විශාල ප්‍රශ්නය ඇත්ත වශයෙන්ම පැමිණෙන්නේ ඉදිරි වසර 20 තුළ යි. සමස්තයක් ලෙස ගෝලීය ක්‍රීඩාව සහ දේශීය ක්‍රීඩා ගැන ඉතා දැඩි ලෙස සිතිය යුතුයි

මේ වන විට ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය ඉන්දියාවේ පැවැත්වෙමින් තිබේ. එහෙත් මේ අතර ඉන්දියාව දැවැන්ත පාරිසරික සහ සෞඛ්‍ය ගැටලුවකට ද මුහුණ දෙමින් සිටී. එය ලෝක කුසලාන තරඟාවලියට ඍජු බලපෑමක් එල්ල කර නැතත් ඇතැම් පිරිස් මේ ගැන ද අවධානය යොමු කර තිබේ, නැතහොත් ඒ ගැන වද වෙමින් සිටී.

“ මේ වන විට දිල්ලය පුරා පැතිර ඇති අධික දුමාරය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ ක්‍රීඩා ලෝලීන්ට ගැටලු ඇති කරනවා. මෙම දැවැන්ත පාරිසරික ගැටලුව ප්‍රභූ ක්‍රීඩාවට වඩ වඩාත් බලපානවා” ඉන්දීය ජාතික දේශගුණික විපර්යාස ක්‍රියාකාරිකයෙක් වන රෝහිත් රෝයි පැවසුවේය.

“දිල්ලි නගර මධ්‍යයේ පිහිටි අරුන් ජෙට්ලි ක්‍රීඩාංගනයේ සිට පෙනෙන දසුන කිරි පාටයි. දිල්ලියේ වාතයේ ගුණාත්මකභාවය කෙතරම් නරකද යත්, පුහුණු සැසි ගණනාවක් අවලංගු කර තිබෙනවා. දිල්ලියේ වායු තත්ත්ව දර්ශකය මෑත දිනවල සෞඛ්‍යයට අහිතකර සහ අනතුරුදායක වන අතර, සෞඛ්‍ය ගැටලු ඇති  කරන බැවින් එළිමහන් ක්‍රියාකාරකම් දැනට නිර්දේශ කර නැහැ” රෝහිත් පෙන්වා දුන්නේය.

දිල්ලියේ වායු දූෂණය ඉන්දියාවේ ඔලිම්පික් බලාපොරොත්තුවලට මරු පහරක් බව බොහෝ දෙනෙක් පවසයි.

දුමාරය යනු විදුලි බලාගාර, වාහන සහ අනෙකුත් ප්‍රභවයන්ගෙන් සිදුවන දූෂණයේ  ප්‍රතිඵලයක් වන  අතර එය සූර්යාලෝකය සහ තාපය තුළ ප්‍රතික්‍රියා කරමින් සෞඛ්‍ය හා පාරිසරික ගැටලු රැසක් ඇති කරයි. මේ අතර දේශගුණික විපර්යාස හේතුවෙන් ගෝලීය උණුසුම ඉහළ යමින් තිබෙන අතර වායු දූෂණයට එයට උත්තේජනයක් සපයයි.

ලෝක කුසලානයට සහභාගී වීමට දිල්ලියට පැමිණ සිටින ක්‍රිකට් තරුවලට ඝන දුමාරය සමඟ පොරබදන්නට සිදුවී ඇත. විශේෂයෙන් හානිකර අංශු ආශ්වාස කිරීමට සිදුව ඇත.

දුමාරයට සමග පිටවන මෙම අංශුවලින් සමහරක් ඉතා කුඩා බැවින් ඒවා ඔබේ පෙණහළු වල ගැඹුරට ඇතුළු විය හැකි අතර සමහර ඒවා ඔබේ රුධිරයට පවා ඇතුල් වේ. සියුම් අංශු හෝ PM2.5 ලෙසද හැඳින්වෙන විෂ්කම්භය මයික්‍රොමීටර 2.5 ට අඩු අංශු සෞඛ්‍යයට විශාලතම අවදානමක් ඇති අතර දිල්ලියේ වත්මන්  PM2.5 කියවීම ඝන මීටරයකට මයික්‍රො ග්‍රෑම් 184ක් වන අතර එය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නියම කර ඇති සීමාව මෙන් 12 ගුණයක් වේ.

නිදන කාමරවල වායු පවිතකාරක සහ තණතීරුව අසල ජලය ඉසීම මගින් ලෝක කුසලාන තරඟවල ගැටලු සමනය කිරීමට සංවිධායකයින් උත්සාහ කරයි.

“පරමාදර්ශී ලෝකයක ඔබට මෙවැනි තත්වයකට මුහුණ දීම අවශ්‍ය නැහැ. නමුත් මට හොඳටම විශ්වාසයි අදාළ පුද්ගලයින් මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව” ඉන්දීය  නායක රෝහිත් ෂර්මා පැවසීය.

2036 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය සැපයීමට බලාපොරොත්තු දල්වා සිටින ඉන්දියාවේ ප්‍රතිරූපයට ක්‍රිකට් ලෝක කුසලානයේ ඇති ගැටලු ද සුබ ආරංචියක් නොවේ. දුමාරයෙන් පිරුණු දිල්ලියක ඡායාරූප නිසැකවම එම හේතුවට උදව් කරන්නේ නැත.

තාපය, දුමාරය, කෘතිම හිම

පාරිසරික හා දේශගුණික විපර්යාස ප්‍රභූ ක්‍රීඩාවට බලපානු දැකීම වඩ වඩාත් සුලභ වෙමින් පවතින බව රෝහිත් රෝසි පැවසීය.

“උණුසුම් තාප තරංගයක් යටතේ ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේදී දහසක් දෙනා උෂ්ණාධික ගැටලු වලින් පීඩා විඳිමින් සිටින ආකාරය අපි දැක්කා. ඔබ දන්නා පරිදි 2020 ටෝකියෝ ඔලිම්පික් උළලේදී පිහිනුම් ක්‍රීඩකයින්ට සෞඛ්‍යයට තර්ජනයක් වන සෙල්සියස් අංශක 30ක ජලයේ ක්‍රීඩා කිරීමට සිදු වුණා. මේ තත්ත්වයන් කිසිසේත් යහපත් ඒවා නොවෙයි. එහි සෞඛ්‍ය ගැටලු ගැන අපි ප්‍රමාණවත් තරම් අවධානයක් යොමු කර නැහැ.”  රෝයි වැඩි දුරටත් පැවසීය.

Football for Future හි සම-නිර්මාතෘවරයා වන David Goldblatt කියන්නේ දේශගුණික විපර්යාසවලට ප්‍රතිචාර ලෙස ක්‍රීඩාව ද සැලකිය යුතු ලෙස වෙනස් කළ යුතු බවය.

“විශාල ප්‍රශ්නය ඇත්ත වශයෙන්ම පැමිණෙන්නේ ඉදිරි වසර 20 තුළ යි. සමස්තයක් ලෙස ගෝලීය ක්‍රීඩාව සහ දේශීය ක්‍රීඩා ගැන ඉතා දැඩි ලෙස සිතිය යුතුයි” ගෝල්ඩ්බ්ලැට් පැවසීය.

දේශගුණික අර්බුදයෙන් වැඩිපුරම පීඩාවට පත් වූ ක්‍රීඩාව වන ස්කීං ක්‍රීඩාවේදී දේශගුණික විපර්යාස කර ඇති බලපෑම දැන් වඩාත් පැහැදිලිව පෙනේ. ක්‍රීඩාවේ ජාත්‍යන්තර පාලක මණ්ඩලය වත්මන් ලෝක කුසලාන දින දර්ශනය පුළුල් කිරීමට උත්සාහ කරන අතර, විවේචන උස් හඬින් වැඩෙමින් තිබේ.

ඔස්ට්‍රියාවේ හිම මත ලිස්සා යාමේ සංගමයේ ප්‍රධාන ලේකම් ක්‍රිස්ටියන් ෂෙරර් පැවසුවේ “අපිට දේශගුණික විපර්යාස ප්‍රතික්ෂේප කළ නොහැකි අතර එයට අනුගත විය යුතුයි”

අදාළ තරඟාවලි සංවිධානය කිරීම වෙනුවෙන් ස්ථාන නිර්ණය කිරීමේදී හිම ආරක්ෂාව සහ පවතින පහසුකම් භාවිතා කිරීම වැනි තිරසාර උත්සාහයන් වැනි සාධක අනාගතයේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇත. ඉන්දියාවේ දැන් පවතින පරිදි තාප තත්ත්‍වයට සහ වාතයේ ගුණාත්මක භාවයටද ඊට අදාළ වේ.

2030 ලෝක කුසලානය: සංකේතාත්මකව උමතුව

ක්‍රීඩාව දේශගුණික අර්බුදයේ ගොදුරක් පමණක් නොවේ. ආධුනික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුවීම් සහ තරඟ සඳහා සතියකට කිහිප වතාවක් මෝටර් රථයට නැගීමේ සිට ඔලිම්පික් වැනි ප්‍රධාන ඉසව් දක්වා ක්‍රීඩාව පරිසරය සම්බන්ධයෙන් ගත් කල සැලකිය යුතු පාරිසරික බලපෑමක් කරයි.

2030 ලෝක පාපන්දු කුසලානය ගැන ගෝල්ඩ්බ්ලැට් පැවසුවේ “එය සංකේතාත්මකව උමතුවක් ලෙස සැලකිය හැකියි. පාපන්දු ලෝලියෙකු ලෙස මම උරුගුවේ රාජ්‍යයයේදී තරඟාවලිය ආරම්භ කිරීම ගැන අනුකම්පා කරනවා. මහාද්වීප තුනක තරඟ 105කින් සමන්විත තරඟාවලියක්, දස දහස් ගණනක් ක්‍රීඩාලෝලීන් එහා මෙහා ගමන් කිරීම පාරිසරික දෘෂ්ටි කෝණයකින් විහිළුවක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ FIFA වැනි ක්‍රීඩා සංගම් CO2 වන්දි වැඩසටහන් සඳහා ගෙවීමෙන් ඔවුන්ගේ ඉසව් “දේශගුණයට හිතකර” හෝ “දේශගුණික මධ්‍යස්ථ” ලෙස ලේබල් කිරීමට උත්සාහ දරමින් සිටියද, මෙය “පිළිගත හැකි සැලැස්මක් නොවේයි”.

උත්ප්‍රාසාත්මක ලෙස, FIFA සහ IOC යන දෙකම ලෝක දේශගුණ සමුළුවේ කොටසක් ලෙස වැඩි දේශගුණික ආරක්ෂාවක් සඳහා කැපවී ඇත. ක්‍රීඩා ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රකාශිත ඉලක්කය අනුව හරිතාගාර වායු විමෝචනය 2030 වන විට අඩකින් අඩු කිරීමට සහ 2040 වන විට බිංදුවට අඩු කිරීමට නියමිතය. වැඩිදුර සාකච්ඡා නොවැම්බර් මස අවසානයේ ඩුබායි හි පැවැත්වීමට නියමිත COP 28 ලෝක දේශගුණ සමුළුවේදී සිදුවීමට නියමිතය.

තවත් හඬවල් අවශ්‍යයි

ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය තවමත් එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී සැලැස්මට අත්සන් කර නැති නමුත් තමන්ගේම තිරසාර ඉලක්ක තබා ඇත. දුමාරයෙන් පිරුණු ලෝක කුසලාන තරඟාවලියෙන් පෙන්නුම් කරන්නේ ක්‍රීඩාව පරිසර ආරක්ෂණයේ ආදර්ශයක් වීම කෙතරම් අවශ්‍යද යන්නයි. එබැවින් ක්‍රීඩාවෙන්ම කැපී පෙනෙන හඬවල් අවශ්‍ය බව ගෝල්ඩ්බ්ලාට් පැවසීය.

“අපිට Marcus Rashford කෙනෙක් අවශ්‍යයි. අපට පාපන්දු සහ ක්‍රිකට් ක්‍රීඩාවේ සිටින පිරිමින් සහ කාන්තාවන් සියලු දෙනා අවශ්‍යයි. දේශගුණික විපර්යාස අවම කිරීම වෙනුවෙන් නැගී සිටීමට යන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයා කවුද ? ඔහුට ඉන්දීය දේශපාලනයේ ප්‍රධාන හඬක් ලැබෙන බව සහතිකයි.” David Goldblatt අනාවැකි පළ කළේය.

“ ක්‍රීඩාව මගින් සිදුවන දේශගුණික විපර්යා අවම කිරීම නැගී සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්නවා. ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් නායක පැට් කමින්ස්, ක්‍රිකට් ක්‍රීඩාවට දේශගුණික බලපෑම ගැන හඬ නඟමින් සිටිනවා. එවැනි ප්‍රබලයින් කිහිප දෙනකු අප අතර සිටිනවා. ඔවුන්ගේ සංඛ්‍යාවේ වර්ධනයක් තමයි දැන් අවශ්‍ය වෙන්වෙන්නේ ” David Goldblatt වැඩි දුරටත් පැවසුවේය.

https://www.dw.com ඇසුරිණි