• අපට ඇති බලපෑම අති විශාලයි‘: විද්‍යාඥයින් ඇන්ටාක්ටිකාව පිරිසිදු කිරීමට යයි
  • සාගරයට බැහැර කරන අපද්‍රව්‍ය, ක්ෂුද්‍ර ප්ලාස්ටික් සහ ඉන්ධන හේතුවෙන් ඇන්ටාක්ටිකාවට බරපතළ කසළ ගැටලුවක් නිර්මාණය වී තිබේ.

ඇන්ටාක්ටික් අර්ධද්වීපයේ කුඩා චිලී ගම්මානයක් වන Villa Las Estrellas සිට කෙටි දුරක පිහිටි පර්යේෂණාගාරවල සේවය කරන විද්‍යාඥයින් නොසලකා හැරීමට උත්සාහ කරන ගුහාවක් තිබේ. කුඩා පෙන්ගුයින් රංචුවක් සීතලේ වෙවුලමින් සිටී.  රුසියානු ඉන්ධන ටැංකි හයක් සහ සිලින්ඩර කිහිපයක් මලකඩ කා ඇති අතර සීතල සුළඟ ඒවා විකෘති කර ඇත.

කිලෝමීටර් 5ක අරයක් තුළ විද්‍යාත්මක පර්යේෂණ මධ්‍යස්ථාන හයක් ක්‍රියාත්මක වන කිං ජෝර්ජ් දූපතේ දශක ගණනාවක් පුරා විද්‍යාත්මක පර්යේෂණ හා ප්‍රවාහන කටයුතුවල නියැලෙන සෑම කෙනෙක්ම ඒවා මනසින් බැහැර කර ඇත.

අපද්‍රව්‍ය අඩංගු රුසියානු තෙල් ගබඩා ටැංකි අතහැර දමා ඇති අයුරු

පරිගණක යතුරුපුවරු දුසිම් ගණනක් පැරණි අධිශීතකරණයක තද කර අහුරා ඇත. රුසියානු, ජර්මානු සහ ස්පාඤ්ඤ භාෂාවෙන් මුද්‍රණය කළ ලේබල් සහිත ඉවතලන බියර් කෑන් තොගයක් තවත් තැනක ගොඩගසා ඇත.

වෙරළේ තවත් තැනක කළු වූ මේස පාපන්දු කට්ටලයක් සිටගෙන සිටින අතර, සීතලෙන් ඉරිතලා ඇති වෝල්ට් 12 බැටරි අට්ටි තවත් තැනක ගොඩ ගසා ඇති  අතර බැටරි ඇසිඩ් තට්ටුවක් ඒවායින් කාන්දු වේ. තවත් තැනක ‘පෙට්‍රල්‘ යැයි ලේබල් කර ඇති මළකඩ කෑ බැරල් පේළියකින් වෙරළට ඉන්ධන කාන්දු වේ.

විලා ලාස් එස්ට්‍රෙල්ලාස් / Villa Las Estrellas හරහා ගමන් කරන ඇතැමුන් විසින් “චර්නොබිල්” ලෙස හඳුන්වනු ලබන, කිං ජෝර්ජ් අයිලන්ඩ් හි ඇති මෙම කුණු කන්ද, පෞරාණික මහාද්වීපයට (ඇන්ටාක්ටිකාවට) ගොස් සියවසකට පසුවත් මිනිසුන් කරන බලපෑම පිළිබඳ විවෘත මතක් කිරීමකි.

මේ වන විට අපද්‍රව්‍යවලින් බහුතරයක් ඇසුරුම් කර ඇන්ටාක්ටිකාවේ සිට නැව්වලින් පිටත් කර හැරියද මිනිස් පා සටහන් තවමත් එහි පැහැදිලිව දැකගත හැකිය.

Pedro Echeveste සගයන් වන Maritza Fajardo (කණ්නාඩි පැළඳ සිටින) සහ Karola Soto සමඟ අපද්‍රව්‍ය සාම්පල එකතු කරයි.

1991 ඔක්තෝම්බර් මාසයේදී මැඩ්රිඩ් හි දී පාරිසරික ආරක්ෂාව පිළිබඳ ප්‍රොටෝකෝලයක් (protocol on environmental protection) අත්සන් කරන ලදී. පාරිසරික කළමනාකරණය සඳහා අවම ප්‍රමිතීන් සකස් කර ඇන්ටාක්ටිකාව “සාමය සහ විද්‍යාව සඳහා කැප වූ ස්වභාවික රක්ෂිතයක්” බව එමගින් නැවත අවධාරණය කළේය. එය 1998 දී බලාත්මක වූ අතර මහාද්වීපය පාලනය කරන 1959 ඇන්ටාක්ටික් ගිවිසුම් පද්ධතියේ (Antarctic Treaty System ATS) උපදේශන පාර්ශ්ව 29 මෙන්ම අනෙකුත් ජාතීන් 13ක් එයට අත්සන් තබා ඇත.

එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193න් හයෙන් එකකට වඩා අඩු ප්‍රමාණයක් ATS හි සාමාජිකයින් වන අතර අප්‍රිකාව සහ මැද පෙරදිග විශේෂයෙන් අඩු නියෝජනයක් ඇත.

එහි නිර්දේශ අතර, ප්‍රොටෝකෝලය මගින් ඕනෑම නව යටිතල ව්‍යුහයක් නිසා ඇතිවන පාරිසරික බලපෑම් නිරන්තරයෙන් නිරීක්ෂණය කළ යුතු බව නියම කරයි. (පර්යේෂණ මධ්‍යස්ථානවලින් තුනෙන් දෙකක් එය සම්මත කර ගැනීමට පෙර ගොඩනගා ඇතත්)  එහෙත් බලාත්මක කිරීම බොහෝ දුරට තනි විද්‍යාත්මක වැඩසටහන් සහ දූත මණ්ඩල වෙත පැවරේ.

“නියාමනය විශාල ගැටලුවක්. ඊට හේතුව එහි හරය භූදේශපාලනික වීමය. කිසිවෙක් හැරී ඔබට පියවර ගන්නා ලෙස නොකියනු ඇත. මන්ද එක් පාර්ශවයක් අනුමත කිරීමට උත්සාහ කරන දේ මගින් වෙනත් දෙයකට ප්‍රතිවිපාක ඇති විය හැකි බැවිනි.” බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂණයේ (British Antarctic Survey – BAS) පර්යේෂකයෙකු වන ආචාර්ය ජැස්මින් ලී පැවසීය.

වර්තමානයේදී රටවල් 56ක් ඇන්ටාක්ටික් ගිවිසුම් පද්ධතියට අත්සන් තබා ඇති අතර, මෙයින් රටවල් 42ක ඇන්ටාක්ටිකාව තුළ පර්යේෂණාගාර ඇත. 2019 දී සිදුකළ අධ්‍යයනයක් ඇස්තමේන්තු කර ඇත්තේ ඇන්ටාක්ටිකාවේ වර්ග කිලෝමීටර් 12ක් ආවරණය කරන මෙම කඳවුරුවල ඒකාබද්ධ අඩිපාර වර්ග කිලෝමීටර් 390ක් වන බවයි.

බොහෝ ජාතීන් ඈත දකුණේ විද්‍යාත්මක හෝ භූ දේශපාලනික පැවැත්මක් සොයන විට මෙම අඩිපාර තව දුරටත් වැඩි වීමට ඉඩ ඇත.

ඇන්ටාක්ටිකාවේ සමහර මානව බලපෑම් අනෙක් ඒවාට වඩා පැහැදිලිව පෙනේ. උතුරු චිලී හි Antofagasta විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රාලිකයෙකු වන Echeveste මෙම ගිම්හානයේදී ඇන්ටාක්ටිකාවට ඔහුගේ තුන්වන සංචාරය කළේය. සගයන් දෙදෙනෙකු වන Maritza Fajardo සහ Karola Soto සමඟ එක්ව ඔහු කිං ජෝර්ජ් දූපතේ ජල සාම්පල එකතු කිරීමට මාසයකට වැඩි කාලයක් ගත කළේය.

“පැරණි තෙල් පිරවූ ප්ලාස්ටික් බෝතලයක් හෝ බහාලුමක් රැගෙන යන කුරුල්ලෙකු ඔබ දකින විට මේවා වඩාත් පැහැදිලි බලපෑම් වේ. නමුත් දැනටමත් ආහාර දාම සහ පරිසර පද්ධතිවලට ඇතුළත් කර ඇති තවත් බොහෝ දේ ඇත” Echeveste පැවසීය.

දැන් බොහෝ කුණු කන්ටේනර්වල අසුරා නැවත චිලියට ගෙන ගොස් නිසි ලෙස බැහැර කරයි.

මුහුදු ජලයේ ඇති antifreeze සහ ඉන්ධන අපද්‍රව්‍ය මෙන්ම හිරු ආවරණ (sunblock) සහ රූපලාවන්‍ය නිෂ්පාදනවල සංරචක හඳුනා ගැනීමට ඔහුගේ කණ්ඩායමට හැකි වී තිබේ.

  • Antifreeze යනු ජලය මත පදනම් වූ ද්‍රවයක හිමාංකය අඩු කරන ආකලනයකි. ශීත කිරීමේ ලක්ෂ්‍ය අවපාතය ලබා ගැනීම සඳහා මෙම මිශ්‍රණයක් භාවිතා කරයි.

ඒ හා සමාන බලපෑම් වෙනත් තැන්වල සටහන් කර ඇත. පසුගිය වසරේ, නවසීලන්තයේ පර්යේෂකයන් බටහිර ඇන්ටාක්ටිකාවේ රොස් දූපතේ ඔවුන් විසින් එකතු කරන ලද හිම සාම්පල 19න් සෑම එකක්ම ක්ෂුද්‍ර ප්ලාස්ටික් සොයා ගන්නා ලදී.

පරිසරය නොසලකා හැරීමේ දායාදයක භයානකම උදාහරණය වනුයේ 1955 දී එක්සත් ජනපදයේ US McMurdo පර්යේෂණ මධ්‍යස්ථානය පිහිටුවන ලද රොස් දූපතේ දකුණු කෙළවරේ පිහිටි වින්ටර් ක්වාටර්ස් බොක්කයි. 1981 වන තෙක්, US McMurdo මධ්‍යස්ථානයේ සේවය කළ විද්‍යාඥයින් ශීත ඍතුවේ දී මුහුදේ අයිස් මත කසළ ඇදගෙන ගියහ. වසන්තයේ දී අයිස් දිය වූ විට ඒවා බොක්ක තුළට වැටීමට ඉඩ හැරියේය.

1999 දී එක් විද්‍යාඥයෙක් ප්‍රකාශ කළේ වින්ටර් ක්වාටර්ස් බොක්කෙහි පෘථිවියේ ඕනෑම ජල කඳකට වඩා ඉහළම විෂ සාන්ද්‍රණයක් ඇති බවයි. 2001 සමීක්ෂණයකින් හෙක්ටයාර 20ක මුහුදු පත්ලේ වාහන 15ක්, නැව් බහාලුම් 26ක් සහ ඉන්ධන බැරල් 603ක් ගණන් කරන ලදී.

ඇන්ටාක්ටික් මහාද්වීපයේ ඉතා කුඩා කොටසක් බලපෑමට ලක්ව ඇති අතර, වෙරළබඩ ප්‍රදේශවල මිනිස් ක්‍රියාකාරකම් දැඩිය.

අතහැර දැමූ රුසියානු තෙල් ගබඩා ටැංකියක් තුළ ඉවතලන උපකරණ

“ඇන්ටාක්ටිකාවේ අයිස්වලින් තොර ප්‍රදේශ 1%කට වඩා අඩු ප්‍රමාණයක් ඇත. ඒවා ජෛව විවිධත්වය සහ සියලුම විද්‍යාවන් පාහේ සංකේන්ද්‍රණය කරයි” ලී පැවසීය.

තල්මසුන් සහ සීල් දඩයම්කරුවන් සහ අවසානයේ විද්‍යාඥයන් පැමිණීමට පෙර 1899 දී පළමු ගවේෂකයන්ගේ පැල්පත් සමඟ යටිතල ව්‍යුහාත්මක අඩිපාර (infrastructural footprint) ආරම්භ වූ අතර ඉන්පසු එය දිගටම ව්‍යාප්ත විය.

පවතින යටිතල පහසුකම් බෙදාහදා ගැනීමට හෝ නැවත භාවිතා කිරීමට ජාතීන්ට කරන ලද ඉල්ලීම් නොතකා නව ස්ථාන දිගටම ඉදිවෙමින් පවතින අතර, තිරසාරත්වය ප්‍රමුඛතාවයක් බවට පත්ව ඇත්තේ මෑතදීය.

බොහෝ විට පර්යේෂණ අවශ්‍යතා අභිබවා යමින් යටිතල පහසුකම් ව්‍යාප්ත කිරීම සඳහා භූ දේශපාලනික අවශ්‍යතා පෙරට පැමිණ ඇති බවට ඇතැම් විද්‍යාඥයින් චෝදනා කරති.

චිලියේ කිං ජෝර්ජ් අයිලන්ඩ් හි එස්කුඩෙරෝ කඳවුරේ ජල පිරිපහදු පද්ධති සමඟ වැඩ කරන රසායනික හා පාරිසරික ඉංජිනේරුවෙකු වන 29 හැවිරිදි කොන්ස්ටන්සා මෙන්ඩෝසා පැවසුවේ “ඇන්ටාක්ටිකාවේ චිලී සිටින මට්ටමේ වුවද අපට වැඩිදියුණු කිරීමට බොහෝ දේ ඇති බවයි’’

පසුගිය ගිම්හානයේ නියමු වැඩසටහනකින් පසු පර්යේෂණ පදනමේ පළමු ප්‍රතිචක්‍රීකරණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ඇය මේ වසරේ උදව් කළාය.

රසායනික හා පාරිසරික ඉංජිනේරුවෙකු වන Constanza Mendoza, අපජලය සැකසීමෙන් පසු එය මුහුදට මුදා හැරීම ආරක්ෂිත බව තහවුරු කර ගැනීම සඳහා විශ්ලේෂණය කරයි.

“ඒ සියල්ල රඳා පවතින්නේ එක් එක් මෙහෙයුමේ කැමැත්ත මත වන අතර, සමහරු පරිසරයට අප කරන බලපෑම ගැන අනෙක් අයට වඩා අඩුවෙන් කරදර වෙති,” ඇය පැවසුවාය.

Villa Las Estrellas හි බොහෝ යටිතල පහසුකම් කල් ඉකුත් වෙමින් පවතී. කෙසේ වෙතත්, දිනකට ඩීසල් ලීටර් 2,000ක් දහනය කරන ජනක යන්ත්‍ර මගින් ඇන්ටාක්ටික් විද්‍යාවේ භයානක කාබන් පිරිවැය ඉස්මතු කරමින් Villa Las Estrellas සඳහා ශක්තිය සපයයි.

මේ අතර තවත් සමහරු වඩාත් තිරසාර අනාගතයක් ගැන සිතමින් සිටිති. 2009 පෙබරවාරි මස ආරම්භ කරන ලද බෙල්ජියමේ ප්‍රින්සස් එලිසබෙත් මධ්‍යස්ථානය (Belgium’s Princess Elisabeth station) සුළං ටර්බයින නවයකින් සහ සූර්ය පැනල 284කින් විදුලිය නිපදවන එකම ශුන්‍ය විමෝචන ඇන්ටාක්ටික් මධ්‍යස්ථානය වේ.

නවසීලන්තයේ ස්කොට් කඳවුරේ සිදු වෙමින් පවතින ප්‍රතිසංස්කරණවලට ප්‍රතිස්ථාපන සුළං බලාගාරයක් ඇතුළත් වේ. 2018 දී, BAS විසින් 2040 වන විට කේම්බ්‍රිජ් හි ඇන්ටාක්ටික් මධ්‍යස්ථානවල සහ කාර්යාලවල කාබන් විමෝචනය ශුද්ධ ශුන්‍යයට අඩු කිරීමේ අරමුණ නිවේදනය කළේය.

නමුත් මහාද්වීපයේ තත්ත්වය හානිකර වෙමින් පවතින අතර, මෙම ගිම්හාන සමයේදී පමණක් ඇන්ටාක්ටිකාවට සංචාරකයින් 100,000 කට වඩා පැමිණ ඇත. එය වාර්තාගත ඉහළ අගයකි.

Pedro Echeveste ඇන්ටාක්ටිකාවේ අවසාදිතයේ සහ ජලයේ දූෂණයේ අංශු සොයයි

“අද, ඔබ ඇන්ටාක්ටිකාවට යාමට විද්‍යාඥයෙකු හෝ ඉතා ධනවත් විය යුතුය. එය සාධාරණ හෝ තිරසාර නොවේ. යන්නේ කවුද යන්න ගැන අප සිතා බැලිය යුතුය. මන්ද එමගින් සිදුවන බලපෑම් වඩාත් බරපතල වනු ඇති නිසාය” Echeveste පැවසීය.

වැඩි පිරිසක් සංචාරය කරන විට ආක්‍රමණශීලී ජීවී හෝ ශාක විශේෂ හඳුන්වා දීමේ අවස්ථාව වැඩි වන අතර, උෂ්ණත්වය ඉහළ යන විට ඔවුන් ඇන්ටාක්ටික් ජෛවගෝලයේ ස්ථාපිත වීමේ සම්භාවිතාව ද ඉහළ යයි.

ලීගේ පර්යේෂණ මගින් පෙන්නුම් කරන්නේ, ජෛවවිවිධත්වය මත ඇති වන බලපෑම් අවම කිරීමේ වඩාත්ම ලාභදායී ක්‍රම අතරට නව යටිතල පහසුකම් සඳහා වඩා හොඳ සැලසුම් සහ කළමනාකරණය ඇතුළත් විය යුතු බවයි. නමුත් සමහර ජාතීන් අනෙක් ඒවාට වඩා ප්‍රොටෝකෝල අනුගමනය කිරීමට වඩා හොඳ බව ද ඇය සඳහන් කරයි.

“මම හිතන්නේ නැහැ ප්‍රමාද වැඩියි කියලා. ජෛව ආරක්‍ෂාව වැඩි කිරීම, දේශීය නොවන විශේෂ හැකි ඉක්මනින් ඉවත් කිරීම, දූෂිත ස්ථාන පිළියම් කිරීම සහ කසළ පිරිසිදු කිරීම වැනි අපට කළ හැකි දේවල් තිබෙනවා’’ ඇය ප්‍රවේශමෙන් පැවසුවාය.

“අපට කළ හැකි බොහෝ දේ ඇති නමුත් එය කිරීමට ඇති කැමැත්ත එකිනෙකාගෙන් වෙනස් වේ” ලී අවසාන වශයෙන් පැවසුවාය.

https://www.theguardian.com