• දිලීර රෝග ගෝලීය ආහාර සැපයුමට බරපතළ තර්ජනයක් වන බව විශේෂඥයෝ පවසති

  • පර්යේෂණවලට අරමුදල් නෑ

ලෝකයේ වැදගත්ම බෝග වලට වේගයෙන් වර්ධනය වන දිලීර ආසාදන හේතුවෙන්  අනාගත ගෝලීය ආහාර සැපයුමට තර්ජනයක් සිදුවන බව විද්‍යාඥයින් අනතුරු අඟවයි. ඔවුන් පෙන්වා දෙන්නේ දිලීර රෝග කාරක මර්දනය කිරීමට අපොහොසත් වීම “ගෝලීය සෞඛ්‍ය ව්‍යසනයකට / global health catastrophe” තුඩු දිය හැකි බවයි.

දිලීර දැනටමත් බෝගවලට ඇති විශාලතම තර්ජනය වේ. ඔවුන් සිය ඔරොත්තු දීමේ හැකියාව දැඩි ලෙස වර්ධනය කරගෙන ඇති අතර සුළඟ මගින් බොහෝ දුරක් පැතිර යයි. එමගින් (විශේෂයෙන්) ඒක බෝග වගාවන්ට විශාල විනාශයක් සිදුකළ හැකිය.

‘’දිලීර අතිශයින්ම අනුවර්තනය වන අතර බොහෝ දිලීර පොදු දිලීර නාශක වලට ප්‍රතිරෝධයක් වර්ධනය කර ඇත’’ විශේෂඥයින් පවසයි.

දේශගුණික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස උෂ්ණත්වය ඉහළ යාම සහ දිලීර ආසාදන ක්‍රමයෙන් ධ්‍රැව දෙසට ගමන් කිරීම නිසා දිලීර බලපෑම වඩාත් නරක අතට හැරෙනු ඇතැයි පර්යේෂකයෝ පවසති . 1990 ගණන්වල සිට දිලීර රෝග කාරක වසරකට කිලෝමීටර 7ක පමණ වේගයකින් ඉහළ අක්ෂාංශ කරා ගමන් කරයි. සාමාන්‍යයෙන් නිවර්තන කලාපයේ දක්නට ලැබෙන තිරිඟු කඳ මලකඩ ආසාදන / Wheat stem rust දැනටමත් එංගලන්තයෙන් සහ අයර්ලන්තයෙන් වාර්තා වී ඇත.

අධික උෂ්ණත්වය නිසා දිලීර රෝග කාරක වල නව ප්‍රභේද මතු වීමට ද හේතු වන අතර, වඩාත් ආන්තික කුණාටු මගින් ඔවුන්ගේ බීජාණු තව දුරටත් පැතිර යා හැකි බව විද්‍යාඥයෝ පවසති.

එක්සත් රාජධානියේ එක්සෙටර් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සාරා ගුර් (Sarah Gurr) පැවසුවේ දිලීර මිනිස් මොළයට ආසාදනය වන The Last of Us රූපවාහිනී වැඩසටහන හරහා මෑතකදී මහජන අවධානයට ලක් වූ බවයි.

“එම කථා වස්තුව විද්‍යා ප්‍රබන්ධයක් වුවද දිලීර ආසාදන වල සීග්‍ර ගෝලීය ව්‍යාප්තිය හේතුවෙන් ගෝලීය සෞඛ්‍ය ව්‍යසනයක් දැකිය හැකි බවට අපි අනතුරු අඟවන්නෙමු. මෙහි ආසන්න තර්ජනය මළගිය ආත්ම ගැන නොව, ගෝලීය සාගින්න ගැන යි’’ මහාචාර්ය සාරා ගුර් පැවසුවාය.

ගෝලීය උණුසුම නිසා දිලීර වල තාපයට ඔරොත්තු දීමේ හැකියාව ඉහළ යාමේ අවදානමක් ද පවතින බව විද්‍යාඥයෝ පැවසූහ.

ජර්මනියේ කීල් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඊවා ස්ටුකන්බ්‍රොක් (Eva Stukenbrock) මෙසේ පැවසුවාය: “අපගේ ගෝලීය ජනගහනය ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති හෙයින්, මානව වර්ගයා ආහාර නිෂ්පාදනයේදී පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දී සිටී. සෑම වසරකම ඔරොත්තු දිය හැකි දිලීර ආසාදන හේතුවෙන් විශාල අස්වැන්නක් අහිමි වන බව අපි දැනටමත් දනිමු. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් සමග මෙම ප්‍රවණතාවය වඩාත් නරක අතට හැරෙනු ඇත”

Nature විද්‍යාත්මක සඟරාවේ ලිපියක නිකුත් කරන ලද අනතුරු ඇඟවීමේ නිවේදනයේ දැක්වෙන්නේ දැනටමත් දිලීර රෝග හේතුවෙන් බෝගවලින් 10% ත් 23% ත් අතර ප්‍රමාණයක් අහිමි වී ඇති බවයි. සහල්, තිරිඟු, බඩ ඉරිඟු, සෝයා බෝංචි සහ අර්තාපල් වලට සිදුවන (වඩාත්ම වැදගත් භෝග පහ හරහා) දිලීර ආසාදන මිලියන සිය ගණනක් ජනයා පෝෂණය කළ හැකි වාර්ෂික අස්වනු පාඩු ඇති කරයි.

ගෝලීය වශයෙන් බෝග වගාවට විශාලතම බලපෑම ඇති කරන මෑත කාලීන පළිබෝධ සහ රෝග කාරක ලැයිස්තුවේ මුල්පෙළ අංක හයට හිමිකම් කියන්නේ දිලීරයි.

දිලීර ඇදහිය නොහැකි තරම් ඔරොත්තු දෙන සුළුය. පර්යේෂකයන් පවසන පරිදි දිලීර වසර 40ක් දක්වා පසෙහි නොනැසී (සජීවීව) පවතින අතර ඒවායේ බීජාණු  වාතය හරහා මහද්වීප අතර ගමන් කළ හැකිය.

“ඇමරිකාවේ ටොනේඩෝ වලින් පසු දිලීර බීජාණු බොහෝ දුර ගමන් කර ඇති බව ඔබට පෙනේ,” මහාචාර්ය ගුර් පැවසුවාය.

දිලීර නාශක බහුලව භාවිතා වන නමුත් එක් සෛලීය ක්‍රියාවලියක් පමණක් ඉලක්ක කර ගන්නා ප්‍රතිකාර වලට ප්‍රතිරෝධය වේගයෙන් පරිණාමය කිරීමට රෝග කාරක හොඳින් සන්නද්ධ වේ. දැනට පවතින දිලීර නාශක සහ රෝග ප්‍රතිරෝධය සඳහා සාම්ප්‍රදායික අභිජනනය තවදුරටත් ප්‍රමාණවත් නොවන බව පර්යේෂකයෝ පවසති.

මීට එක් විසඳුමක් වන්නේ තනි වික්‍රියාවක ඒකව වගාවට වඩා දිලීර ආසාදනයට ප්‍රතිරෝධී ජාන පරාසයක් රැගෙන යන බීජ මිශ්‍රණ සිටුවීමයි. 2022 දී ඩෙන්මාර්කයේ තිරිඟු හතරෙන් එකක් පමණ මේ ආකාරයෙන් වගා කරන ලදී. විද්‍යාඥයින් පවසන්නේ ඩ්‍රෝන යානා සහ කෘත්‍රිම බුද්ධිය මගින් දිලීර හානි කලින් හඳුනා ගැනීමට සහ පාලනය කිරීමට ඉඩ ලබා දෙන බවයි.

නව පළිබෝධනාශක සංවර්ධනය වෙමින් පවතින අතර, එක්සෙටර් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් කණ්ඩායමක් මෑතකදී දිලීර තුළ ජීව විද්‍යාත්මක ක්‍රියාවලීන් කිහිපයක් ඉලක්ක කරන, රසායනික ද්‍රව්‍යවලට තුඩු දිය හැකි සංයෝග සොයා ගත් අතර එමඟින් ප්‍රතිරෝධය වර්ධනය කිරීම වඩාත් අපහසු වේ. තිරිඟු, සහල්, බඩ ඉරිඟු සහ කෙසෙල් ආසාදනය කරන දිලීර වලට එරෙහිව මෙම ප්‍රවේශය දැනටමත් ප්‍රයෝජනවත් බව පෙන්වා දී ඇත.

2020 සිට 2022 දක්වා එක්සත් රාජධානියේ පර්යේෂණ සහ නවෝත්පාදන කවුන්සිලය විසින් Covid-19 පර්යේෂණ සඳහා වෙන් කරන ලද පවුම් මිලියන 550 සහ එම කාලය තුළම දිලීර බෝග පර්යේෂණ සඳහා වෙන් කළ පවුම් මිලියන 24 සමඟ සසඳන විට දිලීර රෝග කාරක පර්යේෂණ සඳහා අරමුදල් සපයා ගැනීමේ බරපතළ දුෂ්කරතා පවතින බව පර්යේෂකයෝ පෙන්වා දුන්හ.

“අපට කෑමට ප්‍රමාණවත් තරම් ආහාර නිෂ්පාදනයක් සිදුනොවන්නේ නම් කොවිඩ් වලට පෙර සාගින්න අපව මරා දමන බව ඒකාන්තය. නමුත් අපගේ පර්යේෂණ ක්ෂේත්‍රය (කෘෂි දිලීර) ඔබට සිතාගත හැකි සෑම මානව රෝගයක් සඳහාම ඖෂධ සොයා ගැනීමේ පර්යේෂණ වලට කරන ආයෝජන සමඟම සසඳන ඉතාමත් දිළිඳුය’’ මහාචාර්ය ගූර් පැවසුවාය.

the guardian