ප්‍රබල ඉන්දියානු පරිසරවේදිනක වන වන්දනා ශිවා ආයතනික කෘෂිකර්මාන්තයේ ‘විෂ කාටලයෙන්’ බීජ සහ ගොවීන් ආරක්ෂා කිරීමට වසර 50ක් පුරා තමා කළ  අරගලය ගැන සාකච්ඡා කරයි.

‘’ජීවිතයේ හරය සොයා ගැනීමට ඔබට බොහෝ දුරක් බැලිය යුතු නෑ. සියල්ල බිහිවන්නේ බීජයෙන්. නමුත් බීජය යන්ත්‍රයක් නොවන බව අප අමතක කර තිබෙනවා. අපි සිතන්නේ අපට ජීවිතය අපේ ජීවිය යාන්ත්‍රීකරණය කළ හැකි බවයි. ඒ වගේම අපි හිතනවා වැඩි බලපෑමකින් තොරව ජීවියෙකුගේ DNA වෙනස් කළ හැකි බව. නමුත් මේක භයානක මිත්‍යාවක්” ශිවා පවසයි.

දශක පහකට ආසන්න කාලයක් තිස්සේ මහාචාර්ය වන්දනා ශිවා ඉන්දියාවේ පාරිසරික යුක්තිය සඳහා වන අරගලයේ ප්‍රබල චරිතයකි. ලොව ප්‍රබලතම පරිසරවේදිනියක ලෙස සැලකෙන ඇය වනාන්තර සුරැකීමට, දූෂිත පතල් වසා දැමීමට, පළිබෝධනාශකවල අන්තරායන් හෙළි කිරීමට, කාබනික ගොවිතැන සඳහා වූ ගෝලීය ව්‍යාපාරයට අනුබල දෙමින්, පාරිසරික ස්ත්‍රීවාදයට ප්‍රමුඛත්වය දෙමින්, යෝධ රසායනික සමාගම්වලට එරෙහිව කටයුතු කර ඇත.

ජානමය වශයෙන් වෙනස් කරන ලද සහ වාණිජමය වශයෙන් පාලනය කරන ලද බීජවලට වඩා ස්වභාවික ස්වරූපයෙන් ලෝකයේ බීජ ආරක්ෂා කිරීමට ඇය දීර්ඝ කාලයක් පුරා අරගලයක නිරතව සිටී.

ශිවාගේ ගෝලීයකරණ විරෝධී දර්ශනය සහ ඇය ඉන්දියාව පුරා සිදුකරන වන්දනා චාරිකා බොහෝ විට ඇය මහත්මා ගාන්ධි සමඟ සංසන්දනය කිරීමට අනුබල සපයා ඇත. එහෙත් ගාන්ධි ස්වයං විශ්වාසයේ සංකේතයක් ලෙස චරකය භාවිත කළ අතර ශිවාගේ ලාංඡනය බීජය වේ.

මේ වන විට 70 හැවිරිදි වියේ පසුවන ශිවා දික්කසාද වී ඇති අතර දරුවන් බිහි නොකිරීමට තීරණය කර ඇත. විශේෂයෙන්ම ඉන්දියාවේ කාන්තාවන්ට බොහෝ විට පනවා ඇති පීතෘමූලික සම්මතයන්ට අනුකූල වීම ප්‍රතික්ෂේප කරමින් ඇය ඇගේ ජීවිතය ගත කර ඇත. පොත් 20 කට වඩා ප්‍රකාශයට පත් කර ඇති අතර ඇය වැඩමුළු හෝ දේශන සඳහා ලොව පුරා සංචාරය නොකරන විට දිල්ලියේ පිහිටි ඇගේ කාර්යාලයේ හෝ හිමාලය කඳු පාමුල පිහිටි කාබනික ගොවිපොළේ කාලය ගත කරයි.

ඉන්දියාව නිදහස ලබා ගත් විට ඇගේ පියා ශිවා ඉපදී හැදී වැඩුණු උත්තරකාන්ද් කඳුකර ප්‍රාන්තයේ වනාන්තරවල රැකියාවක් සඳහා ගියේ ඇය පිරිමියෙකුට සමාන යැයි විශ්වාස කළ නිසාය.

“වනාන්තර මගේ අනන්‍යතාවය වූ අතර කුඩා කල සිටම ස්වභාවධර්මයේ නීති මා සිත් ගත්තේය” ඇය පවසන්නීය.

ජාන වෙනස් කළ බෝග සංවර්ධනය කිරීම සහ පේටන්ට් බලපත්‍රය ලබා ගැනීම සඳහා තරඟයක් පැවතුනි. නමුත් කිසිවෙකු ‘එමගින් පරිසරයට සිදුවන බලපෑම කුමක්ද ? කියා ඇසීමට නතර වූයේ නැත

වනාන්තරයේ ලැගුම්හලක කුඩා, අපිරිසිදු පුස්තකාලයක තිබූ ඇල්බට් අයින්ස්ටයින්ගේ උපුටා දැක්වීම් පොතක් ඇයට ලැබෙන විට ඇයට යාන්තම් වයස අවුරුදු හයක් පමණ විය. ඇය භෞතික විද්‍යාඥවරියක් වීමට  අධිෂ්ඨානශීලී වූවාය. ඇගේ ග්‍රාමීය කන්‍යාරාම පාසලේ විද්‍යාව ඉගැන්වූයේ නැතත්, ශිවාගේ දෙමාපියන් ඇයගේ කුතුහලය ධෛර්යමත් කළ අතර ඇයට ඉගෙනීමට මාර්ග සොයා ගත්හ. වයස අවුරුදු 20 දී ඇය කැනේඩියානු විශ්ව විද්‍යාලයකින් ක්වොන්ටම් භෞතික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය සම්පූර්ණ කරමින් සිටියාය.

එහෙත් දැව කැපීම, වේලි සහ සංවර්ධනය නිසා උත්තරාකාන්ද්හි වනාන්තරවලට පාරිසරික විනාශයක් සිදු වූ අතර ප්‍රදේශයේ ගොවි කාන්තාවන් එයට එරෙහිව සටන් කිරීමට නැගී සිටියහ. මේ අතර ඉන්දියාවට ආපසු එන විට ඇගේ හදවත ක්වොන්ටම් භෞතික විද්‍යාව සමඟ නොව වෙනස්, කරදරකාරී ප්‍රශ්න සමග පොර බැදුවේය.

“නව තාක්‍ෂණය ප්‍රගතියක් ගෙන දෙන බව අපට පැවසීමට හේතුව මට තේරුම් ගත නොහැකි වුණා. මෙම සංවර්ධනය හෝ නව තාක්‍ෂණය පැමිණි විගස ප්‍රදේශයේ මිනිසුන් දුප්පත් වෙමින් හා භූ දර්ශන විනාශයට පත් වෙමින් තිබුණා ” ඇය පවසයි.

බොරුවට තිබෙන බලය කොපමණ වුවත්, බොරුව බොරුවක් බව කියන්න මම බිය වන්නේ නැහැ. ඒ වගේම මම කවදාවත් ඇත්ත කතා කරන්න පැකිලෙන්නේ නැති එක ගැන මම ආඩම්බර වෙනවා

1982 දී කඳුකර නගරයක් වන ඩෙහ්රාඩුන් හි (Dehradun) ඇගේ මවගේ ගව මඩුවේදී ශිවා විද්‍යාව, තාක්ෂණය සහ පරිසර විද්‍යාව අතර හරස්කඩ ගවේෂණය කරමින් සිය පර්යේෂණ පදනම පිහිට වූවාය. ඇය 1960 ගණන්වල අග භාගයේ සිට ග්‍රාමීය ඉන්දියාව පුරා පැතිර ගිය “හරිත විප්ලවය / green revolution” ලේඛනගත කිරීමට පටන් ගත්තාය. හරිත විප්ලවය සමඟ බෝග අස්වැන්න ඉහළ නැංවීමට සහ සාගත වළක්වා ගැනීමට රජය විසින් තාක්‍ෂණය, යාන්ත්‍රිකකරණය සහ කෘෂි රසායන හඳුන්වා දී තිබූ අතර ඒවා භාවිතයට ගොවීන් තල්ලු කර තිබුණි.

හරිත විප්ලවය පුළුල්ව පැතිරුණු සාගින්න වැළැක්වීම සහ ග්‍රාමීය ප්‍රජාවන් තුළට අවශ්‍ය නවීකරණයක් හඳුන්වා දුන් බව පිළිගනු ලැබුවද, එය ඉන්දියාවේ අඛණ්ඩ ඒක වගා ක්‍රමයක ආරම්භය ද වූ අතර එහිදී ගොවීන් දේශීය ප්‍රභේද අත්හැර දමා ඒ වෙනුවට ඉහළ අස්වැන්නක් ලබා දෙන බෝග කිහිපයක් සිටුවීමට උනන්දු කරන ලදී.

එය සහනාධාර පොහොර සහ රසායනික ද්‍රව්‍ය මත යැපීමක් ද ඇති කළ අතර, මිල අධික හා පාරිසරික වශයෙන් විනාශකාරී ද විය. එසේ වුවද ඒක වගා ක්‍රමය අද දක්වාම අඛණ්ඩව පවතී. කලක් ඉන්දියාවේ පාන් කූඩය (breadbasket of India) ලෙස හැඳින්වූ පන්ජාබ් වැනි සාරවත් ප්‍රාන්තවල පසෙන් එහි පොහොසත් ඛනිජ ඉවත් කර ඇත. මීට සමගාමීව ජල මාර්ග සිඳී යමින් පවතින අතර ගංගා රසායනික ද්‍රව්‍යවලින් දූෂිත වී ඇති අතර ගොවීන් සදාකාලික අර්බුදයෙන් හා කෝපයෙන් පෙළෙති.

1990 ගණන්වල මුල් භාගයේදී කෘෂිකාර්මික ජෛව  තාක්‍ෂණය (agricultural biotechnology) සහ වාණිජ අරමුණු සඳහා බෝග ජාන වෙනස් කිරීමට රසායනික සමාගම් විසින් සැලසුම් කරන ලද ප්‍රථම බහුපාර්ශ්වික සාකච්ඡාවලින් ඇය බැහැර කළ විට රසායනික කර්මාන්තය පිළිබඳ ශිවාගේ සැකය තවත් නරක අතට හැරුණි.

“මෙම  බෝග සංවර්ධනය කිරීමට සහ පේටන්ට් බලපත්‍ර ලබා ගැනීමට සමාගම් අතර තරඟයක් පැවතුනි. නමුත් කිසිවෙකු ‘එමගින් පරිසරයට ඇති වන බලපෑම කුමක්ද ?‘ කියා ප්‍රශ්න කළේ නැත. ඒවා විවිධත්වයට බලපාන්නේ කෙසේද? මේ සඳහා ගොවීන්ට කොපමණ මුදලක් වැය වේද? ඔවුන්ට (බහුජාතික සමාගම්වලට) අවශ්‍ය වූයේ තරඟය ජයගෙන ලෝකයේ සියලුම බීජ පාලනය කිරීම පමණි. මට නම්, ඒ සියල්ල ඉතා වැරදි ලෙස පෙනෙන්නට තිබුණි ”ශිවා පවසයි.

1991 දී, පළමු ජානමය වශයෙන් වෙනස් කරන ලද (Genetically Modified GM) බෝග වගා කිරීමට වසර පහකට පෙර, ඇය ඉන්දියාවේ දේශීය බීජ සුරැකීමට සහ ඒවායේ භාවිතය ගොවීන් අතර ව්‍යාප්ත කිරීමට මුලපිරීමක් වන “බීජ නවය / nine seeds” යන අර්ථය ඇති Navdanya ආරම්භ කළාය. වසර අටකට පසු ලොව විශාලතම බීජ නිෂ්පාදකයා වන Monsanto සමාගම ජානමය වශයෙන් වෙනස් කරන ලද  කපු (GM cotton) අවසරයකින් තොරව ඉන්දියාවට ගෙන ඒමට එරෙහිව නඩු පවරමින් ඇය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියාය.

මොන්සැන්ටෝ 1960 ගණන්වල වියට්නාම් යුද්ධයේදී එක්සත් ජනපද හමුදාව සඳහා ‘ඔරේන්ජ්‘ නම් විෂ රසායනිකය නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් වූ අතර පසුව 1990 ගණන්වල ජානමය වශයෙන් වෙනස් කරන ලද බෝග සංවර්ධනයට නායකත්වය දුන්නේය. විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින කෘෂිකාර්මික රටවල බීජ ඒකාධිකාරියක් බිහි කර ගැනීමට මොන්සැන්ටෝ උත්සාහ ගත්තේය.ෙ

ජර්මානු ඖෂධ සහ ජෛව තාක්‍ෂණ සමාගමක් වන Bayer විසින් 2018 දී මිලදී ගත් මොන්සැන්ටෝ සමාගම ඒ වන විට නීතිමය ක්‍රියාමාර්ගයක පැටලී සිටියේය. 2020 දී  මොන්සැන්ටෝ සමාගම 100,000කට ආසන්න පුද්ගලයින් වෙනුවෙන් එහි වල් නාශක සහ පිළිකා අතර සම්බන්ධතා පිළිබඳ හිමිකම් පියවීම සඳහා ඩොලර් බිලියන 11ක ගෙවීමක් නිවේදනය කළ නමුත් කිසිදු වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කළේය. 2016 දී, සිවිල් සමාජ කණ්ඩායම් දුසිම් ගණනක් හේග් හි “මහජන විනිශ්චය සභාවක්” ස්ථාපිත  කළ අතර, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මොන්සැන්ටෝ වරදකරුවකු වන බවත් තිරසාර නොවන ගොවිතැන් ක්‍රමයක් වර්ධනය කළ බවටත් තීන්දු කළේය.

ශිවා පවසන්නේ මොන්සැන්ටෝ සමාගම උසාවියට ​​ගෙන යාම මාෆියාවකට එරෙහිව නැගී සිටීමක් ලෙස හැඟුණු බවත්, මෙම නඩුව ගොනු නොකරන ලෙස බොහෝ පිරිසක් තමාට බලපෑම් කළ බවයි.

2002 දී මොන්සැන්ටෝ සමාගමට ජාන වෙනස් කරන ලද කපු ඉන්දියාවට ගෙන ඒමට අවසර ලැබුණද, ශිවා “විෂ කාටලය / poison cartel” ලෙස හඳුන්වන රසායනික බහුජාතික සමාගම්වලට එරෙහිව ඇගේ සටන දිගටම කරගෙන ගියාය. වර්තමානයේ ලෝකයේ වාණිජ බීජවලින් 60%කට වඩා අලෙවි කරනු ලබන්නේ බහුජාතික සමාගම් හතරක් විසින් පමණක් වන අතර කපු සහ සෝයා වැනි ඇතැම් GM බෝගවල ගෝලීය ඒකාධිකාරයට ද ඔවුන් හිමිකම් කියයි. මේ අතර මෙම සමාගම් මගින් ලබා ගත් බීජ මගින් තවත් කන්නයක් වගා කළ බවට චෝදනා කරමින්  කුඩා පරිමාණ ගොවීන් සිය ගණනකට නඩු පැවරීමට ද මෙම සමාගම් පියවර ගෙන ඇත.

“මෙම සමාගම්, අපි සහල් හොයාගත්තා, අපි තිරිඟු හොයාගත්තා’ කියද්දී අපිත් එම ජයග්‍රහණය සැමරුවා ” ඇය පවසන්නීය.

GM බෝග අසාර්ථක වී ඇති බව ඇය ස්ථිරව පවසයි. ඇත්ත වශයෙන්ම, ජාන වෙනස් කරන ලද බෝග සහ ගෝලීයකරණය පිළිබඳ ඇයගේ විවෘත හා බොහෝ විට නොසැලෙන ආස්ථානයන් ඇයට බොහෝ විවේචකයින් සහ බලවත් සතුරන් උපයා දී ඇත.

මගේ සාඩම්බර කාර්යය වන්නේ බීජයට සහ ඇගේ නිර්මාණශීලීත්වයට සවන් දීමයි

වසර 21 කට පෙර ජොහැන්නස්බර්ග් හි පැවති තිරසාර සංවර්ධනය පිළිබඳ ලෝක සමුළුවේදී

GM හි අන්තරායන් අතිශයෝක්තියට නැංවීම, ගොවීන්ගේ සියදිවි නසාගැනීම් සහ ජානමය වශයෙන් වෙනස් කරන ලද බෝග අතර සෘජු සහසම්බන්ධය පිළිබඳ කරුණු සරල කිරීම සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී ඇති අතර, ගෝලීයකරණයට එරෙහි ඇගේ මතවාද නිසා නිසා ‘ප්‍රගතියේ සතුරා / enemy of progress ‘ ලෙස ඇය හඳුන්වනු ලැබේ.

ගෝලීය ජනගහනය බිලියන 8 දක්වා ඉහළ ගොස් ඇති අතර දේශගුණික අර්බුදය කෘෂිකර්මාන්තය අවුල් ජාලයකට ඇද දමා ඇත. මේ අතර සමහර ප්‍රමුඛ පරිසරවේදීන් පවා තම ස්ථාවරය වෙනස් කර ඇති අතර GM බෝග මගින් ආහාර සුරක්ෂිතතාවයට අනුබල දිය හැකි බවට තර්ක කර ඇත. GM ආහාර සම්බන්ධයෙන් දැඩි නීති පනවා තිබූ එක්සත් රාජධානිය ඇතුළු රටවල් දැන් බෝග සහ සතුන්ගේ ජාන සංස්කරණ සඳහා වැඩි අවධානයක් යොමු කරයි. පසුගිය වසරේ ඉන්දියාව නව GM අබ බීජ වර්ගයක් නිකුත් කිරීමට අනුමැතිය ලබා දුන්නේය.

ජාන සංස්කරණ ක්‍රියාවලියේ බොහෝමයක් තවමත් “භයානක ලෙස අනපේක්ෂිත” බව තර්ක කරමින්, දේශගුණයට අනුවර්තනය වූ බෝග කාර්මික විද්‍යාගාරවලින් පමණක් පැමිණිය හැකි යැයි සිතීම “නූගත්කම” ලෙස හඳුන්වමින් ශිවා GM  සඳහා වන මෙම අලුත් තල්ලුව දැඩි ලෙස විවේචනය කරයි.

“ගොවීන් දැනටමත් දේශගුණයට ඔරොත්තු (climate-resilient) දෙන සහ කරදියට වලට ඔරොත්තු දෙන බීජ (salt-tolerant seeds) දහස් ගණනක් බෝ කර තිබෙනවා. ඔවුන් කුමන පේටන්ට් බලපත්‍ර ඉල්ලා සිටියත් ඒවා විශාල සමාගම් කිහිපයක සොයාගැනීම් නොවෙයි ”ඇය පවසයි.

ශිවාට අනුව කෘෂිකර්මාන්තය මුහුණ දෙන ගෝලීය අර්බුදය විසඳනු ඇත්තේ “විෂ කාටලය” මගින් හෝ ෆොසිල ඉන්ධන හෝ කාර්මික ගොවිතැන (industrialized farming) අඛණ්ඩව කරගෙන යාමෙන් නොවේ. ඒ වෙනුවට කෘෂි රසායන මත තවදුරටත් රඳා නොපවතින දේශීය, කුඩා පරිමාණ ගොවිතැන වෙත ආපසු යාමකින් කෘෂිකර්මාන්තය මුහුණ දෙන ගෝලීය අර්බුදය විසඳනු ඇත්තේය.

“ගෝලීය වශයෙන් ශක්‍ය නොවන කෘෂිකාර්මික පද්ධතියක් නඩත්තු කිරීම සඳහා සහනාධාර ලෙස පමණක් වසරකට ඩොලර් බිලියන 400ක් වැය කරනවා.  මේ කාර්මීකරණය වූ ගෝලීය ආහාර පද්ධතිය පස විනාශ කරයි, එය ජලය විනාශ කරයි, එය අපගේ හරිතාගාර වායුවලින් 30% ක් ජනනය කරයි. අපට මෙය නිවැරදි කිරීමට අවශ්‍ය නම්, අපි කාර්මික ගොවිතැනේ සිට පාරිසරික ගොවිතැනට (ecological farming) මාරු විය යුතුයි”

කෙසේ වෙතත්, රසායනික සමාගම්වල බලයට එරෙහි ඇගේ කුරුස යුද්ධය දිගටම පවතින අතර, ශිවා ඇගේ වැදගත්ම කාර්යය ලෙස සලකන්නේ ඉන්දියාවේ ගම්මාන හරහා සංචාරය කිරීම, සහල් වර්ග 4,000ක් ඇතුළුව බීජ එකතු කිරීම, බීජ බැංකු 100කට වඩා පිහිටුවීම සහ කාබනික ගොවිතැන වෙත යළි යාමට ගොවීන්ට උපකාර කිරීම ය.

“මගේ සාඩම්බර කාර්යය වන්නේ බීජයට සහ ඇගේ නිර්මාණශීලීත්වයට සවන් දීමයි” ඇය පවසයි.

“බොරුවට තිබෙන බලය කොපමණ වුවත්, බොරුව බොරුවක් බව කියන්න මම බිය වන්නේ නැහැ. ඒ වගේම මම කවදාවත් ඇත්ත කතා කරන්න පැකිලෙන්නේ නැති එක ගැන මම ආඩම්බර වෙනවා.” ඇය පවසයි.

theguardian.com