• මිනිස් ක්‍රියාකාරකම් නොවූවේ නම් මෙවැනි වාර්තාගත බිහිසුණු නියඟයක් නෑ

  • ලක්ෂ 200ක් සාගත අවදානමක

වසර පහක් පුරා අඛණ්ඩව පවතින නියඟය නැගෙනහිර අප්‍රිකාවේ සෝමාලියානු අර්ධද්වීපයේ මිලියන 50කට පමණ සෘජුවම බලපා ඇති අතර අවම වශයෙන් මිලියන 4.3කට මානුෂීය ආධාර අවශ්‍ය වී ඇත.

නැගෙනහිර අප්‍රිකාවේ සෝමාලියානු අර්ධද්වීපයේ ඇති වී තිබෙන දැඩි නියඟට ඍජුව මිනිස් ක්‍රියාකාරකම් හේතු වී ඇතැයි ද එය මිනිසා විසින් ඇති කළ නියඟයක් ලෙස සැලකිය හැකි බව ද විද්‍යාඥයින් පෙන්වා දෙති.

නියඟය නැගෙනහිර අප්‍රිකාවේ මිලියන 50කට පමණ සෘජුව බලපා ඇති අතර මිලියන 20ක පමණ ජනතාවක් උග්‍ර ආහාර අනාරක්ෂිත භාවයේ සහ සාගතයට ගොදුරු වීමේ අවදානමක සිටිති. තවත් මිලියන 100ක් පමණ වක්‍ර බලපෑමට ලක්ව සිටිති.

වසර 40කට පසු, 2020 ඔක්තෝම්බර් මාසයේ මෙම කලාපය එහි දරුණුතම නියඟයට ගොදුරු වී ඇත. කලාපය තුළ කඩින් කඩ කෙටි, නමුත් තීව්‍ර වර්ෂාපතනයන් වාර්තා වූ අතර ඒවා බොහෝ විට හදිසි ගංවතුර තත්ත්වයන් නිර්මාණය කර ඇත. කෙසේ වෙතත් අඛණ්ඩව දැඩි වියළි කාලගුණයක් වාර්තා වීම සාමාන්‍ය සිද්ධියක් වී ඇත. පසුගිය වසර පහ පුරාම අඛණ්ඩව මෙම කලාපයට ලැබී ඇත්තේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනයට වඩා අඩු වර්ෂාපතනකි.

මෙම තත්ත්වය හමුවේ නැගෙනහිර අප්‍රිකාවේ අවම වශයෙන් මිලියන 4.35ක ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍ය වන බව ඇස්තමේන්තු කර ඇත. මේ අතර අවම වශයෙන් සරණාගතයින් 180,000ක් සෝමාලියාව සහ දකුණු සුඩානය හැර කෙන්යාව සහ ඉතියෝපියාව වෙත පලා ගොස් ඇත.

පසුගිය 27 වැනි දා ලෝක කාලගුණ ආරෝපණ විද්‍යාඥයින්ගේ කණ්ඩායම (World Weather Attribution group of scientists) විසින් ප්‍රකාශයට පත්කරන ලද අධ්‍යයනයක් මගින් නැගෙනහිර අප්‍රිකානු නියඟයට මූලික හේතුව දේශගුණය වෙනස් කළ මිනිස් ක්‍රියාකාරකම් බවට චෝදනා කර ඇත.

නැගෙනහිර අප්‍රිකානු නියඟයට ප්‍රධාන හේතුව වර්ෂාපතනයේ අඩු වීමක් පමණක් නොවන බව එම අධ්‍යයනය පෙන්වා දෙයි. ගෝලීය උණුසුම ඉහළ යාම නිසා ඇති වන ඉහළ උෂ්ණත්වය හේතුවෙන් වාෂ්පීකරණය ඉහළ යාමෙන් කලාපයේ පස සහ තණබිම් වඩා වියළි බවට පත් කර ඇත.

මෑත කාලීන වර්ෂාපතන තත්ත්වයන් නියඟයට තුඩු නොදෙන බවත් දේශගුණික විපර්යාසයන් එයට ඍජු හා ප්‍රධානතම හේතුව බවත් අධ්‍යයනයෙන් සොයාගෙන ඇත.

ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි දේශගුණික විපර්යාස සහ පරිසරය පිළිබඳ ග්‍රන්තම් ආයතනයේ දේශගුණ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ෆ්‍රෙඩ්රික් ඔටෝ මෙසේ පැවසීය: “මෙම අධ්‍යයනය ඉතා ප්‍රබල ලෙස පෙන්නුම් කරන්නේ නැගෙනහිර අප්‍රිකාවේ වාර්තාගත නියඟයට හේතුව වර්ෂාව නොමැතිකමට වඩා දේශගුණික විපර්යාසවල බලපෑම් බවයි. අපි කෙතරම් අවදානමට ලක්ව සිටිනවාද යන්න ඒ අනුව පැහැදිලි වේ. මෑතදී ප්‍රකාශයට පත් කරන ලද දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ වාර්තාවේ ප්‍රධාන සොයාගැනීම්වලින් එකක් නම්, අප සිතුවාට වඩා ලෝකය අවදානමට ලක්ව ඇති බවයි’’

දේශගුණ අර්බුදයේ බලපෑමෙන් තොර වූවේ නම් නැගෙනහිර අප්‍රිකාවේ අඩු වර්ෂාපතනය සහ අධික උෂ්ණත්වය මීට වඩා දුර්වල වනු ඇතැයි විද්‍යාඥයෝ පවසති. නමුත් ඔවුන්ගේ අධ්‍යයනයෙන් හෙළි වූයේ දේශගුණ විපර්යාස වසරේ ඇතැම් කාලවලදී වර්ෂාපතනය වැඩි කරන බවයි.

අධ්‍යයනයෙන් ආවරණය වන කලාපයේ  (දකුණු ඉතියෝපියාව , දකුණු සෝමාලියාව සහ නැගෙනහිර කෙන්යාව) වර්ෂාපතනය සාමාන්‍යයෙන් සෘතු දෙකකින් සංකේන්ද්‍රණය වේ. වාර්ෂික වර්ෂාපතනයෙන් වැඩි ප්‍රමාණයක්න මාර්තු සිට මැයි දක්වා දිගු වැසි සමයේදී ලැබේ. ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කෙටි වර්ෂාපතන කාලයක් ඇති අතර එහිදී අඩු තීව්‍ර සහ විචල්‍ය වර්ෂාපතනයක් ලැබේ.

දේශගුණික අර්බුදයේ බලපෑම යටතේ මාර්තු සිට මැයි දක්වා වන දීර්ඝ වර්ෂා සමය දැන් කෙටි වන බව අධ්‍යයනයෙන් හෙළි වී ඇති අතර, මෙම ඍතුවේ පෙරට වඩා දෙගුණයක් අඩු වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ. නමුත් අඩු වර්ෂාපතනයක් ලැබෙන ඔක්තෝබර් – දෙසැම්බර් දක්වා වන කෙටි වැසි සමය තුළ වැඩි වර්ෂාපතනයක් ලැබීමේ ඉහළ සම්භාවිතාවක් පවතී.

කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාලගුණ විද්‍යාඥ සහ දේශගුණ විද්‍යාඥ ජොයිස් කිමුටායි පැවසුවේ, “මෙම අධ්‍යයනයේ සොයාගැනීම්වලින් පෙනී යන්නේ ප්‍රධාන වැසි සමයේදී අධික උෂ්ණත්වය සමඟ මිශ්‍ර වූ බහු අවුරුදු නියඟය ආහාර සුරක්ෂිතතාවයට සහ මිනිස් සෞඛ්‍යයට දැඩි ලෙස බලපාන බවයි’’

පර්යේෂකයන් අවධාරණය කළේ ආහාර හිඟය සහ සාගතයේ විභවය කිසි විටෙකත් කාලගුණයේ ප්‍රතිඵලයක් නොවන බවයි.

රතු කුරුස සහ රතු අඩසඳ දේශගුණික මධ්‍යස්ථානයේ දේශගුණික ඔරොත්තු දීමේ ප්‍රතිපත්ති උපදේශක (climate resilience policy adviser) චෙයික් කේන්  වත්මන් අර්බුදය මෙසේ සාරාංශ කළේය.

“නැගෙනහිර අප්‍රිකාවේ මිනිසුන් නියඟයට ආගන්තුකයන් නොවෙයි. නමුත් මෙවර නියඟය පවතින කාලසීමාව දීර්ඝ වීමත් සමග මිනිසුන්ට එය තව දුරටත් දාරාගත නොහැකියි. එතරම් දීර්ඝ කාලයක් නියඟයට එරෙහිව සටන් කරන්න ඔවුනට හැකියාවක් නැහැ. වර්ෂාව මත යැපෙන ජීවනෝපායන්, ගැටුම් සහ රාජ්‍ය අස්ථාවරත්වය වැනි අවදානම් සමඟ එක්ව ඍතු පහක් පුරා සාමාන්‍යයට වඩා අඩු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් කලාපය පුරා මානුෂීය ව්‍යසනයක් නිර්මාණය කර තිබෙනවා’’

thegardian