ගිනිකොනදිග තුර්කියේ සහ උතුරු සිරියාවේ ගරාවැටුණු ගොඩනැගිලි මධ්‍යයේ දිග හැරෙන ඛේදවාචකය අනපේක්ෂිත ලෙස භූමිකම්පා ඇති විය හැකි ආකාරය පිළිබඳව අපට තව දුරටත් කල්පනා කිරීමට අවස්ථාව ලබා දෙයි. මේ අනුව වඩාත්ම අනපේක්ෂිත ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් සැපයීමේ ක්‍රමවේදයක් ගැන විද්‍යඥයින් දැන් පෙර කවරදාටත් වඩා උනන්දුවෙන් කරුණු සොයමින් සිටිති.

එය හදිසියේ සහ අනතුරු ඇඟවීමකින් තොරව සිදු වුණේය. පෙබරවාරි 6 වන දින අලුයම රික්ටර් පරිමාණයේ 7.8ක පළමු භූමිකම්පාව සිදුවන විට බොහෝ දෙනෙක් නිදාගෙන සිටියෝය.

ප්‍රධාන ව්‍යසනයක් දිග හැරෙමින් පවතින බවට ප්‍රථම සංඥා විද්‍යාඥයින් පෙන්වා දුන්නේ පළමු භූමිකම්පාවෙන් ඇති වූ භූ කම්පන තරංග ලොව පුරා ප්‍රතිරාවය වීමත් සමඟය. පැය කිහිපයකට පසු රික්ටර් පරිමාණයේ 7.5ක දෙවන විශාල භූමිකම්පාවත් සිදුවිය.

භූමිකම්පා දෙකෙහිම සාපේක්ෂ නොගැඹුරු බව නිසා සෙලවීමේ තීව්‍රරතාවය විශේෂයෙන් දරුණු විය. ප්‍රදේශය පසු කම්පනවලින් වෙව්ලමින් පවතින බැවින් එක්සත් ජනපද භූ විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත්තේ, දිවි ගලවා ගත් අය සහ ගළවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් කලාපයට පැමිණෙමින් සිටින ගලවා ගැනීමේ සේවකයින් පසුකම්පන සහ භූමිකම්පාවේ ප්‍රතිඵලයක් ලෙස සිදු වන නායයෑම් සහ පොළව පැලී යාමෙන් සැලකිය යුතු අවදානමකට මුහුණ දෙන බවයි.

භූමිකම්පා ඇති වූ නැගෙනහිර ඇනටෝලියානු පද්ධතිය භූ කම්පන “ත්‍රිත්ව හන්දියක” කොටසකි. එහිදී භූ තල තුනක් (ඇනටෝලියාව, අරාබිය සහ අප්‍රිකානු තැටි) එකිනෙක ගැටේ. 1970 සිට රික්ටර් පරිමාණයේ 6 හෝ ඊට වැඩි භූමිකම්පා තුනක් පමණක් මෙම කලාපයට පහර දී ඇති අතර බොහෝ භූ විද්‍යාඥයින් විශ්වාස කළේ මෙම කලාපය විශාල භූමිකම්පාවක් සඳහා “ප්‍රමාද” බවයි.

එසේ නම් ඔවුන්ට ඒ ගැන අනාවැකි කිව නොහැකි වූයේ මන්ද?

ඇත්ත වශයෙන්ම භූමිකම්පා පුරෝකථනය කිරීම ඉතා දුෂ්කර ය. සිදුවීමක් සිදු වූ පසු භූ කම්පන දත්ත තුළ බොහෝ විට කුඩා සංඥා අනාවරණය කර ගත හැකි වුවද සෙවිය යුතු දේ දැන ගැනීම සහ කලින් අනාවැකි කිරීමට එය භාවිතා කිරීම වඩාත් අභියෝගාත්මක ය.

“අපි රසායනාගාරයේ භූමිකම්පා අනුකරණය කරන විට මේ සියලු කුඩා අසාර්ථකත්වයන් සිදු වන ආකාරය අපට දැකගත හැකියි. මුලින්ම පෙනෙන්නේ යම් ඉරිතැලීම් සහ සමහර අඩුපාඩු” ඉතාලියේ Sapienza University of Rome සහ එක්සත් ජනපදයේ පෙන්සෙල්වේනියා ප්‍රාන්තයේ Penn State University හි භූ විද්‍යාව පිළිබඳ මහාචාර්ය Chris Marone පවසයි.

“නමුත් විශාල භූමිකම්පාවක් සිදු වන බවට පෙරනිමිති හෝ ඇඟවීම් අපට බොහෝ විට නොපෙනෙන්නේ මන්ද යන්න පිළිබඳව බොහෝ අවිනිශ්චිතතාවයක් පවතිනවා”

භූ විද්‍යාඥයන් අවම වශයෙන් 1960 ගණන්වල සිට භූමිකම්පා අනාවැකි පළ කිරීමට නවීන විද්‍යාත්මක ක්‍රම භාවිතා කිරීමට උත්සාහ කළ නමුත් එය එතරම් සාර්ථක නොවීය. මැරෝන් පවසන්නේ මෙයට බොහෝ දුරට හේතුව ලෝකය පුරා ඇති නිරීක්ෂණ පද්ධතිවල සංකීර්ණත්වය බවයි. භූ කම්පන ශබ්ද රාශියක් ද ඇත. පෘථිවිය නිරන්තරයෙන් මැසිවිලි නඟමින් හා ඝෝෂාකාරී වේ. මෙය රථවාහන, ගොඩනැගිලි ඉදිකිරීම් සහ දෛනික ජීවිතයේ මානව ඝෝෂාව සමඟ ඒකාබද්ධ වූ විට භූ කම්පන මගින් ඇති කරන සංඥා තෝරා ගැනීම දුෂ්කර කරයි.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණයට අනුව, සැබවින්ම ප්‍රයෝජනවත් භූමිකම්පා අනාවැකියක් නිපදවීමට කරුණු තුනක් අවශ්‍ය වේ. ඒවා නම්,

  1. එය සිදුවන ස්ථානය කුමක්ද ?
  2. එය සිදුවන්නේ කවදාද ?
  3. සිදුවීම කෙතරම් විශාලද ?  යන කරුණු තුනයි.

භූවිද්‍යාඥයින් පවසන්නේ කිසිවකුට එය නිශ්චිතව කළ නොහැකි බවයි.

ඒ වෙනුවට භූ විද්‍යාඥයින් වසර කිහිපයක කාල රාමුවක් තුළ භූමිකම්පාවක සම්භාවිතාව ගණනය කරන “උපද්‍රව සිතියම් hazard maps” තුළ ඔවුන්ගේ හොඳම අනුමාන මොනවාදැයි ඉදිරිපත් කරයි. මේවා වඩාත් අවදානමට ලක්ව ඇති ප්‍රදේශවල ගොඩනැගිලි ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම වැනි යම් තරමක සැලසුම්කරණයක් සඳහා උපකාර කළ හැකි නමුත් මහජනතාවට ඉවත් වීමට හෝ නවාතැන් ගැනීමට ඉඩ දීම සඳහා පූර්ව අනතුරු ඇඟවීම් සැපයීමට අවශ්‍ය පුරෝකථන මට්ටම එය සපයන්නේ නැත. භූමිකම්පා කලාපයක ජීවත් වන සෑම කෙනෙකුටම විශාල සෙලවීම් වලට ඔරොත්තු දීමට අවශ්‍ය යටිතල පහසුකම් ලබා ගත නොහැකිය.

“බටහිර ලෝකයේ බොහෝ රටවල 1970 සහ 1980 ගණන්වල ක්‍රියාත්මක වූ භූ කම්පන ශක්තිමත් කිරීමේ කේත රැසක් තිබෙනවා. නමුත් ගොඩනැගිලි තැනීමට සහ නැවත සකස් කිරීමට විශාල මුදලක් වැය වෙනවා” මාරෝන් පවසයි.

එබැවින් විද්‍යාඥයන් ඒ වෙනුවට භූමිකම්පා අනාවැකි වඩාත් නිවැරදි කිරීමට ක්‍රම සොයමින් සිටිති. (භූ කම්පන සංඥා සමඟින්) පර්යේෂකයන් විවිධ ස්ථානවල හෝඩුවාවන් සොයමින් සිටිති. සතුන්ගේ හැසිරීම් වල සිට පෘථිවියේ ඉහළ වායුගෝලයේ විදුලි කැළඹීම් දක්වා මෙම සොයා බැලීම් සිදුවේ.

චීනයේ විද්‍යාඥයන් භූමිකම්පා ඇතිවීමට පෙර දිනවලදී පෘථිවි අයනගෝලයේ විද්‍යුත් ආරෝපිත අංශුවල රැළි ගැන සොයමින් සිටිති. කෙසේ වෙතත් මෑතක සිට මිනිසුන්ට මග හැරෙන සියුම් සංඥා හඳුනාගැනීම සඳහා කෘත්‍රිම බුද්ධියේ හැකියාවන් පිළිබඳව උද්යෝගයක් වර්ධනය වෙමින් පවතී. යන්ත්‍ර ඉගෙනීමේ කෘත්‍රිම බුද්ධිය මඟින් අනාගත සිදුවීම් පුරෝකථනය කිරීමට භාවිත කළ හැකි රටා සෙවීමට අතීත භූමිකම්පාවලින් විශාල දත්ත ප්‍රමාණයක් විශ්ලේෂණය කළ හැකිය.

“මෙම ආකාරයේ යන්ත්‍ර ඉගෙනීම පදනම් කරගත් පුරෝකථනය බොහෝ උනන්දුවක් ඇති කර ඇත” යනුවෙන් මාරෝන් පවසයි. ඔහු සහ ඔහුගේ සගයන් පසුගිය වසර පහක කාලය තුළ රසායනාගාරයේ අනුකරණය කරන ලද භූමිකම්පා දෝෂ හඳුනා ගැනීමේ හැකියාව ඇති කෘත්‍රිම බුද්ධිය සංවර්ධනය කරමින් සිටිති. අත්ල ප්‍රමාණයේ කළුගල් කුට්ටි භාවිතා කරමින් ඔවුන්ට දෝෂයක් තුළ ඇති විය හැකි ආතතිය ගොඩනැගීම සහ ඝර්ෂණය ප්‍රතිනිර්මාණය කළ හැකිය. දෝෂය ලිස්සා යන තෙක් පීඩනය ගොඩනඟා ඔවුන් “ලබ්කම්පා” ලෙස හඳුන්වන දේ නිර්මාණය කරයි.

“ප්‍රත්‍යාස්ථ තරංග ටිකෙන් ටික බිඳෙන විට දෝෂය හරහා ගමන් කරනවා” මාරෝන් පවසයි. “මෙම ප්‍රත්‍යාස්ථ ගුණාංගවල වෙනස්වීම් සහ දෝෂ කලාපයේම foreshocks වලින් එන ශබ්දය මත පදනම්ව රසායනාගාරයේ අසාර්ථකත්වය සිදුවන්නේ කවදාදැයි අපට පුරෝකථනය කළ හැකියි. මෙය පෘථිවියට ගෙනයාමට අපි කැමතියි. නමුත් අපිට තවමත් එවැනි හැකියාවක් නැහැ.

කෘත්‍රිම බුද්ධිය මෙම අනාවැකි බලය සැබෑ ලෝකයේ දෝෂ සහිත කලාපවල විශාල, සංකීර්ණ පරිසරයකට මාරු කිරීම වඩා අභියෝගාත්මක ය.

“මෙය ක්‍රියාත්මක විය හැකි යැයි යෝජනා කරන භූමිකම්පාවකින් පසු පශ්චාත් පුරෝකථනය කිරීමේදී මිනිසුන් එය කරන්නේ කෙසේදැයි සොයා ගත් අවස්ථා කිහිපයක් තිබෙනයා.ඒත් තවම ලොකු පෙරළියක් වෙලා නෑ” මාරොන් පෙන්වා දෙයි.

නිදසුනක් වශයෙන් චීනයේ විද්‍යාඥයන් දෝෂ සහිත කලාපවලට ඉහළින් ඇති චුම්භක ක්ෂේත්‍රයේ වෙනස්වීම් හේතුවෙන් භූමිකම්පා ඇතිවීමට පෙර දිනවලදී පෘථිවි අයනගෝලයේ විද්‍යුත් ආරෝපිත අංශුවල රැළි සොයමින් සිටිති. නිදසුනක් වශයෙන් බීජිං හි භූමිකම්පා අනාවැකි ආයතනයේ Jing Liu විසින් නායකත්වය දුන් එක් කණ්ඩායමක් පැවසුවේ 2010 අප්‍රේල් මස මුලදී එය ඇතිවීමට දින 10 කට පෙර කැලිෆෝනියාවේ Baja හි ඇති වූ භූමිකම්පාවේ කේන්ද්‍රයට ඉහළින් වායුගෝලීය ඉලෙක්ට්‍රෝන වල කැළඹීම් දැකිය හැකි වූ බවයි.

පසුගිය වසර 20 තුළ අයනගෝලයේ ඉලෙක්ට්‍රෝන අන්තර්ගතයේ වෙනස්කම් පරීක්ෂා කිරීමෙන් 83% නිරවද්‍යතාවයකින් පැය 48කට පෙර විශාල භූමිකම්පා අනාවැකි පළ කිරීමට යන්ත්‍ර ඉගෙනීම භාවිතා කිරීමට හැකි බව ඊශ්‍රායලය පදනම් කරගත් තවත් කණ්ඩායමක් මෑතකදී කියා සිටියේය.

චීනය පැහැදිලිවම අයනගෝලයේ මෙම ඉඟි මත තම බලාපොරොත්තු තබා ඇත. පෘථිවි අයනගෝලයේ ඇති විද්‍යුත් විෂමතා නිරීක්ෂණය කිරීම සඳහා 2018 දී චීනය විසින් China Seismo-Electromagnetic Satellite (CSES) දියත් කරන ලදී. පසුගිය වසරේ බීජිං හි චීනයේ භූමිකම්පා ජාලයේ මධ්‍යස්ථානයේ විද්‍යාඥයන් කියා සිටියේ 2021 මැයි සහ 2022 ජනවාරි මාසයේදී චීන ප්‍රධාන භූමියට බලපෑ භූමිකම්පාවලට සති දෙකකට සහ සතියකට පෙර අයනගෝලයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ පහත වැටීමක් සොයාගත් බවයි. ඒ නිසා ආපසු බැලීමේ ප්‍රයෝජනය ඇත.

තවද ඔවුන් අනතුරු අඟවන්නේ චන්ද්‍රිකා දත්ත සමඟ වුවද ඉදිරියේදී සිදුවීමට නියමිත භූමිකම්පාවක් ගැන අනාවැකි කීමට ඔවුන්ගේ සොයාගැනීම් තවමත් බොහෝ දුරින් පවතින බවයි.