පෙම් සබඳතාවයක් අවසන් වන්නේ එකිනෙකා කෙරෙහි ඇති ආකර්ෂණය අතුරුදන් වීමෙන් විය හැකි ය. එකිනෙකා වෙනුවෙන් වෙන් කිරීමට කාලය සොයාගත නොහැකි වීම නිසා විය හැකි ය.

නමුත් දේශගුණික විපර්යාස පෙම් සබඳතා බිඳවැටීමට හේතුවක් විය හැකි ද?

එය එසේ විය හැකි බව සොයාගෙන තිබේ. නව අධ්‍යයනයකින් පැවසෙන පරිදි, සත්ත්ව ලෝකයේ තම සහකරුට වඩාත් විශ්වාසනීයව වෙසෙන පක්ෂීන් කොටසක් වන ඇල්බට්‍රොස් යුවලවල් ‘දික්කසාද’ වීම වැඩිවී තිබේ.

රෝයල් සොසයිටි සඟරාවේ පළ කෙරුණු මෙම මේ අධ්‍යයනය මඟින්, ෆෝක්ලන්ඩ් දූපත්වල විසූ ඇල්බට්‍රොස් අභිජනන යුගල 15,500ක් වසර 15ක් පුරාවට නිරීක්ෂණය කර ඇත.

මිනිස් ලෝකයට ආදේශ කර බැලුවහොත් ඇල්බට්‍රොස් දික්කසාදය සිදුවන්නේ වංචාවකිනි. යුවලකගෙන් අයෙකු වෙනත් ඇල්බට්‍රොස් පක්ෂියෙකු සමග අභිජනනය කිරීමෙන් මෙය සිදු වේ.

මිනිසුන් මෙන්ම ඇල්බට්‍රොස් සතුන් ද සබඳතාවයක් ඇතිකර ගන්නා හොඳම ක්‍රමය සොයමින්, ඇතැම් විට අසාර්ථක වෙමින් ‘නුහුරු ලෙස වැඩෙන’ අවධියක් පසු කරයි.

නමුත් අවසානයේ දී ඔවුන් තමාට ගැළපෙන සබඳතාවයක් ආරම්භ කළ විට, ජීවිත කාලයම එකට බැඳී සිටියි.

තම ජීවන සහකරු තෝරාගැනීමෙන් පසු උගෙන් වෙන් වන්නේ ඇල්බට්‍රොස් සතුන්ගෙන් 1%ක සංඛ්‍යාවක් පමණකි. එය එක්සත් රාජධානියේ මිනිස් දික්කසාද අනුපාතයට වඩා බොහෝ සෙයින් අඩු ය.

“එක් සහකරුවෙක් එක්ක පමණක් ජීවත් වෙන එකත්, ඒ සහකරුට දිගු කාලයක් බැඳී ඉන්න එකත් මේ කුරුල්ලන්ගේ පොදු ලක්ෂණයක්,” යි ලිස්බන් විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයෙකු, සහ මෙම අධ්‍යයනයේ සමකතු ද වන ෆ්‍රැන්චෙස්කෝ වෙන්චුරා පවසයි.

නමුත් අධ්‍යයනයට භාජනය වූ වසර අතරින් ජලයේ උෂ්ණත්වය ඉහළ ගොස් තිබූ වර්ෂවල, ඇල්බට්‍රොස් ජෝඩුවලින් 8%ක් එකිනෙකාගෙන් වෙන්ව තිබුණි.

Albatross flying

ජල උණුසුම වැඩිවීම යනු, ආහාර සඳහා වැඩිපුර දුරක් පියාසර කිරීමට සිදුවීම යි

‘පාරිසරික සාධක මත පදනම් වූ දික්කසාදයක්’

මෙම අධ්‍යයනයෙන් පැවසෙන්නේ, ‘පරිසරය විසින් මෙහෙයවනු ලබන දික්කසාදය දේශගුණික විපර්යාසයේ නොසලකා හරින ලද ප්‍රතිවිපාකයක්’ විය හැකි බව යි.

සාමාන්‍යයෙන් ඇල්බට්‍රොස් යුවලක් දික්කසාද වන්නේ නව අභිජනනයට අපොහොසත් වූ විට ය. ඉන්පසු ඔවුන් ඊළඟ අභිජනන සමයේ දී නව සහකරුවන් සොයාගනියි.

නමුත් මෙම සොයාගැනීම්වලින් පෙනී ගියේ, සාර්ථක අභිජනන සමයක් පසුකළ ද ඇතැම් ජෝඩු දික්කසාද වන බව යි.

ෆ්‍රැන්චෙස්කෝ පවසන්නේ ඇල්බට්‍රොස් ‘දික්කසාද’ වැඩිවීම කෙරෙහි කරුණු දෙකක් බලපෑ හැකි බව යි. ඉන් පළමුවැන්න, දිගුදුර සම්බන්ධතාවයක් පැවැත්වීමේ අපහසුතාව ය.

ජලයේ උණුසුම වැඩි වීම නිසා, කුරුල්ලන්ට දඩයම් සොයන්නට දිගු කාලයක් වැයකොට වැඩි දුරක් පියාසර කිරීමට සිදු වේ.

කුරුල්ලන්ට අභිජනන සමය සඳහා නියමිත වේලාවට ආපසු යාමට නො හැකි වුවහොත්, ඔවුන්ගේ හවුල්කරුවන් නව සහකරුවෙකු සමග සබඳතාවක් ඇරඹීමට පුළුවන්.

අනෙක් කල්පිතය වන්නේ, ඇල්බට්‍රොස්ගේ ‘ආතති හෝර්මෝන’ උණුසුම් ජලය සහිත කටුක පරිසරවල දී ඉහළ යන බව යි.

කටුක අභිජනන පරිසරය සහ ආහාර හිඟය නිසා ආතතිය ඉහළ යන අතර, ‘දුර්වල අභිජනන සහයකයෙකු’ වීම පිළිබඳව සහකරුවෙකුට දොසක් එල්ල විය හැකි ය. මෙය අවසානයේ දික්කසාදයකින් කෙළවර විය හැකි බව ෆ්‍රැන්චෙස්කෝ පවසයි.

Two albatrosses

ඇල්බට්‍රොස් යනු අභිජනන සහකරුවෙකු සොයාගැනීම සම්බන්ධයෙන් ගත්කල ලොව වඩාත්ම විශ්වාසවන්ත සත්ත්ව කොට්ඨාසය යි

මෙම අධ්‍යයනය පලවන්නේ ජාත්‍යන්තර ඇල්බට්‍රොස් ගහනය තර්ජනයකට මුහුණ පා සිටින මොහොතක ය.

2017 දී ලබාගත් ඇතැම් දත්තවලට අනුව, මේ වන විට මෙම සත්ත්ව විශේෂයේ අභිජනන යුගල ගණන 1980 ගණන්වල දී සිටි ප්‍රමාණයෙන් අඩක් පමණි.

ෆ්‍රැන්චෙස්කෝ පවසන්නේ ෆෝක්ලන්ඩ් දූපත්වල ඇල්බට්‍රොස් ගහණය නුදුරු අනාගතයේ දී අවදානමකට ලක් නොවනමුත්, ඇල්බට්‍රොස් ගහණය සීමා සහිත වන අනෙකුත් ප්‍රදේශවල මෙය කනස්සල්ලට කරුණක් බව යි.

“උෂ්ණත්වය ඉහළ යමින් පවතිනවා.එය ඉදිරියේ දීත් ඉහළ යාවි. මේක මේ සතුන් කෙරෙහි තව තවත් බාධාකාරී ලෙස බලපාවි,” ඔහු පවසයි.

bbc