පසුගිය දා දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ විද්‍යාඥයින් විසින් නිකුත් කළ දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රධාන නව වාර්තාව”මනුෂ්‍යත්වයේ පැවැත්ම සඳහා මාර්ගෝපදේශයක්‘ /survival guide for humanity ) බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසයි.

වර්ධනය වන දේශගුණික විපත් මඟහරවා ගැනීම සඳහා සුනිත්‍ය බලශක්තිය1 (Clean energy) සහ තාක්ෂණය උපයෝගී කර ගත හැකි බව එම වාර්තාව පවසයි.

නමුත් ස්විට්සර්ලන්තයේ පැවති රැස්වීමකදී දේශගුණ විද්‍යාඥයින් අනතුරු ඇඟවූයේ ප්‍රධාන ගෝලීය උෂ්ණත්ව ඉලක්කයක් මග හැරිය හැකි බවයි.

ෆොසිල ඉන්ධන සඳහා වේගවත් කප්පාදුවක් මගින් දේශගුණික විපර්යාසවල හානිකර බලපෑම් වළක්වා ගත හැකි ආකාරය එම වාර්තාව පෙන්වා දෙයි.

සොයාගැනීම්වලට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසන්නේ දශකයකින් සියලුම රටවල් සිය ශුද්ධ ශුන්‍ය / net zero සැලසුම් ඉදිරිපත් කළ යුතු බවයි. මෙම ඉලක්ක අපේ පෘථිවි වායුගෝලය උණුසුම් කරන හරිතාගාර වායු විමෝචනය වේගයෙන් කපා හැරීමට නියමිතය.

“සියලු දෙනාටම ජීවත්විය හැකි සහ තිරසාර අනාගතයක් සුරක්ෂිත කිරීම සඳහා ශීඝ්‍රයෙන් වැසී යන අවස්ථා කවුළුවක් තිබේ” යනුවෙන් එම වාර්තාව සඳහන් කරයි.

ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 ට වඩා ඉහළ යාම වැළැක්වීම සඳහා ක්‍රියා කිරීමට රටවල් මීට පෙර එකඟ වී තිබුණි. නමුත් ලෝකය දැනටමත් සෙල්සියස් අංශක 1.1 කින් උණුසුම් වී ඇති අතර දැන් විශේෂඥයින් පවසන්නේ 2030 ගණන්වලදී එය සෙල්සියස් අංශක 1.5 ඉක්මවා යාමට ඉඩ ඇති බවයි.

මේ සම්බන්ධයෙන් එක්සත් රාජධානිය ප්‍රතිචාර දැක්වමින් කියා සිටියේ 2023 නොවැම්බරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුව COP28 ට පෙර රටවල් “වඩා අභිලාෂකාමී දේශගුණික බැඳීම් සඳහා වැඩ කළ යුතු” බව වාර්තාවෙන් පැහැදිලි වන බවයි.

“එක්සත් රාජධානිය ශුද්ධ ශුන්‍ය කරා වැඩ කිරීමේ ගෝලීය ප්‍රමුඛයා වේ.  නමුත් අපි තව දුරටත් වේගයෙන් ඉදිරියට යා යුතුයි,”  රජයේ ප්‍රකාශකයෙක් පැවසීය.

දේශගුණික විපර්යාසවලින් දරුණු ලෙස පීඩාවට පත් වනු ඇතැයි අපේක්ෂා කරන රටවල් අතර පැසිෆික් කලාපයේ දූපත් රාජ්‍ය ඉදිරියෙන්ම සිටී.

වාර්තාවට ප්‍රතිචාර දක්වමින් කුඩා දූපත් රාජ්‍යයන්ගේ සන්ධානයේ (Alliance of Small Island States) සභාපති ආචාර්ය පාඔලෙලි ලුටේරු මෙසේ පැවසීය: “අපේ ජනතාව අවතැන් වෙමින් සිටිනවා. නමුත් බලවත් රටවල් විසින් එකඟත්වය පළ කළ දේශගුණික බැඳීම් ඉටු නොවන බවයි දැකගත හැකි වන්නේ. පොසිල ඉන්ධන කර්මාන්තය බිලියන ගණනක ලාභයක් භුක්ති විඳිමින් සිටිනවා. දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට අඛණ්ඩ ක්‍රියාමාර්ග නොමැතිකම ගැන නිදහසට කරුණු තිබිය නොහැකියි.”

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයට උපදෙස් දෙන විද්‍යාත්මක ආයතනය වන දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ වාර්තාවට ඊට සම්බන්ධ සියලුම රජයන් එකඟ වී ඇත.

දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ විද්‍යාඥයින්ගේ නව අධ්‍යයනයේ අරමුණ වන්නේ 2018 වසරේ සිට නිකුත් කර ඇති දේශගුණික විපර්යාස සඳහා හේතු, බලපෑම් සහ විසඳුම් පිළිබඳ වැදගත් සොයාගැනීම් කිහිපයක් නිශ්චිත ඉලක්කයක් දක්වා කේන්ද්‍රගත කිරීමයි. එය දේශගුණික විපර්යාස දැනටමත් ලෝකය මත ඇති කරන සැලකිය යුතු බලපෑම් ගෙනහැර දක්වන අතර, මේවා වඩාත් නරක අතට හැරෙනු ඇති බව පැහැදිලි කරයි.

2100 වන විට ශතවර්ෂයකට වරක් සිදු වූ ආන්තික වෙරළබඩ ගංවතුර (coastal flooding) අවම වශයෙන් වාර්ෂිකව සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ලෝකය උණුසුම් වූ ආකාරය 1850- 1900

වායුගෝලයේ CO2 සාන්ද්‍රණය වසර මිලියන 2 කින් ඉහළම අගයක් ගනී. පසුගිය වසර 125,000 තුළ ඕනෑම අවස්ථාවකට වඩා දැන් ලෝකය උණුසුම් වී ඇති අතර ඉදිරි දශකය තුළ එය තවත් උණුසුම් වනු ඇතැයි උපකල්පනය කෙරේ.

“නුදුරු කාලීනව වුවද, (ඉතා අඩු හරිතාගාර වායු තත්වයක් යටතේ වුවද) ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 ට නොපැමිණීමට වඩා වැඩි ඉඩක් ඇතැයි” වාර්තාව සඳහන් කරයි.

“අපි සෙල්සියස් අංශක 1.5ක් ඉලක්ක කර 1.6ක් ලබා ගන්නේ නම් එහි තේරුමක් නෑ. එය තවමත් ප්‍රමාද වැඩියි. අපි විනාශයට පත් වෙනවා. මම උත්සාහ කරන්නේවත් නැහැ,” යනුවෙන් මෙම වාර්තාව සම්පාදනය වෙනුවෙන් දායකත්වය ලබා දුන්  මූලික ලේඛන කණ්ඩායමේ සාමාජිකයෙකු වන ආචාර්ය ෆ්‍රෙඩ්රික් ඔටෝ පැවසීය.

“මම හිතන්නේ මෙම වාර්තාව ඉතා පැහැදිලිව පෙන්වන දෙය ඉටුකර ගැනීමට උත්සාහ කිරීමෙන් බොහෝ ජයග්‍රහණ ලබා ගැනීමට හැකියාව තිබෙනවා” ඔහු වැඩි දුරටත් පැවසීය.

උපකල්පන මගින් පෙන්නුම් කරන්නේ තෙල් ළිං සහ ගෑස් නළ මාර්ග වැනි දැනට පවතින ෆොසිල ඉන්ධන යටිතල ව්‍යුහයෙන් CO2 ප්‍රක්ෂේපිත විමෝචනය මෙම ප්‍රධාන උෂ්ණත්ව සීමාව යටතේ රැඳී සිටීම සඳහා ඉතිරි කාබන් අයවැය (තවමත් විමෝචනය කළ හැකි CO2  ප්‍රමාණය) බිඳ දමන බවයි.

එක්සත් ජනපදයේ විලෝ ඔයිල් හෝ එක්සත් රාජධානියේ කුම්බ්‍රියා ගල් අඟුරු ආකරය වැනි නව ව්‍යාපෘති ගැන පැහැදිලිව සඳහන් නොකළත් ඒවායේ බලපෑම ගැන සැක නැත.

ජර්මානු ජාත්‍යන්තර හා ආරක්ෂක කටයුතු පිළිබඳ ආයතනයේ සාමාජික සහ වාර්තාව සම්පාදිත මූලික ලේඛක කණ්ඩායමේ සාමාජිකයෙකු වන ආචාර්ය ඔලිවර් ගෙඩන් මෙසේ පැවසීය. “ෆොසිල ඉන්ධන සඳහා කඩඉමක් දිනක් නැහැ. නමුත් අපට දැනටමත් ඇති පොසිල ඉන්ධන යටිතල පහසුකම් එම කාබන් අයවැය හරහා හමා යන බව පැහැදිලියි. නව පොසිල ඉන්ධන යටිතල පහසුකම් විවෘත කිරීමේදී ඉතිරිව ඇති කාබන් අයවැය නිසැකවම සෙල්සියස් අංශක 1.5 කඩඉම් ඉලක්කයට ගැළපෙන්නේ නැහැ”

ලේඛනය දැඩි ලෙස තර්ක කරන්නේ සෙල්සියස් අංශක 1.5 ඉක්මවා යාම යනු ලෝකයේ අවසානය නොවන බවයි. මෙය “තාවකාලික අතික්‍රමණයක්” පමණක් විය හැකි බව එය තර්ක කරයි.

සූර්ය බලයෙන් සහ සුළඟින් නිපදවන බලශක්ති මිලෙහි දැවැන්ත පහත වැටීම පෙන්වා දෙමින් කතුවරුන් පවසන්නේ ධනාත්මක වෙනස්කම් වේගයෙන් ළඟා කර ගත හැකි බවට තමන් සුබවාදී වන බවයි.

ආහාර, ආහාර අපද්‍රව්‍ය සහ අඩු කාබන් ප්‍රවාහනයට මාරුවීම සම්බන්ධයෙන් පාරිභෝගිකයින් විසින් මෙහෙයවනු ලබන වෙනස්කම් බොහෝ අංශවලින් කාබන් විමෝචනය සැලකිය යුතු ලෙස කපා හැරිය හැකි බව ද ඔවුහු තර්ක කරති.

නමුත් හැකි ඉක්මනින් ශුද්ධ ශුන්‍ය විමෝචනය කරා යාමට අමතරව කාබන් ඩයොක්සයිඩ් ඉවත් කිරීමේ තාක්ෂණය මහා පරිමාණයෙන් භාවිතා කිරීම අවශ්‍ය වනු ඇති බව වාර්තාව ද පිළිගනී.

සමහර නිරීක්ෂකයින්ට ඔවුන්ගේ නිගමන ගැන සැකයන් ඇත. “සිදුවිය යුතු දේ අපි දන්නවා. නමුත් කාබන් ඉවත් කිරීමේ කොටස සහ කාබන් ග්‍රහණය කර ගැනීම සහ ගබඩා කිරීමේ අදහස් අවධානය වෙනතකට යොමු කිරීමක්” යනුවෙන් ජාත්‍යන්තර පාරිසරික නීති මධ්‍යස්ථානයේ Lili Fuhr පැවසීය.

වඩාත් කඩිනම් ක්‍රියාමාර්ග සඳහා වාර්තාවේ කැඳවීමට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ශුද්ධ ශුන්‍ය සඳහා ඔවුන්ගේ සැලසුම් ඉදිරියට ගෙන එන ලෙස රටවල්වලින් ඉල්ලා සිටියේය.

“සංවර්ධිත රටවල නායකයින් 2040 ට හැකි තරම් ආසන්න ශුද්ධ ශුන්‍යයට ළඟා වීමට කැපවිය යුතුයි. ඉලක්ක කළ යුතු සීමාව එයයි” ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

2050 න් ඔබ්බට ශුද්ධ ශුන්‍ය සැලසුම් ප්‍රකාශයට පත් කර ඇති ඉන්දියාව සහ චීනය වැනි රටවලින් ඔහු ඉල්ලා සිටින්නේ ඒවා දශකයකින් ඉදිරියට ගෙන ඒමට උත්සාහ කරන ලෙසයි.

bbc

වචනාර්ථ

  1. Clean energy – පිරිසිදු බලශක්තිය පැමිණෙන්නේ දේශගුණික විපර්යාස ඇති කරන Co2 වැනි හරිතාගාර වායූන් විශේෂයෙන් කිසිදු ආකාරයක දූෂණයක් නිපදවන්නේ නැති උත්පාදන පද්ධති මගිනි. සුළං, සූර්ය, ජල, භූතාපජ, ජෛව බලශක්ති සහ න්‍යෂ්ටික බලශක්තිය මේ යටතේ ගැනේ.