පිරිසුදු, සෞඛ්‍ය සම්පන්න සහ තිරසර පරිසරයක් ලැබීමට දරුවන්ට අයිතියක් ඇති බව ත්, එය සහතික කිරීමට රජයයන් කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව ත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවක් හරහා එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් කමිටුව පවසන්නේ, දේශගුණික විපර්යාස නිසාවෙන් ජීවත්වීම, පැවැත්ම සහ වර්ධනය සඳහා දරුවන්ට ඇති අයිතියට බලපෑම් එල්ලවන බව ය.

වඩාත් අවදානමට ලක්විය හැකි පාර්ශව අතර කුඩා දරුවන් සිටිනමුත්, දේශගුණික විපර්යාස පිළිබඳ විවාදවල දී ඔවුන්ගේ හඬ ඇසෙන්නේ කලාතුරකින් බව එම වාර්තාව පවසයි.

අඟහරුවාදා නිකුත් කළ එම වාර්තාව හරහා රජයයන් අනුගමනය කළ යුතු නව මාර්ගෝපදේශ හඳුන්වා දී තිබේ.

තරුණ තරුණියන්ගේ සහාය ඇතිව සකස් කරන ලද එම වාර්තාවේ, ෆොසිල ඉන්ධන ක්‍රමයෙන් භාවිතාවෙන් ඉවත් කිරීම සහ පුනර්ජනනීය බලශක්තිය වෙත යොමුවීම ද ඇතුළත් ය.

වාතයේ ගුණාත්මකබව නිරීක්ෂණය කිරීම, ආහාර සුරක්ෂිතතාව නියාමනය කිරීම සහ වායු විමෝචනය හා විෂ සහිත ඊයම්වලට නිරාවරණය වීම වැළැක්වීම ආදී දේශගුණික විපර්යාසවල හානිකර බලපෑම්වලින් දරුවන් ආරක්ෂා කිරීමේ පියවර ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවලට සිදුවනු ඇත.

පාරිසරික කාංසාව සහ විෂාදය යනු වැඩිවෙමින් පවතින මානසික තත්ත්වයන් ලෙස හඳුනා ගනිමින්, දේශගුණික විපර්යාසය සහ දරුවන්ගේ මානසික සෞඛ්‍යය අතර ඇති “පැහැදිලිව දිස්වෙමින් පවතින සම්බන්ධය” කෙරෙහි රටවල් අවධානය යොමු කළ යුතු ය.

තව ද, නව මර්ගෝපදේශ සකස් කිරීමේදී තරුණ ප්‍රජාව සහභාගී කරවා ගත යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

රජයයන්ගේ වගකීම වන්නේ වත්මන සිදුවෙන හානිවලින් දරුවන් ආරක්ෂා කිරීම පමණක් නොව, කාලගුණ විපර්යාසයේ අනාගත බලපෑම්වලින් ද ඔවුන් ආරක්ෂා කිරීම බව එම වාර්තාව පවසයි. ඔවුන්ගේ ම දේශසීමා තුළ සහ ඉන් පිටත සිදුවන පාරිසරික හානි සඳහා ද ඔවුන් වගකිව යුතු ය.

මෙම වාර්තාව සම්පාදනය කරන ලද්දේ සාමාජික රටවල්, ජාතික මානව හිමිකම් ආයතන, ජාත්‍යන්තර සංවිධාන, විශේෂඥයින් සහ දේශගුණික විපර්යාස පිළිබඳ තරුණ උපදේශකයින් 12 දෙනෙකුගෙන් සමන්විත උපදේශක කමිටුවක් සමග පැවති උපදේශන වට දෙකකින් පසුව ය.

පාරිසරික විනාශය (හායනය) සහ දේශගුණික විපර්යාස හේතුවෙන් ඔවුන්ගේ ජීවිතවලට සහ ප්‍රජාවන්ට ඇති වන බලපෑම් ගැන රටවල් 121ක ළමුන් ඉදිරිපත් කළ තොරතුරු 16,331ක් කමිටුවට ලැබී තිබිණි.

කමිටුවේ ප්‍රධානියා වන ඈන් ස්කෙල්ටන් ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ, පාරිසරික හානිවලින් දරුවන් ආරක්ෂා කිරීමට රජයයන්ට ඇති බැඳීම් පැහැදිලිව පෙනී යන බැවින් එම මාර්ගෝපදේශවල “විශාල සහ ප්‍රබල වැදගත්කමක්” ඇති බව ය.

“දරුවන් කියන්නේ වත්මන් ලෝකයේ නිර්මාණකරුවන්, නායකයින්, චින්තකයින් සහ වෙනස් කරන්නන්. අපේ හඬ වැදගත්. ඒ හඬට සවන් දෙන්න වටිනවා,” කමිටුවේ ළමා උපදේශකයෙකු ද වන, ඉන්දීය දේශගුණික සහ ළමා හිමිකම් ක්‍රියාකාරී 17 හැවිරිදි කාර්තික් පැවසීය.

දේශගුණික විපර්යාස හේතුවෙන් අප ගෝලීය අර්බුදයකට මුහුණ පා සිටින බව විද්‍යාඥයින් සහ දේශපාලඥයින් පවසන අතර, පසුගිය ශතවර්ෂය පුරාවට ම දක්නට ලැබුණු විශේෂයෙන් වේගවත් දේශගුණික විපර්යාස මිනිසුන් විසින් ඇති කරන ලද්දක් බවට සැක නැතැ යි විද්‍යාඥයෝ පවසති.

මෙතෙක් හඳුනාගෙන ඇති බලපෑම්:

  • හදිසියෙන් ඇතිවන අධික ග්‍රීෂ්මය, නියඟය සහ ජලගැලීම් වැනි වඩාත් නිරන්තර හා දැඩි අයහපත්/ආන්තික කාලගුණ තත්ත්වයන්
  • මුහුදු ජල මට්ටම ඉහළ යෑමට හේතු වෙමින් ග්ලැසියර් සහ අයිස් තට්ටු වේගයෙන් දියවී යෑම
  • ආර්ක්ටික් මුහුදේ අයිස් ප්‍රමාණය අතිශයින් අඩුවීම
  • සාගර උණුසුම් වීම සහ සමුද්‍රයේ හදිසියෙන් ඇතිවන අධික උණුසුම් තත්ත්වයන්
Text copied by – bbc sandesaya