දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම සඳහා ඔබ ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස්කර ගැනීමට සූදානම් ද? හැකි සෑමවිටම, මෝටර් රථ වෙනුවට පාපැදිය පැදීමට හුරුවීම වේවා, රතු මස් අනුභවය අඩු කිරීම වේවා, අපේ ජීවන රටාවේ සිදුකරන කුඩා වෙනස්කම් දේශගුණ විපර්යාස අවම කිරීම සඳහා දායක විය හැකි ආකාරය ගැන අප සැමටම මේ වන විට හොඳ වැටහීමක් තිබේ.

නමුත් අප බොහෝදෙනෙකු පෘථිවිය ගැන මෙලෙස සැලකිලිමත්වන බව පැවසුවත් (Kantar Public ආයතනය රටවල් 10ක පුද්ගලයින් සමග සිදුකළ මත විමසුමකට අනුව 78%ක් දෙනා මෙසේ පවසා ඇත), ඒ සඳහා අපගේ ජීවන රටාවේ දැඩි වෙනස්කම් සිදුකිරීම අවශ්‍යබව විශ්වාස කරන්නේ 1%ක පිරිසක් පමණි.

මේ ලිපිය, එම 1%ට වැටෙන ලොව පුරා සිටින පුද්ගලයින් පිළිබඳව කෙරෙන විමසුමකි. ඔවුන්, පරිසරයට සහාය දැක්වීම පිණිස සිය ජීවිත විශාල වශයෙන් වෙනස්කළ යුතුයැ යි විශ්වාස කරනවා පමණක් නොව, ඇත්ත වශයෙන්ම ඔවුන් එම වෙනස්කම් සිදුකර තිබේ. ඔවුන් BBC වෙත පවසන්නේ මේ කිසිදු වෙනස්කමක් පිළිබඳව ඔවුන් පසුතැවෙන්නේ නැති බව යි.

තම නිවස සම්පූර්ණයෙන්ම සූර්ය ශක්තියෙන් බලගැන්වූ පවුලක්

The two sisters, Taneesh and Neeshita, with their mother cleaning solar panels

සිය නිවෙස සම්පූර්ණයෙන්ම සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන නිවසක් බවට පත් කිරීමට ඔවුන්ට වසරක් ගතවිය

බටහිර ඉන්දියාවේ පූනේහි පිහිටි, සිය මුත්තණු මිත්තණියන්ට අයත්ව තිබූ නිදන කාමර තුනකින් යුත් නිවස සූර්ය ශක්තියෙන් ක්‍රියාත්මක වන නිවසක්බවට පත් කිරීමට කොත්වාල් පවුලට වසරක් ගතවිය.

මේ පවුලේ පියා වන සුනීත් කොත්වාල් ඉංජිනේරුවෙකි. ඔහු පුනර්ජනනීය බලශක්තියට මාරුවීමට තීරණය කළේ ඔවුන්ට ජාතික විදුලිබල පද්ධතිය භාවිතා කිරීම නැවැත්වීමට හැකි නිසාවෙනි.

“අපි අපේ පරණ මහල් නිවාසයේ දී සූර්ය බලශක්තිය අත්හදා බලමින් හිටියා. නමුත් මේ විසාල බංගලාව ඒ වැඩේ මහා පරිමාණයෙන් කරන්න ඉඩකඩත්, නිදහසත් දුන්නා,” සුනීත්ගේ දියණියවූ 19 හැවිරිදි නීෂිතා පවසයි.

ඔවුන් සිව්දෙනා මේ නව නිවසට පැමිණියේ 2020 මාර්තු මාසයේ දී, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් රට අගුලු දැමීමට දින කිහිපයකට පෙර ය.

පිටත ලෝකයේ එතරම් දෙයක් සිදුනොවූ නමුත්, මේ නිවස තුළ නම් බොහෝ අත්හදාබැලීම් සිදුවෙමින් පැවතුණි.

“කාලයත් එක්ක, අපි ස්වභාවික ආලෝකය අගය කරන්න හුරුවුණා. ඒ වගේම විදුලියේ වටිනාකමත්, පරිසරයට බලපෑමක් නොවන අයුරින් ඒක භාවිතා කළ යුතු ආකාරයත් ඉගෙන ගත්තා.”

“මුල දී අපිට මේ ජීවිතය එතරම් ගැළපුණේ නැහැ. මොකද ඒකට ලොකු නඩත්තුවක් ඕනෑ බව අපි දැනගෙන හිටියා. අපේ තාත්තාට අපිවත් මේකට සම්බන්ධකර ගන්න ඕනේ වුණා. ඒත් අද වෙද්දී අපි ඒක දකින්නේ ස්වයංපෝෂිතභාවයේ හොඳම උදාහරණයක් විදියට. අපිට වතුර ගන්න ළිඳක් තියෙනවා. අපි ගෙවත්තේ කාබනික ගොවිතැන කරනවා, තෙල් ඉතුරු කරන්න විදුලි ස්කූටර් දෙකක් පාවිච්චි කරනවා,” නීෂිතාගේ 22 හැවිරිදි සහෝදරිය වන ටනීෂි පවසන්නී ය.

“අපට දේශගුණික විපර්යාසයට විසඳුම් ගැන න්‍යායාත්මක දැනුමක් තිබුණා. දැන් අපට විශ්වාසයෙන් කියන්න පුළුවන්, “මෙන්න අපි ඒ වෙනුවෙන් කරන දේවල්” කියලා,” සත්ත්ව විද්‍යා උපාධිධාරිනියක සහ කිමිදුම්කාරියක වන ටනීෂි වැඩිදුරටත් පවසා සිටින්නී ය.

“මේ මාතෘකාව වටේ තියෙන සෘණාත්මක කරුණු ගැන අවධානය යොමුකරනවට වඩා, අපට කරන්න පුළුවන් දේ ගැන අවධානය යොමුකරන්න අපේ අම්මා තාත්තා අපිට ඉගැන්නුවා.”

ලොක්ඩවුන් අවසන්වූ පසුව තමා නැවත කිමිදුම් සඳහා ගිය දිනය ටනීෂි සිහිපත් කරයි.

“සාගර විවිධත්වයෙන් මම පුදුමයට පත්වුණා. මම කවදාවත් දැකලා නැති මාලු හිටියා. වසංගතය ස්වභාවධර්මයට අවස්ථාවක් අරන් දුන්නා. දේශගුණික විපර්යාස සම්පූර්ණයෙන්ම විනාශයක් නෙවෙයි කියලා මේකෙන් මට තේරුණා. අපිට තවමත් බලාපොරොත්තුවක් ඉතිරියි.”

සිමෙන්ති විකිණීමේ සිට ගස් සිටුවීම දක්වා

Former Nigerian cement retailer planting mangrove trees in Okoroete

උක්පේ බෙන්සන් උඩෝ සිය පවුලේ සිමෙන්ති ව්‍යාපාරය අත්හැර දමා දකුණු නයිජීරියාවේ තම ගම්මානයේ ගස් සිටුවීමට කටයුතු කරයි

සිය වැඩිහිටි ජීවිතයෙන් වැඩි කාලයක් තම පියාගේ වෙළඳසැලේ සිමෙන්ති විකුණමින් ගතකළ උක්පේ බෙන්සන් උඩෝ, ඉන්පසු දකුණු නයිජීරියාවේ ඔකොරොටේහි පිහිටි ඔහුගේ ගමේ ගස් සිටුවීමට මාරුවිය.

“මට මේ තීරණය ගන්න සිද්ධි දෙකක් හේතුවුණා,” ඔහු පවසයි.

“පළවෙනි සිද්ධිය තමයි, මම අලෙවි කරපු නිෂ්පාදන අතරින් එකක් මිනිසුන්ටත්, පරිසරේටත් අහිතකර බව ඔප්පුවෙලා තියෙන වග දැනගන්න ලැබීම. අනිත් සිද්ධිය තමයි, 2019 දී මම තරුණයින් වෙනුවෙන් පැවැත්වුණු නායකත්ව වැඩසටහනකට සහභාගී වුණා. ඒකෙන්, මගේ ප්‍රජාව ඇතුළේ දේශගුණික අභියෝගවලට විසඳුම් හොයන්න පටන්ගන්න මට ශක්තිය ලැබුණා.” උක්පේ සිය විවේක කාලයේ දී ගස් සිටුවමින්, විසඳුම් සෙවීමට අවතීර්ණ විය.

“ඒක, මම කරන්න යන දේ ගැන ඉගෙනගන්න වැදගත් කාල පරිච්ඡේදයක් වුණා,” ඔහු තවදුරටත් පැවසුවේ ය.

තමා දේශගුණික පක්ෂවාදියෙකුයැ යි හඳුන්වාගන්නා මේ 30-හැවිරිදි මිනිසා, 2020 මැයි මාසයේ දී, නැවත වන වගා කිරීමේ වැඩසටහනක් දියත් කිරීම සඳහා සිමෙන්ති ව්‍යාපාරයෙන් ඉවත්විය.

Ukpe Benson Udoh plants mangrove trees to 'fight against rising sea water levels'

උක්පේ බෙන්සන් උඩෝ, ඔකොරොටේ ගම්මානයේ ඔහුගේ ප්‍රජාවේ සාමාජිකයන් සමග

“මගේ කාලය පරිසරය වෙනුවෙන් කැප කරන්න ඕන කියලා අයියාට කිව්වම එයා හිතුවේ මට පිස්සු කියලයි… ඒක දුෂ්කර මොහොතක් වුණත්, මම කරන දේ ගැන මට විශ්වාසය තිබුණා. අවසානයේ දී ඔහු මට ඕනේ දේට සහාය දුන්නා.”

උක්පේ වැඩිදුරටත් සඳහන් කරන්නේ නයිජීරියාවේ මෙම ප්‍රදේශයේ “මුහුදු මට්ටම ඉහළ යන නිසා ගොඩක් දෙනෙකුට වෙනත් ප්‍රදේශවල නැවත පදිංචි වෙන්න සිද්ධ වුණා. මේකෙන් ගංවතුරකුත් ඇතිවෙලා ජීවීන්ට හානිවුණා. මේ පැත්තේ කට්ටිය රස්සාව විදියට යැපෙන්නේ මේ සාගර ජීවීන් මත.”

“විසඳුමක් විදියට අපි කඩොලාන ගස් හිටවනවා. ඒවා ජල මට්ටම ඉහළයාමට එරෙහිව ස්වභාවික ස්වාරක්ෂකයක් ලෙස ක්‍රියා කරනවා. ඊට අමතරව, ඒවායේ මූල පද්ධතිය පස එකට බඳලා තියාගන්නවා.”

අභියෝග මධ්‍යයේ වුව ද, තමා දැන් “වඩාත් සතුටින්” සිටින බව ඔහු පවසයි.

“අපි වැඩ කරන්නේ ස්වේච්ඡා සේවකයන් එක්ක නිසා, ශ්‍රමය ලැබෙන එක සහතික කරන්න ලේසි නැහැ. නමුත් මම ගස් හිටවනකොට, මට හැඟෙන්නේ මම කලින් හානිකර නිෂ්පාදනවලට සහාය දුන්න එකට හරියන්න හොඳ දෙයක් කරනවා කියලා.”

විවේක කාලයේ දී ගස් සිටුවීම සිදුකරන උක්පේ, ආදායමක් ලැබීම සඳහා කුකුළන් විකිණීමට යොමුව තිබේ.

“ඒකෙන් සිමෙන්තිවලින් තරම් ආදායමක් ලැබෙන්නේ නැහැ”යි පිළිගන්නා නමුත් ඔහු පවසන්නේ: “අඩුම තරමේ, මම දැන් මේ කරන වැඩේට ආසයි. ආයෙමත් මේ තීරණේම ගන්න මම පසුබට වන්නේ නැහැ.”

හරිත රැකියා තෝරාගන්නා අයට උපකාර කරන ‘හරිත කැරලිකරු’

The Russian 30-year-old former software engineer says he wants to 'make climate work mainstream'

ඉයුජීන් කර්පිචොෆ්, මෘදුකාංග ඉංජිනේරු රැකියාව අත්හැර දේශගුණික විපර්යාසය පිළිබඳ රාජ්‍ය නොවන සංවිධානයක් පිහිටුවීය

උතුරු කැලිෆෝනියාවේ බර්ක්ලිහි ජීවත්වන ඉයුජීන් කර්පිචොෆ්ට අවශ්‍යව ඇත්තේ, “දේශගුණය සම්බන්ධයෙන් වැඩ කිරීම ප්‍රධාන ධාරාවේ යමක්” බවට පත්කිරීමට යි.

30-හැවිරිදි රුසියානු ජාතික මෘදුකාංග ඉංජිනේරුවරයා වසර අටක් පමණ ගූගල් ආයතනයේ සේවය කළ අතර, පසුව, දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නොවන සංවිධානයක් පිහිටුවීම සඳහා ඉන් ඉල්ලා අස්වූයේ ය.

“මේක කාලයක් තිස්සේ ගොඩනැගෙමින් පැවතුණා. සෑම දෙයක්ම යොමුවුණේ එකම දිශාවකට: දේශගුණික හදිසි අවස්ථාවක් ඇතිවෙලා තියෙනවා. අපි ඒ ගැන යමක් කළ යුතු යි.”

වසංගතයට පෙර වසරවල සංචාරය කිරීමේ දී ඔහු නැරඹූ දේශගුණික වාර්තා වැඩසටහන් සහ චිත්‍රපට ආදිය ඔහු තුළ එක් ගැටලුවක් ඉතිරිකළ බව ඉයුජින් පවසයි: “මේක ඇත්තටම වෙනව ද?”

“අවධානය යොමු කරනවා නම් ගොඩක් වැදගත් ගැටලු තියෙනවා කියලා මම ක්‍රමයෙන් තේරුම්ගත්තා. දේශගුණයට සම්බන්ධ නොවන ක්ෂේත්‍රයක වැඩ කරන සාධාරණීකරණය කරන්න බැරි තැනකට මම පත්වුණා,” ඔහු පවසයි.

2020 ජූලි මාසයේ දී LinkedInහි පළකළ ලිපියකින් ඉයුජින් ඔහුගේ තීරණය පැහැදිලි කළ අතර, එයට බොහෝදෙනා එකඟවී තිබුණි.

“මගේ සමුගැනීමේ ලිපිය මේ විදියට වෛරල් වෙයි කියලා මම බලාපොරොත්තු වුණේ නැහැ. ගොඩක් දෙනෙක්, එයාලටත් එහෙම හිතෙනවා කියලා මට පණිවුඩ එව්වා,” ඔහු සඳහන් කළේ ය.

පසුව ඔහු, දේශගුණික විපර්යාසය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පුද්ගලයින් පාරිසරික අංශයේ සමාගම් සමග සම්බන්ධ කිරීම මෙහෙය කරගත් සංවිධානයක් පිහිටුවීය. ඔහුගේ අරමුණ වූයේ මෙම පුද්ගලයින්ට අදාල සමාගම්වලින් “පරිසර හිතකාමී” රැකියා සොයා දීම යි.

“පරිසර හිතකාමී රැකියාවක් හොයාගන්නේ කොහෙන්ද කියලා මම දැනන් හිටියේ නැහැ. නමුත් මේ දවස්වල නම් ඒ වගේ රැකියාවක් හොයාගන්න උනන්දු වෙන, එහෙමත් නැත්නම් දැනටමත් ඒ වගේ රැකියාවක් කරන කෙනෙක් හමුනොවී සතියක් ගතවෙන්නේ නැති තරම්,” ඔහු පවසයි.

“දේශගුණයට සම්බන්ධ රැකියාවක් කරන එක තවමත් සමාජ ක්‍රියාවාදයක් විදියට යි සැලකෙන්නේ,” ඔහු පවසයි. “නමුත් යථාර්ථය තමයි, ග්‍රහලෝකය කාබන්හරණය කිරීමේ ව්‍යාපාරය වඩ වඩාත් ලාභදායී වෙමින් පවතිනවා,” ඔහු කියයි.

එසේ නම් ඔහු තමා ‘හරිත කැරලිකරුවෙකු’ ලෙස සලකනවා ද?

“ඒ යෙදුම පාවිච්චි වෙන්නේ ‘දැන් ඇති, අපි දේශගුණය සඳහා වැඩ කරමු’ කියලා තීරණය කළ පුද්ගලයින්ව නම්, ඔව් මම එයින් කෙනෙක් තමයි.”

ලොවපුරා බොහෝ මිනිසුන්ට, දේශගුණික විපර්යාසයේ නාමයෙන් ඔවුන්ගේ ජීවිතවල විශාල වෙනස්කම් සිදුකිරීම ආර්ථික වශයෙන් ප්‍රයෝගික නොවේ.

ඉයුජීන් පවසන්නේ ඔහු දැනට සිය ඉතුරුම්වලින් ජීවත් වන බව යි. ස්වේච්ඡා සේවකයන් විසින් සංවිධානයේ මෘදුකාංග වියදම් ගෙවනබවත් ඉයුජින් පවසයි.

“ජීවිත ගමනේ කඳු පල්ලම් තියෙනවා. නමුත් අපි දිගටම ඉදිරියට යනවා,” ඔහු පවසයි.

දේශපාලනික වශයෙන් ව්‍යුහගත වෙනසක් කිරීමේ අවශ්‍යතාවක්

උගන්ඩාවේ එව්ලින් අචම් වැනි සමහර ක්‍රියාකාරිකයින්ට අනුව, අප මෙහිදී කතාබහ කළ පුද්ගලයින් විශේෂ වෙහෙසක් දැරූ ‘වීරයන්’ ය.

“ඔවුන් කළ දේ පහසු නැහැ. ඒ වගේම, ඔවුන්ගේ කැපවීම උනන්දුව ඇතිකරවනසුළු යි.”

කෙසේ වෙතත්, අප්‍රිකානුවන් වෙනුවෙන් තැනුණු පාරිසරික ගැටලු සම්බන්ධ ප්ලැට්ෆෝමයක් වන Rise Up ව්‍යාපාරයේ ජාතික සම්බන්ධීකාරක වන එව්ලින් පවසන්නේ, ඇත්ත වශයෙන්ම අවශ්‍යව ඇත්තේ “දේශපාලනික වශයෙන් ව්‍යුහගත වෙනසක්” බව යි.

”සාමාන්‍ය මිනිස්සුන්ගේ ක්‍රියාකලාපය වැදගත්. ඔවුන් කුඩා නමුත් අත්‍යවශ්‍ය වෙනසක් සිදුකරනවා. ඒත් ඔබ [පුද්ගලික වාහනය භාවිතයෙන්] උගන්ඩාවේ පොදු ප්‍රවාහනයට මාරු වුණා නම්, උගන්ඩාවේ බස් තවමත් ඉන්ධන විමෝචනය කරන නිසා, ඔබ කරපු දෙයින් ලොකු වෙනසක් ඇතිවෙන්නේ නැහැ.”

“හරිත ආර්ථිකයකට සංක්‍රමණය වීමට නම් අපට අවශ්‍යවෙලා තියෙන්නේ ඉහළින්ම ලබා දෙන විසඳුම් සහ නීතිරීති. ඒ නිසා තමයි අපි ලොකු රැස්වීම්වලට ගිහිල්ලා, ප්‍රධාන පෙළේ නායකයින් එක්ක සාකච්ඡා කරන්න ඕනේ කියලා කියන්නේ,” ඇය පවසයි.

“ඒ වගේම, රැඩිකල් කියන සංකල්පය ද සාපේක්ෂ යි කියලා අපි මතක තියාගන්න ඕනේ. මස් පරිභෝජනය නවත්වන එක, ආහාර සඳහා වෙනත් විකල්ප නොමැති සමහර රටවලට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි,” ඇය වැඩිදුරටත් පවසයි.

Kantar Publicහි අධ්‍යක්ෂ එමෑනුවෙල් රිවියර්ට අනුව, දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ගත්කල අපෙන් 75%ක් දෙනා “සිතන්නේ හොඳ ප්‍රයෝගික විසඳුම් පිළිබඳ පැහැදිලි එකඟතාවයක් නොමැති අවස්ථාවල දී” අපි “‘ඉඳලා බලමු’ වැනි පිළිවෙතක්” අනුගමනය කරන බව යි.

නමුත් අප මෙහිදී කතාබහ කළ පුද්ගලයින් වැනි, බලා සිටීමට කාලයක් නැතැ යි විශ්වාස කරන අය තමන්ගේ ජීවිත විශාල වශයෙන් වෙනස්කර ගනිමින්, වහාම තමාට හැකි දේ කරමින් අභිමානයෙන් යුතුව නැගී සිටිති.

bbc