ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය තුළ වී වගාව ප්‍රමුඛස්ථානයක් ගනී.පාරම්පරික වී ගොවිතැන සිදු කරන ගොවීන් පමණක් නොව වර්තමානය වන විට නව ගොවීන් මෙන්ම තරුණ ගොවීන් ද වී වගාවට යොමු වී ඇත.බොහොමයක් ගොවීන් අද වන විට නව තාක්ෂණ ක්‍රම  භාවිතා කරමින් තමන්ගේ වගා කටයුතු සිදු කිරීමට පෙළඹී ඇත.දියුණු වන ලෝකයක කෘෂිකර්මාන්තයන් දියුණු වීමට නම් එවැනි නව තාක්ෂණය , නව දැනුම හා නව කුසලතා අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා විවිධ ව්‍යාපෘති හා වැඩසටහන් රට පුරා සිදු වෙමින් පවතී.

අද වන විට රට තුළ ප්‍රමාණවත් සහල් ප්‍රමාණයක් නිපදවීමට හැකියාව ලැබී ඇත. නමුත් වසර 1893 කාලයේදී ලංකාවේ සාමාන්‍ය වී අස්වැන්න අක්කරයට බුසල් 70-80 ක් පමණ විය. ඒ කාලයේ සිටි ව්‍යාප්ති විද්‍යාඥයෝ වී අස්වැන්න වැඩි කරගැනීමට මහන්සි වූහ. පසුව ලංකාවේ රජය අමිශ්‍ර පොහොර භාවිතා කිරීමට තීරණය කළේය. පස පරීක්ෂා කිරීමෙන් පසු පසට ගැළපෙන පොහොර නිර්දේශ කිරීම එමඟින් සිදු විය. නමුත් මෙම නව ක්‍රමය ගොවීන් අතරට ගෙනයාම අසීරු විය. මෙම ක්‍රමය කුඩා අක්කර ප්‍රමාණයකට සිදු කිරීමට වඩා සංවිධානාත්මකව අක්කර 15-20 කට වගේ සිදු කර ගොවීන්ට දැකබලා ගැනීමට කටයුතු කළේය. එය ප්‍රථම වතාවට 1993 වර්ෂයේදී අම්පාර ප්‍රදේශයේ අක්කර 25 කට රසායනික පොහොර අමිශ්‍ර පොහොර ලෙස ලබා දීම සිදු කළ අතර එමගින් අක්කරයට බුසල් 5- 7 ක අස්වැන්නක් වැඩි කර ගැනීමට හැකි විය.ඒ තුලින් යායකට මෙම නව ක්‍රමය යෙදීම ආරම්භ විය. තව ද පිරිසිදු බිත්තර වී භාවිතා කිරීම , පිදුරු යෙදීම තුළින් කාබනික පොහොර භාවීතය වැඩි කිරීම තුළින් අස්වැන්න වැඩි විය. මෙම වැඩසටහන වී නිෂ්පාදනයේ යාය වැඩසටහන ලෙස නම් විය. ඒ කාලයේ ධාන්‍යාගාර ව්‍යාපෘතිය යන ව්‍යාපෘතිය සමඟ ආරම්භ වූ යාය වැඩසටහන තුළින් ලංකාවේ වී නිෂ්පාදනයේ ඵලදායීතාව වැඩි කරගැනීමට හැකි විය. කාලයක් ගත වීමෙන් පසු ධාන්‍යාගාර වැඩසටහන අවසන් වී ඇති වුණු විරාමයත් සමග වී නිෂ්පාදනයේ කාර්‍යක්ෂමතාව තවත් වැඩි කරගැනීමට යාය 2 හඳුන්වා දීම සිදු විය. 2014/2015 මහ කන්නයේ සිට දියවයින පුරා මෙම යාය 2 වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.

යාය 2 වී නිෂ්පාදන වැඩසටහනේ ප්‍රධාන අරමුණු කිහිපයක් ඇත. ඒවා නම්,

  • වසර 2025 ජාතික වී නිෂ්පාදනයේ සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයට මෙට්‍රික් ටොන් 4.3 (අක්කරයට බුසල් 86) සිට හෙක්ටයාරයට මෙට්‍රික් ටොන් 5.3 (අක්කරයට බුසල් 105 ) දක්වා ඉහළ නැංවීම හා අස්වැන්නේ ගුණාත්මක බව ඉහළ මට්ටමකට ගෙන යාම.

වී වගාව සිදු කරන විට ප්‍රධාන පද්ධති 3 ක් හඳුනාගත හැක. එනම් මහාවාරි , සුළුවාරි  හා අහස් දිය යන පද්ධති තුනේම අක්කරයට බුසල් 105 ක අස්වැන්නක් ගැනීම මෙහි අරමුණ වී ඇත. සුළුමාර්ගවල අක්කරයට බුසල් 120 ක් ද , මහාවාරි වල අක්කරයට බුසල් 144 ක් ද , අහස් දිය අක්කරයට බුසල් 100 ක් ද ගැනීමේ ඉලක්කය ඇතිව මෙම වැඩසටහන ආරම්භ කර ඇත.

  • පරිසර හිතකාමී යහපත් කෘෂිකාර්මික පිළිවෙත් භාවිතා කිරීම තුළින් පළිබෝධනාශක භාවිතයට ගැනීම හැකිතාක් දුරට අවම කිරීම හා රසායනික පොහොර භාවිතය විධිමත් කිරීම.
  • වී වගාවේදී මුහුණ දෙන ශ්‍රම හිඟයට විසඳුමක් ලෙස භෝග පිහිටුවීමේ සිට අස්වනු නෙළීම දක්වා යන්ත්‍ර භාවිතය ප්‍රචලිත කිරීම හා එමඟින් තරුණ කොටස්වල අවධානය දිනාගත හැකි කෘෂිකර්මාන්තයක් නිර්මාණය කරවීම.
  • මනා ජල කළමණාකරණයක් තුළින් වී නිෂ්පාදනයේදී ජලය භාවිතයට ගැනීම කාර්යක්ෂම කිරීම.
  • බෝග තීව්‍රතාව ඉහළ නැංවීමෙන් බෝග විවිධාංගීකරණය හඳුන්වා දීම තුළින් වී ගොවියාගේ ගොවිපලින් ලැබෙන සමස්ථ ආදායම ඉහළ නැංවීම.
  • වී නිෂ්පාදනයේ ඒකක පිරිවැය පහත හෙළීම.
  • පාරිභෝගික රුචිකත්වයට ගැලපෙන නිෂ්පාදන වෙළෙඳපොල වෙතට ඉදිරිපත් කිරීම.

යාය යනු ,

මෙම වැඩසටහනේ වැදගත් හා ක්‍රියාකාරී කොටස යාය වේ. එකම ජල මාර්ගයකින් ජලය ලබාගැනීම එකිනෙකට ආසන්නව පිහිටා ඇති වගා බිම් එකතුව හා ගොවි පිරිස යාය ලෙස හැඳින්වේ. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී යාය කණ්ඩායම අවම ප්‍රමාණයක් තීරණය කර ගැනීම වැදගත් වේ. එම කණ්ඩායමේ වී නිෂ්පාදනය දියුණු කිරීම මෙම වැඩසටහන මගින් සිදු කරයි. පසුව මෙම ගොවි කණ්ඩායම් ගොවි සමිති බවට ද පත් කිරීම සිදු වේ.

ලංකාවේ වී වගාව පහත් බිම් ආශ්‍රය කරගෙන සිදු කරන බව අප කවුරුත් දන්නා දෙයකි. එය වී වගාව සිදු කරන වගා බිම් දෙස බැලූ විට ද අපට පෙනේ.මහාවාරි මාර්ගයක් යටතේ සලකා බැලූ විට එම මහාවාරි මාර්ගයේ බෙදුම් ඇළකින් පෝෂණය වන බිම් ප්‍රදේශය යායක් ලෙස සැළකේ.

යාය වැඩසටහන සඳහා විවිධ තාක්ෂණික ක්‍රම නිර්දේශ වී ඇත. එම නිසා මුළු යායම එම නිර්දේශිත ක්‍රම අනුගමනය කිරීමෙන් මුළු යායේම අස්වැන්න වැඩි කර ගත හැක.

තාක්ෂණිකව නිර්දේශිත ක්‍රම

  • කන්නයට ගැළපෙන ලෙස යාය එකට වගා කිරීම.
  • බිම සැකසීම සඳහා වර්ෂා ජලය උපයෝගී කර ගත හැකි සෑම අවස්ථාවකදීම භාවිතා කිරීමෙන් නිසි උපකරණ භාවිතයට ගැනීම තුලින් මහා බිම් සකස් කිරීම.
  • යාය සඳහා වඩාත් උචිත ප්‍රභේද තෝරා ගැනීමෙන් ගුණත්වයෙන් ඉහළ බීජ වී භාවිතා කිරීම.
  • පාංශු පෝෂකත්වය දියුණු කිරීම.
  • බෝග සංස්ථාපනය සඳහා බීජ වර්ගකර හා පැළ සිටුවීමේ යන්ත්‍ර හා පැළ විසි කිරීමේ තාක්ෂණය (පැරෂුට්) යොදා ගැනීමත් ප්‍රශස්ත පැළ ගහනයක් පවත්වා ගැනීමටත් යොමු කරවීම.
  • මනා ජල කළමනාකරණය තුළින් ජල භාවිතය කාර්යක්ෂම කිරීම.
  • ඒකාබද්ධ වල් පාලන හා පළිබෝද පාලන මූලධර්ම භාවිතා කිරීම තුළින් පාරිසරික ගැටලු අවම කිරීම.
  • බෝග තීව්‍රතාවය ඉහළ නැංවීම හා බෝග විවිධාංගීකරණය
  • පසු අස්වනු තාක්ෂණය භාවිතයෙන් ගුණාත්වයෙන් ඉහළ වී නිපදවීම.

කන්නයට ගැලපෙන පරිදි යාය එකට වගා කිරීමට කන්න රැස්වීම තුලදී ගොවීන්ට වගාව ආරම්භ කිරීමට දින වකවානු ලබා දිම සිදු කරයි.

මෙහිදී යායට සුදුසු එකම වයස් කාණ්ඩයේ වී ප්‍රභේද තෝරා ගැනීමත් ගුණාත්මක බිත්තර වී භාවිතයත් සිදු කරයි. මෙමගින් යාය තුළ ජල කළමණාකරණය පහසු වේ. මාස 3- 3 ½ වයස් කාණ්ඩයට අයත් බීජ වී භාවිතා කිරීමට ගොවියා උනන්දු කරවීම මෙහිදී සිදු කරයි. එපමණක් නොව ඊළඟ කන්නය සඳහා අවශ්‍ය බිත්තර වී යාය තුළම නිපදවා ගැනීමටත් ගොවියා උනන්දු කරවීම සිදු කරයි. බිම් සැකසීමේදී වර්ෂා ජලය භාවිතා කිරීමට ගොවියා උනන්දු කරවන අතර එමගින් වතුර මුර 3 -4 ක් ඉතිරි කර ගැනීමට හැකි වේ. තවද මෙහිදී පස් පරීක්ෂාවක් සිදු කරනු ලබයි. ඒ තමන්ගේ කුඹුරට  ගැලපෙන පරිදි පොහොර නිර්දේශ ලබා ගැනීමටයි. මෙහිදී කාබනික පොහොර යෙදීම අනිවාර්ය වන අතර ඒ සඳහා පිදුරු , කොම්පෝස්ට් , කොළ පොහොර , සත්ත්ව පොහොර , කර දහයියා වැනි කාබනික පොහොර භාවිතා කරයි. මෙහි සුවිශේශී දෙයක් වන්නේ නම් නයිට්‍රජන් පොහොර භාවිතයේදී පත්‍ර වර්ණ දර්ශකය භාවිතා කිරීමට ගොවියා උනන්දු කරවීමයි. තවද මෙහිදී පැළ විසිකිරීමේ තාක්ෂණයට ගොවීන් පුරුදු කරවීම සිදු වේ. එමගින් නිෂ්පාදන වියදම අඩු කරගත හැකි වන අතර වල් පැළ පාලනය ද සිදු කර ගත හැකි වේ. මෙම යාය ක්‍රියාවලියේ මනා ලෙස බිම් සකස් කිරීම සිදු වන නිසා වල් නාශක අවම ලෙස භාවිතා කර වල් පැළ පාලනය සිදු වේ. එපමණක් නොව නිසි අයුරින් බිම් සකස් කිරීම තුළින් කාර්යක්ෂම ජල කළමණාකරණයක් ද පවත්ව ගැනීමට හැකියාව ලැබේ. තවද මෙහිදී ඒකාබද්ධ පළිබෝධ පාලනය සම්බන්ධයෙන් හා අවම පළිබෝධනාශක භාවිතයට ගොවීන් දැනුවත් කරයි.

යම් යම් හේතු නිසා අද වන විට මෙම යාය 2 සංකල්පය ගොවීන් අතරින් ඈත් වෙමින් පවතී. රටේ ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ගොවියාට පොහොර මිලදී ගැනීමට නොහැකි වීමෙන් , රටේ ඇති වූ පොහොර හිඟයත් වැනි කරුණු හේතුවෙන් අප රටේ කෘෂිකර්මාන්තය තුළ යම් යම් බිඳවැටීම් සිදු විය. මෙවැනි දේ හේතුවෙන් යාය 2 වැනි වැඩසටහන් තුළ ඇති තාක්ෂණික සංකල්ප යොදා ගනිමින් අස්වැන්න වැඩි කරගැනීමට ගොවීන් දැනුවත් කිරීම සිදු කළ යුතුය. එමගින් ලංකාව තුළ කෘෂිකර්මාන්තය දියුණු කිරීමට හැකියාවක් ලැබේ.

සැකසුම

හෂිනි කෞෂල්‍යා,                                                                                                                                                                            කෘෂිකර්ම පීඨය                                                                                                                                                                                පේරාදෙණිය විශ්ව විද්‍යාලය.

තොරතුරු සැපයීම – කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශ්‍රාමලත් අධ්‍යක්ෂ ව්‍යාප්ති හා පුහුණු ජගත් සුදසිංහ මහතා