LED භාවිතයෙන් දියවැඩියාව සහ අධික තරබාරුවට තල්ලුවක්

ආලෝක විමෝචක ඩයෝඩ  light-emitting diodesLED වැඩි වශයෙන් භාවිතා කිරීම මිනිස් සහ වනජීවී සෞඛ්‍යයට හානි කරයි

ආලෝක විමෝචක ඩයෝඩ (light-emitting diodesLED) සහ අනෙකුත් ආලෝකකරණ භාවිතය හේතුවෙන් මේ වන විට රාත්‍රී අහස නාටකාකාර ලෙස දීප්තිමත් වෙමින් පවතින බව විද්‍යාඥයින් විසින් සොයා ගෙන ඇත. බාහිර ආලෝකකරණය, වීදි ආලෝකකරණය, ප්‍රචාරණය සහ ආලෝකමත් ක්‍රීඩා මධ්‍යස්ථාන අසීමිත ලෙස LED භාවිතා කිරීම හේතුවෙන් මේ වන විට රාත්‍රී ආකාශයේ තුරු දර්ශනය වීම සැලකිය යුතු ලෙස දුර්වල වී ඇති බවයි මෙම පර්යේෂකයින් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

2016 දී තාරකා විද්‍යාඥයින් වාර්තා කළේ ක්ෂීරපථය තවදුරටත් මනුෂ්‍ය වර්ගයාගෙන් තුනෙන් එකකට නොපෙනෙන බවය. ඊට හේතුව වශයෙන් ඔවුන් දක්වා සිටියේ දිනපතා තීව්‍රර වන ආලෝක දූෂණයයි. ආලෝක දූෂණයේ ප්‍රතිඵලයක් ලෙස තවත් වසර 20කින් ප්‍රධාන තාරකා මණ්ඩල රැසක් පියවි ඇසින් දැකගත නොහැකි වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

“රාත්‍රී අහස අපේ පරිසරයේම කොටසක්. ඊළඟ පරම්පරාවට එය දැකීමට නොහැකි වුවහොත් එය විශාල පාඩුවක් බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නැහැ. එය හරියට ඔවුන් කිසි විටෙකත් කුරුල්ලෙකුගේ කූඩුවක් දැක නැති විටක මෙනි. මේ ගැන සැලකිලිමත් වීමට ඔබ තාරකා විද්‍යාඥයෙකු වීමට අවශ්‍ය නැහැ. මම පක්ෂි විද්‍යාඥයෙක් නොවෙයි. නමුත් මගේ ගෙවත්තේ කුරුල්ලන් දැකගත නොහැකි වුණොත් ඒක මට විශාල වේදනාවක්’’ රාජකීය තාරකා විද්‍යාඥ මාටින් රීස් පැවසීය.

රීස් යනු අඳුරු අහස සඳහා වූ සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කණ්ඩායමේ (all-party parliamentary group for dark skies) නිර්මාතෘවරයෙක් වන අතර ඔවුන් මෑතකදී ආලෝක දූෂණයට එරෙහිව පියවර රැසක් ඉල්ලා වාර්තාවක් ඉදිරිපත් කළේය. අඳුරු අහස සඳහා අමාත්‍යවරයකු පත් කිරීම, අඳුරු අහස සඳහා කොමිසමක් නිර්මාණය කිරීම සහ ආලෝකයේ ඝනත්වය සහ දිශාව සම්බන්ධයෙන් දැඩි ප්‍රමිතීන් සකස් කිරීම වැනි යෝජනා ඊට ඇතුළත් ය.

බාධාකාරී ආලෝකය පාලනය කිරීම සඳහා ප්‍රවේශමෙන් තෝරාගත් සැලසුම් නීති පැකේජයක් හඳුන්වාදීම මගින් (නීතිමය බලපෑම සහ අනුකූල නොවීම සඳහා දඬුවම් කිරීම) ප්‍රධාන වෙනස්කම් ඇති කළ හැකි බවමෙම  කමිටුව අවධාරණය කළේය.

ජර්මානු භූ විද්‍යා මධ්‍යස්ථානයේ භෞතික විද්‍යාඥ ක්‍රිස්ටෝපර් කයිබා විසින් කරන ලද පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ ආලෝක දූෂණය නිසා දැන් රාත්‍රී අහස වසරකට 10%ක පමණ ප්‍රමාණයකින් දීප්තියට පත් වන බවය. එය දීප්තිමත්ම තාරකා හැර අන් සියල්ල මිනිස් ඇසින් වසන් කරනු ඇති බව එම වාර්තාවේ සඳහන්ය.

‘’අද රාත්‍රියට තරු 250ක් පෙනෙන තැනක උපදින දරුවෙකුට වයස 18ට යන විට දැකගත හැකිවනු ඇත්තේ තරු 100ක් පමණයි. පරම්පරා කිහිපයකට පෙර, විශ්වයේ මෙම දිලිසෙන දර්ශනය සමඟ මිනිසුන් නිරන්තරයෙන් ගනුදෙනු කළා. නමුත් කලින් විශ්වීය වූ දේ දැන් අතිශයින් දුර්ලභ යි. ලෝකයේ ධනවත්ම මිනිසුන් සහ සමහර දුප්පත් අය පමණක් එය තවදුරටත් අත්විඳිමින් සිටිනවා. අනෙක් සියල්ලන්ටම, එය අඩු වැඩි වශයෙන් අහිමි වී තිබෙනවා’’ ක්‍රිස්ටෝපර් කයිබා කීවේය.

කෙසේ වෙතත්, ආලෝකකරණයේ සුළු වෙනස්කම් කිහිපයක් හඳුන්වාදීම මගින් පමණක් සැලකිය යුතු දියුණුවක් ඇති කළ හැකි කයිබා කීවේය. එළිමහන් විදුලි පහන් පරිස්සමෙන් ආරක්ෂා කිරීම, ඒවා පහළට යොමු කිරීම, ඒවායේ දීප්තිය මත සීමාවන් තබා තිබීම සහ ප්‍රධාන වශයෙන් නිල්-සුදු නොවන නමුත් රතු සහ තැඹිලි වර්ණ ඇති බව සහතික කිරීම මෙම පියවරයන්ට ඇතුළත් වේ.

“එවැනි පියවර විශාල බලපෑමක් ඇති කරනවා” ඔහු තවදුරටත් පැවසීය.

ගැටලුව වන්නේ මහජනතාව විසින් තවමත් ආලෝක දූෂණය (light pollution) තර්ජනයක් බව වටහා නොගැනීමයි. Universidad Politécnica de Madrid හි මහාචාර්ය Oscar Corcho ප්‍රකාශ කර ඇති පරිදි: “ආලෝක දූෂණයේ අහිතකර ප්‍රතිවිපාක ජනගහනය නොදන්නා තරම්ය.”

කෙසේ වෙතත්, වහාම කඩිනම් පියවර ගැනීම අවශ්‍ය වේ. එහි තාරකා විද්‍යාත්මක හා සංස්කෘතික බලපෑමට අමතරව ආලෝක දූෂණය බරපතල පාරිසරික ප්‍රතිවිපක ඇති කරයි. මුහුදු කැස්බෑවන් සහ සංක්‍රමණික පක්ෂීන් සඳ එළියෙන් මෙහෙයවනු ලැබේ. ආලෝක දූෂණය නිසා ඔවුන් ව්‍යාකූල විය හැකි අතර සංක්‍රමණයට දැඩි බාධා සිදුවිය හැකිය. කුරුල්ලන් සහ අනෙකුත් සතුන් සඳහා ප්‍රධාන ආහාර ප්‍රභවයක් වන කෘමීන් කෘත්‍රිම ආලෝකය වෙත ඇදී යන අතර එහිදී ඔවුන් වහාම ජීවිතක්ෂයට පත්වේ. එය ඔවුන් මත යැපෙන සතුන්ගේ ආහාර සැපයුමට ඍජු බලපෑමකි.

ආලෝක දූෂණයට එරෙහි චෝදනා පත්‍රය තවත් ඉදිරියට යයි. LED වල නිල් පැහැති විමෝචනය සම්පූර්ණයෙන්ම පාහේ රතු හෝ ආසන්න අධෝරක්ත ආලෝකය නොමැති බව ලන්ඩනයේ යුනිවර්සිටි කොලේජ් (UCL) හි අක්ෂි වෛද්‍ය ආයතනයේ මහාචාර්ය රොබට් ෆොස්බරි පැවසීය. “අපි රතු සහ අධෝරක්ත ආලෝක හිඟයෙන් පෙළෙන අතර එය බරපතල ගැටලුවක් වී තිබෙනවා. රතු පැහැයෙන් යුත් ආලෝකය අපගේ ශරීර මත වැටෙන විට එය රුධිරයේ අධික සීනි මට්ටම් බිඳ දැමීම හෝ මෙලටොනින් නිෂ්පාදනය ඉහළ නැංවීම ඇතුළු යාන්ත්‍රණ උත්තේජනය කරනවා. ප්‍රතිදීප්ත ආලෝකය සහ පසුව LED හඳුන්වා දීමෙන් පසුව වර්ණාවලියේ එම කොටස කෘතිම ආලෝකයෙන් ඉවත් කර ඇති අතර එය තරබාරුකමේ සහ අද අප දකින දියවැඩියා රෝගීන්ගේ ඉහළ යාමට ප්‍රධාන හේතුවෙක් වී තිබෙනවා’’

පර්යේෂකයන් රෝහල්වල සහ දැඩි සත්කාර ඒකකවල අතිරේක අධෝරක්ත ලාම්පු ස්ථාපනය කිරීමට සූදානම් වෙමින් සිටින්නේ වර්ණාවලියේ මෙම කොටසෙන් ආලෝක හිඟයෙන් පෙළෙන රෝගීන්ගේ සුවය කෙරෙහි බලපෑමක් ඇති කරන්නේද යන්න වැඩි දුරටත් අධ්‍යයනය කිරීමටය.

“පෘථිවියේ මුහුණත වෙනස් කිරීමට සහ LED වඩාත් මිත්‍රශීලී ආලෝකයක් බවට පත් කිරීමට විශාල උත්සාහයක් දැරීමට සිදු විය හැකියි” ෆොස්බරි පැවසීය.

එය විශාල කාර්යයක් වනු ඇත. නමුත් එය මිනිස් සෞඛ්‍යයට ඉතා හානිකර බලපෑමක් ඇති කරන බැවින් අප එය වහාම ඉටු කළ යුතුය.

https://www.theguardian.com