත් රටවල බොහෝ ගොවීන්ට ඔවුන්ගේ නිෂ්පාදනවල වටිනාකමෙන් පූර්ණ ප්‍රතිලාභයක් නොලැබුණු අතර, ඔවුන් බොහෝ විට තම බෝග වෙළඳුන්ට සහ නිෂ්පාදකයින්ට විකුණා ලාභ ලබා ගත් බව එහි සඳහන් වේ. මේ නිසා ගොවීන්ට පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීමට නොහැකි විය.

“උදාහරණයක් ලෙස උගන්ඩාවේ කෘෂිකාර්මික පද්ධතියේ සැඟවුණු පිරිවැය දළ දේශීය නිෂ්පාදිතයෙන් 20% ක්. එයින් 70%ක් දිළිඳුකමට සම්බන්ධයි,” Laborde පැවසීය.

FAO අධ්‍යක්ෂවරයා පැවසුවේ රටවල් ධනවත් වීම සහ අතිශය සැකසූ ආහාර, සීනි සහ මේද ආහාර වේලෙහි විශාල කොටසක් වන බැවින් ඉදිරි වසරවලදී මූල්‍ය බර ඉහළ යනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

“අද බොහෝ මධ්‍යම ආදායම් ලබන රටවල වසර විස්සකට පමණ පෙර කුසගින්න සහ මන්දපෝෂණය පොදු ගැටලුවක්ව තිබුණා. ඔබ වැඩෙන විට ඔබට ප්‍රමාණවත් ආහාරයක් නොතිබුනේ නම්, වැඩිහිටියෙකු වූ විට ඔබ ආහාර ආශ්‍රිත රෝග වලට ගොදුරු වන බව අද අපි දන්නවා” David Laborde පැවසීය.

2020 බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවක අධ්‍යයනයකින් හෙළි වූයේ ළමා වියේදී දරුණු මන්දපෝෂණයක් හෝ සාගතයක් අත්විඳීමෙන් පසු ජීවිතයේ හෘද රෝග, තරබාරුකම, අධි රුධිර පීඩනය, අධික රුධිර සීනි, ආඝාතය සහ දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානම වැඩි කරන බවයි.

Laborde මෙම අධිපෝෂණය (තරබාරුකම) සහ මන්දපෝෂණය යන සංයෝජන “මන්දපෝෂණයේ ද්විත්ව බරක්” ලෙස හැඳින්වූ අතර ඉහළ ආදායම් ලබන රටවලට මෙවැනි ගැටලු නොමැති බව පැවසීය.

“ඇත්ත වශයෙන්ම සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර වේල ඉහළ ආදායම් ලබන රටවලට වඩා මධ්‍යම ආදායම් ලබන රටවලට වඩාත් ගැටලුකාරී විය හැකියි. මැදි ආදායම් ලබන රටවල් අනෙකුත් ධනවත් ආර්ථිකයන්හි ගමන් මග අනුගමනය නොකිරීමට අපට අවශ්‍ය නම්, ඔවුන් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලෙහි ප්‍රශ්නය විසඳා ගත යුතු අතර, දියවැඩියාව වැළැක්වීම කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. මක්නිසාද යත් යමෙකුට දියවැඩියාව වැළඳුණු පසු ඔහුට ආපසු හැරවිය නොහැකියි” David Laborde පැවසීය.

මෙම බෝ නොවන රෝග (non-communicable diseases – NCD) සම්ප්‍රදායිකව ගෝලීය උතුරට විශේෂිත වූ ගැටලුවක් ලෙස සලකනු ලබන අතර ගෝලීය දකුණේ මහජන සෞඛ්‍ය ප්‍රතිපත්ති HIV වැනි බෝවන රෝග වැළැක්වීම කෙරෙහි අවධානය යොමු කර ඇත. නමුත් අද වන විට ලොව පුරා සිදුවන මරණ වලින් 74% NCD වලින් සිදුවන අතර මෙයින් 77% සිදුවන්නේ අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවලය.

මෙම රෝගවලට එරෙහිව සටන් කරන ගෝලීය සංවිධානයක් වන NCD Alliance හි Liz Arnanz මෙසේ පැවසීය, “සෞඛ්‍යයට අහිතකර නිෂ්පාදන පිටුපස කර්මාන්ත තිබෙනවා. වර්ධනය වන ආර්ථිකයන් මෙම කර්මාන්ත සඳහා නව වෙළඳපොළවල් ලෙස සැලකෙනවා. බොහෝ විට ඔවුන් ආකර්ෂණය වන්නේ නියාමනය නොමැතිකම හෝ නියාමනය බලාත්මක කිරීමට ඇති හැකියාව නොමැතිකම මතයි. උදාහරණයක් වශයෙන් මේ මොහොතේ අපට දැකිය හැක්කේ, මත්පැන් කර්මාන්තය අප්‍රිකානු රටවල් ඉතා ආක්‍රමණශීලී ලෙස ඉලක්ක කර ගැනීමයි”

නමුත් බොහෝ මධ්‍යම ආදායම් ලබන රටවල් සෞඛ්‍යයට අහිතකර ආහාර සහ නිෂ්පාදනවල වර්ධනය වන තර්ජනයට ක්‍රියාකාරීව ප්‍රතිචාර දක්වයි. ලතින් ඇමරිකාවේ, NCDs මරණ වලින් 70-85%කට වගකිව යුතු නමුත්, කලාපය වැළැක්වීමේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ගෝලීය ප්‍රමුඛයා බවට පත්ව ඇති බව Arnanz පැවසීය.

“මේ සතියේ කොලොම්බියාව සීනි සහිත බීම පමණක් නොව කුණු ආහාර / junk food සඳහාද බදු පැනවීම ආරම්භ කර තිබෙනවා” ඇය තවදුරටත් පැවසුවාය. මෙය බොහෝ ධනවත් රටවලට වඩා ශක්තිමත් ස්ථාවරයක් බව සඳහන් කළ Arnanz සෞඛ්‍ය සම්පන්න සහ පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීම පුද්ගලික තේරීමක් නොව දේශපාලන ප්‍රතිපත්තියක් බව පැවසීය.

Laborde පැවසුවේ ආහාර නිෂ්පාදනයේ සෞඛ්‍ය හා පාරිසරික පිරිවැය අඩු කිරීමට විශ්වීය විසඳුමක් නොමැති බවයි.

“අපට ආහාරවල මිල පමණක් වැඩි කළ නොහැකි අතර වෙළඳපළ ගැටලු විසඳනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. උදාහරණයක් ලෙස, අපි ස්ටීක් නිෂ්පාදනයට සම්බන්ධ සැඟවුණු පිරිවැය පිළිබිඹු කිරීම සඳහා මිල වැඩි කළහොත්, ඔවුන්ගේ මස් පරිභෝජනය අඩු කරන්නේ ධනවතුන් නොවෙයි. විසඳුම් වඩාත් බහුපාර්ශ්විකයි. සමහර අවස්ථාවල එය අධ්‍යාපනය, තවත් සමහර අවස්ථාවල පාසල් පෝෂණය කිරීමේ වැඩසටහන්. අපට බොහෝ දේ කළ හැකියි. නමුත් අපි ඕනෑවට වඩා සරල කළහොත් එය කළ නොහැකියි”

ලබන වසරේ ගෝලීය සෞඛ්‍යය වැඩිදියුණු කිරීම සඳහා විසඳුම් ගෙනහැර දැක්වීමට FAO සැලසුම් කරයි.

https://www.theguardian.com/global-development/2023/nov/06/global-health-disease-environmental-costs-food-industry-10tn-dollars-a-year-un-fao