අද දේශගුණය සම්බන්ධයෙන් අප ක්‍රියා කරන ආකාරය පිළිබඳව අනාගත පරම්පරාවන් වඩාත් සැලකිල්ලට ගත යුතු යැයි විශ්වාස කරන සමහරු සිටිති.

තිරසාරත්වය යනු කුමක්ද? / WHAT IS SUSTAINABILITY?

බොහෝ තිරසාර භාවිතයන් වසර දහස් ගණනක් තිස්සේ පැවතුනද, “තිරසාරභාවය /sustainability” යන සංකල්පය අවම වශයෙන් 18 වැනි සියවසේ ජර්මනිය දක්වා දිව යයි. 1987 දී, තිරසාර සංවර්ධනය අධීක්‍ෂණය කරන UN’s Brundtland කොමිසම, තිරසාර බව නිර්වචනය කළේ “අනාගත පරම්පරාවන්ට තමන්ගේ අවශ්‍යතා සපුරාලීමට ඇති හැකියාවට හානියක් නොවන පරිදි වර්තමාන අවශ්‍යතා සපුරාලීම” යනුවෙනි. එය පොදුවේ භාවිතා වන නිර්වචනයකි.

වසර හතකට පෙර Sophie Howe ලොව ප්‍රථම අනාගත පරම්පරාවේ කොමසාරිස් (future generations commissioner) බවට පත් වූවාය. වේල්සයේ අනාගත පරම්පරාවේ අවශ්‍යතා ආරක්ෂා කිරීම ඇයට භාර වූ අතර, දේශගුණය ඇතුළු වේල්ස් රජයට දිගුකාලීන චින්තනය පිළිබඳ උපදෙස් ලබා දීමේ වගකීම ද ඇය වෙත පැවරී ඇත.

එය එකවරම අර්ථවත් සහ දුෂ්කර ප්‍රශ්න රාශියක් මතු කරන භූමිකාවකි. නිදසුනක් වශයෙන්, අද ජීවත් වන පුද්ගලයෙකු තවත් වසර පහකින්, 50කින් හෝ 100කින් උපත ලබන මිනිසුන් නියෝජනය කරන්නේ කෙසේද?

“මම නිතරම කියන්නේ මම නූපන් අයව නියෝජනය කරන නමුත් ඔවුන් නිතරම මා සමඟ කතා කරන්නේ නැහැ. අනාගත පරම්පරාවට අවශ්‍ය වන්නේ කුමක්දැයි අපට හරියටම දැනගත නොහැකියි.” හෝව් පවසයි. කෙසේ වෙතත් අප උත්සාහ නොකළ යුතු බව මින් අදහස් නොවේ. දේශගුණික බලපෑම් උත්සන්න වෙමින් ඇති අතර එය කාලයත් සමඟ නරක අතට හැරෙන විට අනාගතයේ  ජීවත් වන බිලියන සංඛ්‍යාත ජනතාවගේ යහපැවැත්ම කෙසේ දැයි සලකා බැලීම සඳහා රජයන්, සමාජයන්, දාර්ශනිකයන් සහ තරුණයින් වඩ වඩාත් කාර්ය බහුල වී සිටිති.

‘මම ලෝකයේ කොහේ ගියත්, අනාගත පරපුර ගැන කතා කළත් සාමාන්‍ය ප්‍රතිචාරය වන්නේ ‘අනේ දෙවියනේ ඇයි හැම රටකම එහෙම එකක් නැත්තේ ? යන්නයි‘ සොෆී හෝව් පවසයි.

අපගේ පරම්පරාවේ බලපෑම වර්තමාන දේශගුණික ක්‍රියාවන්ට ගෙන ඒමට විවිධ ක්‍රම ඇති බව පෙනී යයි. නීතිමය ක්‍රියාමාර්ග සහ පුරවැසි රැස්වීම් දක්වාත්, හෝව් වැනි අනාගත පරම්පරාවේ කොමසාරිස්වරුන් දක්වා එය දිගු විය හැකිය.

හෝව් ග්ලාස්ගෝ හි විරෝධතාකරුවන්ගේ පෙළපාලියක් මෙහෙයවමින්. Greta Thunberg විසින් 2018 දී ආරම්භ කරන ලද ගෝලීය දේශගුණ වැඩ වර්ජන ව්‍යාපාරයට සමගාමීව මෙය සිදුවේ.

ඔබේ මී මුනුබුරු මිනිබිරියන් සඳහා කොමසාරිස්වරයෙක්

‘දේශගුණික විපර්යාස සහ ඒ වටා ඇති අන්තර් පරම්පරාගත ගැටලු න්‍යෂ්ටික යුද තර්ජනවල සිට කෘත්‍රිම බුද්ධිය හෝ ජීව විද්‍යාත්මක අවි හා සම්බන්ධ තාක්ෂණික අවදානම් දක්වා පැතිරේ. එය ලෝකය මුහුණ දෙන දිගු කාලීන අවදානම් පිළිබඳ විශාල චිත්‍රයක එක් කොටසක් පමණි‘ දාර්ශනිකයෙකු සහ The Good Ancestor හි කතුවරයෙකු වන Roman Krznaric පවසයි.

කෙසේ වෙතත්”දේශගුණික අර්බුදය ගැන අප දන්නා එක් දෙයක් නම් එහි ඇදහිය නොහැකි තරම් දිගු කාලීන බලපෑම් ඇති බවයි. පරම්පරාගත දේශගුණික ගැටලුවේ හරය එයයි. අපි අනාගතය යටත් විජිතකරණය කර තිබෙනවා. අපි අනාගතය සලකන්නේ පාරිසරික හායනය සඳහා කුණු කන්දක් ලෙසයි‘ ඔහු පවසයි.

“දේශපාලන හඩක් නැතත්, දේශපාලන නියෝජනයක් නැතත් බිලියන ගණනක ජනතාවක් අනාගතයේ වාසය කරන බව ද අපි දන්නවා. අපගේ දේශගුණික ක්‍රියාවලින් පීඩාවට පත්වන පරම්පරාවන්ට පද්ධතිය තුළ කිසිදු ආකාරයක හඬක් ලබා දීමට අපගේ දේශපාලනය සැලසුම් කර නැහැ” රෝමන් කණස්සලු ස්වරයෙන් හෙළිකරයි.

වේල්ස් රජය ( එක්සත් රාජධානිය තුළ බලය බෙදා හරින ලද පරිපාලනයක් ) විසින් 2015 දී සම්මත කරන ලද අනාගත පරම්පරාවේ යහපැවැත්මේ පනත (wellbeing of future generations act)  මෙය විසඳීමට එක් උත්සාහයකි.

සෞඛ්‍ය මණ්ඩල සහ පළාත් පාලන ආයතනවල සිට වේල්ස් රජය දක්වාම සියලුම රාජ්‍ය ආයතන සඳහා අවශ්‍යතාවයක් පනත මඟින් ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇත. ඔවුන්ගේ තීරණ අනාගත පරම්පරාවන්ට තම අවශ්‍යතා සපුරාලීමට ඇති හැකියාවට හානියක් නොවන පරිදි වර්තමාන අවශ්‍යතා සපුරාලන ආකාරය නිරූපණය කිරීමට මේ පනත අනුව නියම කෙරේ. වෙනත් වචන වලින් කිවහොත්, ඔවුන්ගේ තීරණ “තිරසාරභාවය” සඳහා සහය වන ආකාරය නිරූපණය කළ යුතුය. සමෘද්ධිමත් වේල්සයක්, සෞඛ්‍ය සම්පන්න වේල්සයක්, වඩා සමාන වේල්සයක්, ගෝලීය වශයෙන් වගකිව යුතු වේල්සයක් සහ ඔරොත්තු දෙන වේල්සයක් (මෙයට පාරිසරික ඔරොත්තු දීමේ හැකියාව ඇතුළත් වේ) ඇතුළුව ව්‍යවස්ථාපිත නිර්වචන සහිතව දීර්ඝ කාලීන ජාතික යහපැවැත්ම ඉලක්ක හතක් නීතිය මඟින් ස්ථාපිත කර ඇත.

අනාගත පරම්පරාවේ කොමසාරිස්වරයාගේ කාර්යය වන්නේ, මෙම ඉලක්ක කරා ළඟා වීමට රාජ්‍ය ආයතනවලට සහාය වීම, ඒවායේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සහ සමාලෝචනය කිරීම සහ නිර්දේශ නිකුත් කිරීම ය. ඔවුන්ගේ නිර්දේශ අනුගමනය කිරීමට කිසිදු බැඳීමක් නැති නමුත් ඒවා එසේ නොවන්නේ මන්දැයි පැහැදිලි කරමින් අදාළ ආයතන ඇයට ප්‍රතිචාර දැක්විය යුතුය.

හෝව් බොහෝ දුරට අවධානය යොමු කර ඇත්තේ රජයේ ප්‍රවාහන උපායමාර්ගය කෙරෙහි ය. ස්වභාවික තෙත්බිම් වලින් සමන්විත ඉතා ජෛව විවිධත්වයක් සහිත ප්‍රදේශයක් වන Gwent Levels හරහා Newport නගරය වටා අතිරේක මාර්ගයක් සඳහා වේල්ස් රජය විසින් සැලසුම් අනුමත කිරීමෙන් පසුව, Howe මැදිහත් වී එය පවත්වා ගෙන යන සහ වැඩි දියුණු කරන අඩු කාබන් සමාජයක් සඳහා වන ඉලක්කවලට ගැලපෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කළාය.

ආර්ථික තර්ක මත පදනම්ව මාර්ගය ඉදිරියට යා යුතු යැයි මහජන පරීක්ෂණයක් නිර්දේශ කළද, අවසානයේ වේල්ස් පළමු අමාත්‍යවරයා තීරණය කළේ හෝවේගේ දිගුකාලීන පාරිසරික සලකා බැලීම්වලට වැඩි බරක් ලබා දීමටය. ඔහු සැලසුම් ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළේය.

“මම හිතන්නේ එය ස්වාධීන කෙනෙකුගේ බලයට යයි‘ හෝව් කියයි.

‘අනාගත පරම්පරාවන් සඳහා මෙය ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි මට ඔබෙන් ඇසීමට අවශ්‍යයි. මෙමගින් අප මුහුණ දෙන මෙම දිගුකාලීන ගැටළු වලට විසඳුම් ලබා දිය හැකිද?” හෝව් ප්‍රශ්න කරයි.

එකල පොදු හෝ සක්‍රීය ප්‍රවාහනයට වඩා මාර්ග සඳහා ආයෝජන යොමු කළ රජයේ සමස්ත ප්‍රවාහන උපාය මාර්ගයටම හෝව් අභියෝග කළේ ඔවුන් වියදම් කරන කාබන් බලපෑම තක්සේරු කරන්නේ කෙසේදැයි විමසමිනි.

“පසුව අපි සම්පූර්ණයෙන්ම නව ප්‍රවාහන උපාය මාර්ගයක් සංවර්ධනය කිරීම සඳහා රජය සමඟ කටයුතු කළා. එමඟින් පුද්ගලික මෝටර් රථ භාවිතය ප්‍රමුඛතා ගොඩේ පතුලේ තැබූ අතර ක්‍රියාකාරී සංචාර සහ පොදු ප්‍රවාහනය ඉහළින්ම තැබුවා” හෝව් පවසයි.

2021 දී, අනාගත පරම්පරාවේ පනත සමඟ මාර්ග ගොඩනැගීමේ ප්‍රතිපත්ති තක්සේරු කිරීම සඳහා සමාලෝචනයක් කිරීමට වේල්ස් රජය තීරණය කළේය. ඒ අතර දේශගුණික බලපෑම හේතුවෙන් රට තුළ මාර්ග ගොඩනැගීම යළි සමාලෝජනය කිරීමක් කරන බව ද රජය නිවේදනය කළේය. මේ වසර අගදී මේ සම්බන්ධ අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වේ.

Howe දැන් වේල්සයේ අනාගත පරම්පරාවේ කොමසාරිස් ලෙස ඇයගේ දෙවන ධූර කාලය අවසන් කර ඇති අතර, නව නව කොමසාරිස්වරයෙකු හෝ වරියක ඉක්මනින් පත්වීම ලබනු ඇත. ඇයගේ වසර හයක ධුර කාලය තුළ, ඇය කෙටි වැඩ සතියක සහ විශ්වීය මූලික ආදායමේ සිට ජාතික ස්වභාවික සේවාවක් නිර්මාණය කිරීම, ගෘහ බලශක්ති කාර්යක්ෂමතා පියවරයන් සහ අනාගතයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් සංවර්ධනය කිරීම දක්වා සෑම දෙයක් ගැනම නිර්දේශ නිකුත් කර ඇත.

වෙල්සය ගත් මග යාමට තවත් රටවල් සූදානම් බව පෙනේ. ජිබ්‍රෝල්ටාවට මේ වන විට වේල්ස්යට සමාන කොමසාරිස්වරයෙකු සිටින අතර, එක්සත් රාජධානියේ, අයර්ලන්ත සහ ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවල පනත් කෙටුම්පත් සංවර්ධනය වෙමින් පවතී.

මේ අතර අනාගත පරම්පරාව වෙනුවෙන් කොමසාරිස්වරයෙකු පත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ද සැලසුම් කර ඇත. මේ අතර, වේල්සයේ පාපන්දු සංගමය පවා ලෝකයේ වඩාත්ම තිරසාර පාපන්දු සංගමය වීමේ අරමුණින් තම කාර්යය සකස් කිරීම සඳහා පනතේ ඉලක්ක හත සම්මත කර ඇත.

“රටකට දිගු කාලීන ඉලක්ක මාලාවක් තිබීම රට බිඳ දැමීමක් යැයි ඔබ නොසිතාවි” හෝව් පවසයි.

“මම ලෝකයේ කොතැනක ගියත් අනාගත පරම්පරාවේ ක්‍රියාවන් ගැන කතා කළත්, සාමාන්‍ය ප්‍රතිචාරය වන්නේ, ‘අනේ දෙයියනේ ඇයි හැම රටකම එහෙම එකක් නැත්තේ?’ කියන එකයි. ඔව් එය ඉතාම නිවැරදියි. ඒත් ඇයි හැම රටකටම එහෙම එකක් නැත්තේ?”

උසාවියට ​​ගෙනියනවා

හෝව්ගේ භූමිකාවට ප්‍රතිපත්තිවලට බලපෑම් කිරීමේ හැකියාව තිබිය හැකි නමුත්, එයට නොමැති එක් දෙයක් නම් අනාගත පරම්පරාව වෙනුවෙන් දේශගුණය මත ක්‍රියා කිරීමට රජයන්ට බල කිරීමේ බලයයි.

‘ඒක කරන්න නම් උසාවි යන්නම වෙනවා‘

මෑත වසරවලදී දේශගුණික විපර්යාස ක්‍රියාවන්හි හිඩැස් වැසීමට නීති පද්ධතිය භාවිතා කිරීම අරමුණු කරගත් දේශගුණික නඩු වල ඉහළ යාමක් දක්නට ලැබේ. බොහෝ අය අනාගත පරම්පරාවට දේශගුණික විපර්යාස ඇති කරන බලපෑම් කෙරෙහි අවධානය යොමු කරති.

2021 දී, තරුණ පරිසර ක්‍රියාකාරීන් විසින් ජර්මනියේ ව්‍යවස්ථා අධිකරණයට ඉදිරිපත් කරන ලද නඩුවක් මගින් ‘රටේ වත්මන් හරිතාගාර වායු විමෝචන අඩු කිරීම් අනාගත පරම්පරාව ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් නොවන බවට‘ තීන්දුවක් ලබා ගත්තේය.

“එක් පරම්පරාවකට CO2 අයවැයෙන් විශාල කොටස් පරිභෝජනය කිරීමට ඉඩ නොතැබිය යුතුයි. ඔවුන්, (වත්මන් පරම්පරාව) හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමේ අයවැයෙන් සාපේක්ෂ වශයෙන් සුළු කොටසක් පමණයි දරන්නේ. මෙමගින් අනාගත පරම්පරාවන්ට දැඩි බරක් ඉතිරි කර ඔවුන්ගේ ජීවිත බරපතල පාඩු වලට නිරාවරණය කිරීමක් සිදුවේ‘ යැයි අධිකරණය තීන්දුවේ සඳහන් විය.

Future Germany ප්‍රචාරක කණ්ඩායමේ ක්‍රියාකාරිනියක වන Luisa Neubauer මෙම නඩුවේ පැමිණිලිකරුවන්ගෙන් කෙනෙකි. 2021 නඩු තීන්දුවෙන් ටික කලකට පසු නඩු තීන්දුව ගැන අදහස් දක්වමින් ඇය කියා සිටියේ, ‘අද ජීවත් වන මිනිසුන්ගේ ප්‍රතිලාභ පමණක් සලකා බලා දේශපාලනමය තීන්දු ගන්නවා වෙනුවට දේශගුණ විපර්යාසවලට අදාළ වන මොනයම් හෝ තීන්දුවක් ගන්නා විට එය අනාගත පරම්පරාවන් සඳහා ද අදාළ වන ආකාරය ගැනත් සැලකිලිමත් වීමට මෙම නඩු තීන්දුව හේතුවක් වුණා. ඒ වගේම වත්මන් ප්‍රතිලාභ ගැන පමණක් සලකා බලා දේශපාලන තීන්දු තීරණ ගන්නා ආකාරය නැවත සකස් කිරීමට මෙම අධිකරණ තීන්දුව උපකාරී වුණා. එය වර්තමාන ඇබ්බැහියෙන් දේශපාලනය ඉවත් කරයි” ඇය පවසුවාය.

ජයග්‍රහණය තිබියදීත්, ඇයගේම රජයට එරෙහිව නඩුවක් ගොනු කිරීම ගැන ඇය මෙසේ පවසයි. “එය මම කිරීමට කැමති ක්‍රියාකාරකමක් නොවේ. එය සිදුවිය යුතු යැයි මට හැඟෙන්නේ නෑ. අවුරුදු 23ක තරුණියක් ඇගේම රජයට එරෙහිව නඩු පැවරිය යුතු යැයි මට හැඟෙන්නේ නෑ” නියුබවර් පවසයි.

ජර්මනියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ දේශගුණික නඩුවක පැමිණිලිකාරියක වන ලුයිසා නියුබවර්, 2021 බර්ලිනයේ දී රැළියක් අමතන අයුරු.

වෙනත් අධිකරණ නඩු ද ඒ හා සමාන ප්‍රවේශයක් ගනී. එක්සත් ජනපදයේ, මොන්ටානාහි තරුණයින් ව්‍යවස්ථාපිත දේශගුණික නඩුවක් ගොනු කර ඇත්තේ රජය ෆොසිල ඉන්ධන මත ධාවනය වන බලශක්ති පද්ධතියකට සහාය දීමෙන් පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් සඳහා ඔවුන්ගේ ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් උල්ලංඝනය කරන බව පවසමිනි. 2023 ජුනි මෙම නඩුව සලකා බැලීමේ දිනයක් නියම කර ඇති අතර, එය එක්සත් ජනපදයේ ප්‍රථම ව්‍යවස්ථාමය දේශගුණික අත්හදා බැලීම වනු ඇත.

ෆොසිල ඉන්ධන නිෂ්පාදනය සහ භාවිතය ප්‍රවර්ධනය කරන 2011 දී මොන්ටානා හි සම්මත කරන ලද පනත් කිහිපයක මෙම නඩුවේ පදනම ඇති බව පාරිසරික අකටයුතුකම් වෙනුවෙන් නීති සේවා සපයන Our Children’s Trust සමඟ කටයුතු කරන නීතිඥයෙකු වන Phil Gregory පවසයි.

“මෙම ෆොසිල ඉන්ධන විමෝචනය ව්‍යවස්ථාව සම්මත කරන අවස්ථාවේ මොන්ටානා හි පැවති පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න පරිසරය වර්තමාන පරම්පරාවන්ට සහ අනාගත පරම්පරාවට අහිමි කරන බව රාජ්‍යය තමන්ගේම වාර්තා හරහා දැන සිටියද ?” ඔහු ප්‍රශ්න කරයි.

මොන්ටානාහි පදිංචි 19 හැවිරිදි ග්‍රේස් ගිබ්සන්-ස්නයිඩර් මෙම නඩුවේ තරුණ පැමිණිලිකරුවන් 16 දෙනාගෙන් කෙනෙකි. “මම හිතන්නේ මෙම නඩුව අපට බොහෝ විට නොලැබෙන ආකාරයෙන් අපගේම අදහස් සහ අත්දැකීම් නිදහසේ ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා දෙයි” ඇය පවසන්නීය.

“අනෙකුත් වයස් කාණ්ඩවලට වඩා යෞවනයන් හට දේශගුණික විපර්යාස නිසා වැඩි බලපෑමක් ඇති වන බවට නිර්මල සත්‍යයක් තිබෙනවා. මම නිසැකවම අනාගත පරම්පරාවේ ජීවනෝපාය ගැන කනස්සල්ලට පත්ව සිටිනවා. මෙම නඩුව ඔවුන්ව එම නරකම අවස්ථාවන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ඉතා හොඳ අවස්ථාවක්. ඔවුන්ට පිරිසිදු හා ආරක්ෂිත සහ ප්‍රීතිමත් අනාගතයක් ලබා දිය යුතුයි” ග්‍රේස් පවසයි.

තරුණ ප්‍රවේශය

බොහෝ යෞවනයන් දේශගුණික විපර්යාස ගැන ඇදහිය නොහැකි තරම් සැලකිලිමත් වන බව රහසක් නොවේ. අද තරුණයින් අතර දේශගුණික කනස්සල්ල ඉහළ මට්ටමක පවතින බව අධ්‍යයනවලින් සොයාගෙන ඇත. රටවල් 10ක් පුරා අවුරුදු 16-25 අතර තරුණයින් 10,000ක් යොදා ගනිමින් 2021 කළ සමීක්ෂණයකදී 75%ක් දේශගුණික විපර්යාස හේතුවෙන් “අනාගතය බියකරු” බවට එකඟ වූ අතර 56%ක් “මනුෂ්‍යත්වය විනාශයට පත් වූ බව” සැලකූහ.

මෙම කනස්සල්ල පදනම් විරහිත නොවේ. 2021දී සිදුකළ විද්‍යා අධ්‍යයනයකින් හෙළි වූයේ වර්තමාන දේශගුණ ප්‍රතිපත්ති ප්‍රතිඥාවන් යටතේ 1960 දී උපන් මිනිසුන් හා සසඳන විට 2020 දී උපත ලබන දරුවන්ට දේශගුණයට සම්බන්ධ සිදුවීම් (විශේෂයෙන් තාප තරංග) දෙගුණයක් සහ හත් ගුණයක් අතර අත්විඳිය හැකි බවයි. මේ අතර, Carbon Brief නම් මාධ්‍ය ආයතනය විසින් 2019 දී සිදුකළ විශ්ලේෂණයකට අනුව, ගෝලීය උණුසුම ඉහළ යාම සෙල්සියස් අංශක1.5ට සීමා කිරීම යන්නෙන් අදහස් වන්නේ 2017 දී උපත ලැබූ පුද්ගලයෙකුට තම ජීවිත කාලය පුරාවට 1950 දී උපන් කෙනෙකුගේ විමෝචනයෙන් නවයෙන් එකක් පමණක් නිකුත් කළ හැකි බවයි.

මේ සියල්ල අතර තරුණ හඬට ඇහුම්කන් දීමට අවශ්‍ය වේ. “දේශගුණික අර්බුදය ඇති කරන පුද්ගලයින් එහි නරකම ප්‍රතිවිපාකවලට මුහුණ දීමට මෙහි පැමිණෙන්නේ නෑ” යැයි මෙක්සිකෝවේ දේශගුණ ක්‍රියාකාරිනියක වන මාරියා රීස් පවසන්නේ සිකුරාදා දින අනාගත සිතියම (වඩාත් බලපෑමට ලක් වූ පුද්ගලයින් සහ ප්‍රදේශ) සමඟිනි.

“තරුණ තරුණියන්ගේ, විශේෂයෙන්ම දේශගුණික අර්බුදයෙන් වඩාත් පීඩාවට පත් ප්‍රදේශවල සිටින අයගේ හඬ වටිනා බව අපි හඳුනා ගත යුතුයි.”

Nisreen Elsaim එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ දේශගුණික විපර්යාස පිළිබඳ තරුණ උපදේශක කණ්ඩායමේ සහ දේශගුණික විපර්යාස පිළිබඳ සුඩාන තරුණ සංවිධානයේ සභාපතිවරයා වේ.

“දේශගුණික විපර්යාසවල බලපෑම්, දැඩි බව, කටුක බව සහ දැවැන්ත බලපෑම් සමඟ ඇත්ත වශයෙන්ම කටයුතු කරන පරම්පරාව තරුණයින් වන නිසා තරුණ දේශගුණික ක්‍රියාකාරීත්වය අත්‍යවශ්‍යයි‘එල්සයිම් කියයි.

පැරිස් ගිවිසුම වැනි බහුපාර්ශ්වික ගිවිසුම් ද සියලු පරම්පරාවල අදහස් සැලකිල්ලට ගත යුතු දිගු කාලීන ලියකියවිලි බව ඇය වැඩිදුරටත් පවසයි.

“යෞවනයන් සම්බන්ධ කර ගැනීම සහ ක්‍රියාවලියේ කොටස්කරුවන් වීම ඉතා වැදගත් වන්නේ අප ඇත්ත වශයෙන්ම කොටසක්කරුවන් නොවූ දෙයක් සමඟ [ඉදිරි දශක කිහිපය තුළ] ගනුදෙනු නොකරන බවට සහතික වීමටයි” ඇය පවසන්නීය.

එල්සයිම් වසර කිහිපයක් පුරා එක්සත් ජාතීන්ගේ දේශගුණ සාකච්ඡාවලට සහභාගී වී ඇති අතර ඇය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් උද්ඝෝෂණයේ යෙදෙන්නියකි. එසේ වුවද, තරුණ හඬ බැහැර කිරීමේ ප්‍රවණතාවක් ඇය දැක තිබේ.

“වැඩිහිටි පරම්පරාවල මිනිසුන් හැමවිටම සිතන්නේ යෞවනයන් වීදිවල හෝ පාගමනක් හෝ වැඩ වර්ජනයක යෙදී සිටින බවයි. ඔවුන් විස්තර කරන පරිදි ‘බැරෑරුම් කතා’ වල කොටස්කරුවන් වීමට ඔවුන්ට තාක්ෂණික දැනුමක් නැහැ. ඔවුන් අපට වැඩසටහන් වලදී සත්කාරකත්වය දෙන විට පවා, ඔවුන් තරුණ කථිකයන් සඳහා ලබා දෙන කාලයට වඩා වැඩි කාලයක් වෙනත් කථිකයන් සඳහා ලබා දෙනවා”

පෙරට වඩා දැන් බොහෝ විට තරුණයින්ට උත්සව සඳහා ආරාධනා කළද,  ඔවුන්ට ඒ සදහා සහභාගී වීමට සම්පත් හිඟ විය හැකි බව ඇය පවසයි.  ඇය විශ්වාස කරන්නේ පෙර පරම්පරාවන් දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ඔවුන්ගේ වැරදි සහ වගකීම පිළිගත යුතු බවයි.

‘ තරුණයින්ට වැඩි වැඩියෙන් සහාය දිය යුතු අතර සාකච්ඡා මේසයේ ඔවුන්ට ඉඩ සැලසිය යුතුයි‘ ඇය අවධාරණය කරයි.

මම හිතන්නේ අන්තර් පරම්පරාවේ දේශගුණ යුක්තිය අප දේශගුණික අර්බුදය සන්නිවේදනය කරන ආකාරය පමණක් නොව අනෙකුත් පරම්පරාවන් සමඟ සහ බිම් මට්ටමේ ප්‍රජාවන් සමඟ සබඳතා ගොඩනඟා ගන්නා ආකාරය වෙනස් කරනවා” රෙයිස් පවසයි.

පරම්පරා අතර ගැටුම

බොහෝ තරුණ දේශගුණික ක්‍රියාකාරීන්ට තම දෙමාපියන්ගේ පරම්පරාව කෙරෙහි සමාන කලකිරීමක් ඇත.

“කෙසේ හෝ නරක චේතනාවකින් තොරව අපේ වැඩිහිටි පරම්පරාව අපව සාමූහිකව (විශේෂයෙන් සමහර කර්මාන්ත විසින් මෙහෙයවන ලද) මෙම දේශගුණික ව්‍යසනයට ගෙන ආවා.” නියුබවර් පවසයි.

ඒ අතරම, බොහෝ තරුණ දේශගුණ ක්‍රියාකාරීන්ට දේශගුණ අර්බුදය හරහා ලෝකය ගෙන ඒමට දේශීය සංස්කෘතීන් සහ බිම් මට්ටමේ ප්‍රජාවන්ගේ දැනුම උපකාර කළ හැකි ආකාරය පිළිබඳව දැඩි ගෞරවයක් ද ඇත.

“මම හිතන්නේ අන්තර් පරම්පරාවේ දේශගුණ යුක්තිය අප දේශගුණික අර්බුදය සන්නිවේදනය කරන ආකාරය පමණක් නොව අනෙකුත් පරම්පරාවන් සමඟ සහ බිම් මට්ටමේ ප්‍රජාවන් සමඟ සබඳතා ගොඩනඟා ගන්නා ආකාරය වෙනස් කරනවා” රෙයිස් පවසයි.

ආදිවාසී ප්‍රජාවන් සහ ප්‍රාදේශීය ප්‍රජාවන් බොහෝ විට ඉඩම් හා ස්වභාවධර්මයේ ඵලදායි භාරකරුවන් වන බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. උදාහරණයක් ලෙස වනාන්තර විනාශයට බාධා කිරීම, පාරිසරික ප්‍රයත්නයන්හිදී පාරම්පරික දැනුම වඩාත් පුළුල් ලෙස භාවිතා කිරීමට උනන්දු වීමට දැක්විය හැකිය. මේ අතර සමහර ආදිවාසී සංස්කෘතීන්ගේ තීරණ ගැනීමේ ක්‍රම දිගුකාලීන චින්තනයට ද සහාය විය හැකිය.

එක් උදාහරණයක් නම් Iroquois නම් ස්වදේශික ඇමරිකානු ගෝත්‍රය විසින් දීර්ඝ කාලයක් තිස්සේ භාවිතා කරන ‘හත්වන පරම්පරාවේ තීරණ ගැනීම‘ (seventh-generation decision making) නම් සංකල්පයයි. එය පරම්පරා හතක් ඉදිරියට එන බලපෑම් මත පදනම්ව තීරණ ගැනීම සඳහා Iroquois ගෝත්‍රිකයින් විසින් දීර්ඝ කාලයක් තිස්සේ භාවිතා කරන සංකල්පයකි. “නවීන බටහිර සංස්කෘතිය තුළ අපට එවැනි අන්තර් පරම්පරාගත සම්බන්ධතාවයක් නැහැ” ක්‍රස්නාරික් පවසයි.

හත්වන පරම්පරාවේ තීරණ ගැනීමේ සංකල්පය ජපානයේ ” අනාගත නිර්මාණය / future design” ලෙස හඳුන්වන නවීන ව්‍යාපාරයකට ආභාෂය ලබා දී ඇත. ඔවුන් ජීවත් වන නගර සහ නගර සඳහා සාකච්ඡා කිරීමට සහ සැලසුම් සකස් කිරීමට ප්‍රදේශවාසීන්ට ආරාධනා කරනු ලබන අතර, අඩක් වර්තමානයේ පදිංචිකරුවන් නියෝජනය කරන අතර අනෙක් භාගයට 2060 සිට තමන් පදිංචිකරුවන් ලෙස සිතන ලෙස ඉල්ලා සිටී.

“2060 සිට පදිංචිකරුවන් ඔවුන්ගේ නගර සඳහා වඩා පරිවර්තනීය සැලසුම්වලට ක්‍රමානුකූලව අනුබල දෙන බව පෙනී යනවා. එය සෞඛ්‍ය සේවයේ දිගුකාලීන ආයෝජන හෝ දේශගුණික අර්බුදය සම්බන්ධයෙන් දිගු කාලීන ක්‍රියාමාර්ග වේවා ඔවුන් ඒ ගැන සැලසුම් කරනවා” Krznaric පවසයි.

ඇත්ත වශයෙන්ම, සාමාන්‍යයෙන් පුරවැසි රැස්වීම් දිගු දැක්මක් සඳහා හොඳ ආදර්ශයක් බව Krznaric පවසයි. ” ඔවුන් ඔබේ නිත්‍ය දේශපාලනඥයන්ට වඩා දිගු කාලීන ඉදිරි දර්ශනයක් ගන්නා බවට සාක්ෂි තිබෙනවා. මන්ද ඔවුන් එකම කෙටි කාලීන මැතිවරණ චක්‍රවලට බැඳී නෑ”

අවසානයේදී, පරම්පරා අතර යුක්තිය යනු දිගු කාලීනව සිතීම පමණක් නොවන බව. Krznaric පවසයි. “එය ඔබේ කාල ක්ෂිතිජය ඉදිරියට දිගු කිරීම පමණක් නොවේ. එය කාලය ගැන පමණක් නොවේ, එය ස්ථානය ගැනද වේ” Krznaric පවසයි.

“ඔබ කාලය සහ අනාගත පරම්පරාව ගැන සැලකිලිමත් වන්නේ නම්, එය කළ හැකි හොඳම ක්‍රමයක් වන්නේ අද ස්ථානය ගැන සැලකිලිමත් වීමයි. අපි කරන දේවල් අද සහ හෙට මිනිසුන්ට ප්‍රයෝජනවත් වෙනවා. දේශගුණ යුක්තිය සම්බන්ධයෙන් ගත් කල, එහි ආතතියක් අවශ්‍යයෙන්ම ඇති නොවේ.”