About Us

 

Climate Alert @ Sri Lanka: අපේ අරමුණ සිංහල භාෂීය සමාජය තුළ දේශගුණික සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීමයි

ClimateAlert.lk සංස්කාරක මණ්ඩලය

රංජිත් වීරසේකර

කළමනාකරණ සංස්කාරක
weerasekarawbmr@gmail.com

තුෂාල් විතානගේ

ප්‍රධාන සංස්කාරක
thushalWithanage@gmail.com

මධුමාලි වික්‍රමසිංහ

කළමණාකාරිනී
madhu.apperal85@gmail.com

නදීෂා මධුෂානී විජේරත්න

නියෝජ්‍ය සංස්කාරක
nadeewijerathna1995@gmail.com

නිෂානී බාලසූරිය

නියෝජ්‍ය කළමනාකාර

අභිෂේකි චමීරා

සංස්කාරක – සමාජ මාධ්‍ය

සුජීව සෙනරත්

උපදේශක

Climate Alert @ Sri Lanka කළමනාකරණ සංස්කාරක රංජිත් වීරසේකර මහතා සමග කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරිණි

Climate Alert @ Sri Lanka නම් මෙම සංවිධානය පිහිටුවීමේ අරමුණු ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද?

ඔබ දන්නවා වර්තමානය වන විට ශ්‍රී ලංකාව ද ඇතුළුව සමස්ත ලෝකයම මුහුණ දෙන බරපතළම අනතුර, අභියෝගය තමයි දේශගුණ විපර්යාස (Climate change) කියන්නේ. මේ වන විට ඇතැම් බටහිර මාධ්‍ය විසින් දේශගුණ විපර්යාස යන පදය වෙනුවට ‘දේශගුණ හදිසි අවස්ථාව‘ යන අදහස දෙන Climate emergency කියන වචනය බහුලව භාවිත කරන තත්ත්වය දක්වා ගමන් කර තිඛෙනවා. ඔවුන් කියන විදිහට වර්තමානය වන විට අප මුහුණ දෙමින් සිටින්නේ දේශගුණ විපර්යාසවලට වඩා එමගින් නිර්මාණය වුණ දේශගුණ හදිසි අවස්ථාවකටයි. ඒ කියන්නේ අපට තව දුරටත් බලා සිටීමට, සැලසුම් සම්පාදනය කිරීමට හෝ සාකච්ඡා කරමින්, සම්මන්ත්‍රණ පවත්වමින් ගත කිරීමට කාලයක් නැහැ. දශක ගණනාවක් පුරා අප බියවී සිටි අනතුර අප හමුවට පැමිණ අවසානයි.

මෙන්න මේ තත්ත්වය තුළ තමයි අපි Climate Alert @ Sri Lanka නම් සංවිධානය පිහිටුවන්නේ. ඒ අපි අපේ සංවිධානයට Climate Alert (දේශගුණ අනතුරු ඇඟවීම) නම් වචනය භාවිත කළේ මා ඉහතින් සඳහන් කළ දේශගුණ හදිසි අවස්ථාවට මුහුණ දීමට අප රටක් ලෙස තව දුරටත් පියවර ගත යුතු නිසයි. අපේ අදහස වන්නේ ගෝලීය වශයෙන් සිදුවන ක්‍රියාකාරීත්වයට සාපේක්ෂව ශ්‍රී ලංකාව තුළ දේශගුණ විපර්යාසවලට මුහුණ දීම සම්බන්ධයෙන් සිදුවන සමස්ත ක්‍රියාකාරීත්වය ප්‍රමාණවත් නොවන බවයි. ඒ කියන්නේ අපි අප හමුවේ ඇති අනතුර, අවදානම සහ අභියෝගය තවමත් නිසි පරිදි වටහා ගෙන  නැහැ. ඊට එරෙහිව ගත යුතු නිසි වැඩපිළිවෙළක් හෝ පුළුල් න්‍යාය පත්‍රයක් සකස් කර නෑ. අපි මේ අනතුරු ගැන අදාළ පාර්ශ්ව, ඒ කියන්නේ ප්‍රතිපත්ති සම්පාදකයින්, සන්නිවේදකයින්, විශේෂඥයින් සහ ජනතාව දැනුවත් කිරීමට සහ ඒ සඳහා සියලූ පාර්ශ්වයන්ට අවස්ථාව ලබා දෙන සන්නිවේදන මණ්ඩපයක්, වේදිකාවක් නිර්මාණය කරනවා. ඒ වගේම දේශගුණ විපර්යාස හා ඒ මගින්ම බරපතළ ලෙස වර්ධනය වෙමින් පවතින ආපදා සම්බන්ධ පර්යේෂණ, සමීක්ෂණ හා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අප ආයතනයේ ප්‍රධාන අරමුණු අතර තිඛෙනවා.

Climate Alert @ Sri Lanka සමග කටයුතු කරන පාර්ශ්වයන් කවුද ?

Climate Alert @ Sri Lanka ඉතාම පැහැදිලිව මේ විෂය ක්ෂේත්‍රය හා සම්බන්ධ විද්වතුන්ගේ, වෘත්තකයින්ගේ සහ සන්නිවේදඥයින්ගේ ස්වේච්ඡා සංවිධානයක් ලෙසයි මූලිකව ක්‍රියාත්මක වෙන්නේ. එහි සරල අදහස වන්නේ Climate Alert @ Sri Lanka ලාබ නොලබන සංවිධානයක්. ඒ වගේම දේශගුණ විපර්යාසවලින් ශ්‍රී ලංකාව ගළවා ගැනීම හෝ දේශගුණ විපර්යාවලට මුහුණ දීමට සමස්ත ප්‍රජාවන්දැනුවත් කරන, ඒ හරහා ඔවුන් තුළ ආකල්පමය හා චර්යාත්මක වෙනසක් ඇති කිරීමට කැප වුණ සංවිධානයක්. අපි රජය, රාජ්‍ය නොවන සංවිධාන, වෘත්තිකයින්, විද්වතුන් සහ සිවිල් සමාජ සංවිධාන සමග ඍජුව කටයුතු කිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම අපි අපේම සන්නිවේදන යාන්ත්‍රණයක් නිර්මාණය කරනවා. ආරම්භක පියවරේදී අපි වඩාත් වැඩි අවධානයක් යොමු කරන්නේ මේ සන්නිවේදන යාන්ත්‍රණය බිහි කිරීම වෙනුවෙනුයි.

මේ ගැන තව දුරටත් පැහැදිලි කිරීමක් කළ හැකිද ?

ඔව්, අපි ඉතාම පැහැදිලිව ශ්‍රී ලාංකිකයින් තුළ දේශගුණ සාක්ෂරතාව (Climate Literacy) වර්ධනය කිරීම වෙනුවෙන් කැප වෙනවා. මොකද දේශගුණ සාක්ෂරතාවයෙන් තොර වූවන් සමග මේ අභියෝගයට මුහුණ දීමට හැකියාවක් නැහැ. ඒ නිසා දේශගු‚ක විපර්යාස යක්ෂයෙක් නම් ඔහු සමග සටන් කිරීමට දැනුවත් ප්‍රජාවක් බිහිකළ යුතුයි. දැනුමින් සන්නද්ධ සමාජයක් බිහිකළ යුතුයි.

ඒ කියන්නේ ලංකාවේ දේශගුණ සාක්ෂරතාව ප්‍රමාණවත් නැතිද ?

සිංහල භාෂීය බහුතරය ගැන කතා කළහොත් පිළිතුරු ‘නැහැ‘ යන්නයි. ඉතාම පැහැදිලිව ශ්‍රී ලාංකික සිංහල භාෂීය ප්‍රජාව තුළ දේශගුණ සාක්ෂරතාව ඉතාම අවමයි. ඔවුන්ට ඒ ගැන දැනුමක් ලබාගත හැකි විධිමත් ප්‍රවේශයක් නැහැ.  මේ සම්බන්ධයෙන් නව දැනුම ජනනය වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒවා සිංහල භාෂාවට පරිවර්තනය වන්නේ ඉතාම අඩුවෙන්.  මේ සම්බන්ධ වගකිව යුතු ආයතනය සහ අපේ ජනමාධ්‍ය මේ ගැන දක්වන අවධානය ඉතාම අඩුයි. ඒ නිසා අපේ සමාජය දේශගුණ සාක්ෂරතාවෙන් තොර සමාජයක් ලෙස සැලකීම වරදක් නැහැ. ඒ නිසා කඩිනමින් මේ අඩුව පුරවා දැමිය යුතුයි. එසේ නොකර දේශගුණ විපර්යාස හමුවේ නිර්මාණය වන අභියෝග ජය ගැනීමට සිතීම මුලාවක්.

මේ සම්බන්ධයෙන් Climate Alert @ Sri Lanka සැලසුම් මොනවාද ?

අපි දේශගුණ විපර්යාස හා සම්බන්ධයෙන් ඉංග්‍රීසි ඇතුළු විවිධ භාෂාවන්ගෙන් ජනනය වන නව දැනුම සිංහල කතා කරන ජනතාව වෙත ගෙන යාමට වැඩපිළිවෙළ කිහිපයක් දියත් කිරීමට සැලසුම් කරනවා. ඉංග්‍රීසි භාෂාවෙන් සිංහල භාෂාවට සිදුවන පරිවර්තනය ඒ අතර ප්‍රමුඛයි. ඒ අතර මේ සම්බන්ධයෙන්ම සිංහල භාෂාවෙන් ක්‍රියාත්මක වන ජාතික තලයේ වෙබ් අඩවියක් වන  Climate Alert.lk අප විසින් නිර්මාණය කර තිබෙනවා. ඒ සමග යූ ටියුබ්, ටික්ටොක්, ෆෙස්බුක් ඇතුළු සමාජමාධ්‍ය වේදිකා තුළ සිංහල භාෂාවෙන් තොරතුරු, විශේෂයෙන් යාවත් කාලීන වූ නව දැනුම ඛෙදා හැරීම සිදුවෙනවා. ඊට අමතරව අපි දේශගුණ විපර්යාස හා සම්බන්ධ නව දැනුම ඇතුළත් Climate Alert @ SL නම් සඟරාව අප විසින් ප්‍රකාශයට පත්කරනවා. ඒ සමග දේශගුණික විපර්යාස හා සම්බන්ධ ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශයට පත්ව ඇති කෘති කිහිපයක් අප විසින් මේ වන විටත් සිංහල භාෂාවට පරිවර්තනය කර තිබෙනවා. ඒ සියල්ල මගින් අපි අපේක්ෂා කරන්නේ දේශගුණ සාක්ෂරතාවයෙන් යුත් සිංහල භාෂීය සමාජයක් නිර්මාණය කිරීමයි.

Climate Alert @ Sri Lanka හි ඉලක්ක ගත ප්‍රජාව කවුද ?

අපි ආරම්භ පියවරේදී නව යොවුන් ප්‍රජාව ඉලක්ක කරනවා. ඒ වගේම භූගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවේ නිරිතදිග බෑවුමේ, ඒ කියන්නේ රත්නපුරය, කෑගල්ල, කලූතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල ( නිරිගදිග මෝසම් වර්ෂාවේ බලපෑමට ලක්වන) පාසල් නව යෞවනයින් සමග (පාසල් සිසුන්) කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වියළි කලාපයේ ගොවි ජනතාව සමග කටයුතු කිරීමට අපි සැලසුම් කර තිඛෙනවා.‍

මේ තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිඛෙනවා ද ?

ඔව්, නව යොවුන් ප්‍රජාව තෝරා ගත්තේ නව දැනුම සහ අදහස් පහසුවෙන් හා වඩාත් ඵලදායී ලෙස ග්‍රහණය කරගත හැකි වන්නේ ඔවුන්ට නිසයි. වැඩිහිටියන්ට වඩා ඔවුන්ට මේ දැනුම පහසුවෙන් ග්‍රහණය කරගත හැකියි. ලෝකය පුරා දේශගුණ විපර්යාසවලට එරෙහි සටනේ පෙරමුණ ගෙන සිටින්නේ නව යෞවනයින් බව අපි දන්නවා. ස්වීඩන් ජාතික ග්‍රේටා තුන්බර්ග් වැනි නව යොවුන් වියේ පසුවන පිරිස තමයි අද මේ සටනේ පෙරමුණු බල ඇණිය බවට පත්ව සිටින්නේ. ඔවුන්ගේ අනාගතය, හෙට දවස තමයි අපි මේ අභියෝගයට ලක්කරලා තිඛෙන්නේ. වැඩිහිටි අපේ වර්තමානය වෙනුවෙන් ඔවුන්ගේ අනාගතය තමයි අපි මේ උකස් කර තිඛෙන්නේ. ඒ නිසා අපි නව යෞවනයින් සමග මේ ගමන යනවා. එකය ගෝලීය යථාර්ථය සහ ප්‍රායෝගිකත්වය සමග මනාව මුසු වුණ තෝරා ගැනීමක්.

ශ්‍රී ලංකාවේ නිරිතදිග බෑවුම තෝරා ගත්තේ වත්මන් දේශගුණ විපර්සාය හමුවේ සිදුවන උද්ගත වන අනපේක්ෂිත වර්ෂාව හමුවේ ගංවතුර, නාය යාම් වැනි ස්වභාවික අනතුරුවලට බහුලවම මුහුණ දෙන ප්‍රජාව ජීවත් වන්නේ මෙහි නිසයි. ඒ වගේම මේ කලාපයේ ප්‍රධාන ආර්ථීක කටයුතු වන තේ, රබර් ඇතුළු වැවිලි බෝග ද දේශගුණ විපර්යාස හමුවේ බරපතළ ලෙස අවදානමට ලක්ව තිඛෙනවා. ඒ කියන්නේ ගංවතුර, නාය යාම් වැනි ස්වභාවික ආපදා හමුවේ පීඩාවට පත්වන මෙම ප්‍රජාව තවත් පැත්තකින් ආර්ථීක වශයෙන් ද පීඩාවට පත්වෙනවා. ඒ නිසා ඔවුන් සමග එක්ව මේ අභියෝග ජයගත යුතුව තිඛෙනවා. වියළි කලාපයේ ගොවි ජනතාවත් තෝරා ගත්තේ මෙවැනිම තාර්කික පදනමක් මතයි.

මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අරමුදල් සොයා ගන්නේ කොහොමද ?

මම මුලින්ම ප්‍රකාශ කළ ආකාරයට Climate Alert @ Sri Lanka කියන්නේ විද්වතුන්ගේ සහ වෘත්තිකයින්ගේ ස්වේච්ඡා සංවිධානයක්. අපිට ලාබ ඉපයීමේ අරමුණක් නැහැ. ඒ වගේම අපි කටයුතු කිරීමට බලාපොරොත්තු වන්නේ ඩිජිටල් අවකාශය තුළයි. ඒ කියන්නේ සේවකයින්ට, නිලධාරීන්ට වැටුප් ගෙවමින් කාර්යාල නඩත්තු කිරීමක් අප අතින් සිදුවන්නේ නැහැ. අපි වැඩකරන්නේ ඩිජිටල් අවකාශය තුළයි. අත්‍යවශ්‍ය අවස්ථාවකදී පමණයි අපි එයින් බාහිරව ක්‍රියාත්මක වන්නේ. ඒ කියන්නේ අපි Climate Alert @ SL නම් සඟරාව ප්‍රකාශයට පත් කිරීම හැර සෙසු සියලූම දැනුවත් කිරීම් සිදුවන්නේ අපේ වෙබ් අඩවිය, යූටියුබ් නාළිකාව, ෆෙස්බුක්, ටික්ටොක් ඇතුළු සමාජමාධ්‍ය වේදිකා තුළයි.

ඒ වගේම දේශගුණ විපර්යාස හා සම්බන්ධයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත්වන දැනුම අපි සිංහල භාෂාවට පරිවර්තනය කිරීමේදී අපගේ වෘත්තීය සගයින්ගේ සහාය ලබා ගන්නවා. ඒ වගේම අපි පොදු ප්‍රවාහනය පමණයි මෙහිදී භාවිත කරන්නේ. කාර්යාල නඩත්තුවක්, වාහන නඩත්තුවක් නැති නිසා අපිට අපේ මෙහෙයුම් පිරිවැය 70%කින් පමණ අඩුකර ගත හැකියි. අත්‍යවශ්‍ය අවස්ථාවලදී අපි ආධාර, පරිත්‍යාග සහ වැඩසටහන් ලබා ගැනීමට පියවර ගන්නවා. ඒත් ඒ සෑම අවස්ථාවකදීම 100%ක ප්‍රතිලාභ ජනතාවට හිමිවිය යුතුය යන ස්ථාවරයේ අප සිටිනවා.

Climate Alert @ Sri Lanka දේශගුණ විපර්යාසවලට මුහුණ දීමට ප්‍රජාව සවිබල ගන්වන සෙසු සංවිධානවලින් වෙනස් වන්නේ කෙසේද ?

කිසිම ආයතනයක් හා සැසදීමක් කිරීමට මා සූදානම් නැහැ. ඒත් අපි පැහැදිලිවම දේශගුණ විපර්යාස හා සම්බන්ධයෙන් මහා සාගරයක් තරමට ජනනය වන නව දැනුම සිංහල භාෂාව කතා කරන අපේ ජනතාව අතරට ගෙන යාමට 100%ක්ම කැප වෙනවා. අපේ ප්‍රමුඛ ඉලක්කය වන්නේ 2030 වන විට 100%ක් දේශගුණ සාක්ෂරතාවයෙන් යුතු සමාජයක් නිර්මාණය කිරීමයි. දේශගුණ විපර්යාස හා සම්බන්ධ පර්යේෂණ, සමීක්ෂණ සිදු කරමින් වඩාත් තිරසර ලෙස ඒවා සමාජගත කරමින් දේශගුණ විපර්යාසවලින් හා ස්වභාවික ආපදාවලින් ආරක්ෂිත රටක් නිර්මාණය කිරීමට අවශ්‍ය සමාජ දැනුවත්භාවය ගොඩනැගීමයි අපේ අරමුණ වන්නේ.

මෙය අභියෝගාත්මක අරමුණක් නේද ?

පැහැදිලිවම. නමුත් අපි මෙය කළ යුතුයි. දේශගුණ විපර්යාස සම්බන්ධ නිවැරදි දැනුමකින් තොර සමාජයක් සමග මේ අභියෝගයට කිසිසේත් මුහුණ දීමට නොහැකියි. ඒ නිසා අපි කවුරුන් හෝ මේ අවස්ථාවේ ඉදිරියට පැමිණිය යුතුයි. 15 හැවිරිදි ස්වීඩන් ජාතික ග්‍රේටා තුන්බර්ග් විසින් තනිව සිදුකළ ඒ වෙනස අපි දැක්කා. අපේ සිංහල දරු දැරියන් අතරින් ද ග්‍රේටා වැනි දැරියන් බිහිවිය යුතුයි. ඔවුන් දේශගුණික විපර්යාසවලට එරෙහි සටනේ ධජය තමන් අතට ගත යුතුයි. ඒ නිසා කොතරම් අභියෝගාත්මක වුවත් අපි අද මේ මුල් පියවර පෙරට තැබිය යුතුයි. ඊට පසුව අප පසු පස හෝ අප ඉදිරියෙන් තව සිය දහස් ගණනක් පෙරට ගමන් කළ හැකියි. ඒ නිසා Climate Alert @ Sri Lanka ප්‍රාරම්භක පියවර තබනවා. ඒ වෙනුවෙන් පැමිණෙන ඕනෑම අභියෝගයකට අපි මුහුණ දෙනවා. ඊට අවශ්‍ය විද්වත්, වෘත්තීය, සන්නිවේදන සහ ප්‍රජා සහාය අපට තිඛෙනවා. අපි අවධාරණයෙන් කියන්නේ තව දුරටත් ප්‍රමාද නොවී දේශගුණ විපර්යාසවලට එරෙහිව මුළු රටම සංවිධානය විය යුතු බවයි. අප හමුවේ තිඛෙන බිහිසුණුම අනතුර වන්නේ දේශගුණ විපර්යාස බව අප දැන්වත් වටහා ගත යුතුයි. අනෙක් සියල්ල ඒ හා නිර්මාණය වුණ ගැටලු බව අප වටහා ගත යුතුයි.